Friday, May 27, 2016

අවසානේ...


උඩතට්ටුවේ ගෙදර කවුරුවත් නැති බව කෝකටත් තහවුරු කරගන්න ජයවීර සෙකුරිටි ට කෝල් එකක් ගත්තා.දවස් දෙකකට ඔවුන් නැති බව දැනගැනීම ම ජයවීරට ලොකු සහනයක් උනා.. කෝපි කෝප්පෙකුත් හදාගන හුලං වදින තැනකට වෙලා පයිප්පෙ උරන එක ජයවීරගෙ පුරුද්දක් උනත්,මේ අළුත් ෆ්ලැට් එකට මාරු උන එකෙන් ඒ පුරුද්දත් සීමා කරන්න උනා.දරුවෙක් ලැබෙන්න ඉන්න උඩතට්ටුවේ ගෙදර ශෙරින් දුව සැමියා මාලකත් එක්ක ඇවිල්ලා බොහොම කාරුණිකව කරපු ඉල්ලීම නිසා බැල්කනියට වෙලා පයිප්පය දල්වන්න ජයවීරට හිත එකඟ කරගන්න බැරි උනා.. ඒත් අද නම් නිදහස්...

හැන්දෑව එලඹිලා..නයි වගේ දඟර ගැහුනු පාරවල් දිගේ වාහන පෝලිම් ගැහිලා.. ලොකු ලේලන්ඩ් බස් හබරණ අලියන්ට ගහන හෝන් එකටත් වඩා සැර හෝන් ගහලා පොඩි ත්රීවීල් කාරයො බය කරන් යන්න දඟලන ගෝරනාඩුව තට්ටු පහක් උඩ බැල්කනියට වෙලා ජයවීර අහගෙන හිටියා.
දවසේ මහන්සිය කරේ තියගෙන දුම් දූවිලි පිරුන පාරෙ ඉක්මනට ගෙදර යන්න අස්සෙන් දාන බයික් කාරයෙකුට ලොකු කාර් එකක හිටපු නෝන කෙනෙක් සීතල ඒ.සී එක එලියට යන්නැතිවෙන්න වීදුරුව බාගෙට ඇරලා ඉංග්රීසියෙන් බනින හැටි ජයවීරට මැවිල පෙනුනා..

හ්ම්ම්ම්ම්... ඔය ඔක්කොම කලබල ටික නිස්කලංකෙන් හාන්සි පුටුවකට වෙලා බලාගෙන ජයවීර කල්පනා ලෝකෙ සැරිසරන්න පටන් ගත්තා..

නව යොවුන් වියේ ඉඳන් තමුන්ගෙ දිවිය ගෙවුන හැටි හීනයක් දකිනවා වගේ දෑස් ඉදිරිපිට සැර දුම්ගුලි අතරින් ජයවීරට පෙනෙන්න පටන් ගත්තා.

රැකියා.... උසස්වීම්.... අසනීප.... විවාහ.... දරුවන්.... දරුවන්ගේ දරුවන්....

මේ ඔක්කොම මතකයන් විතරයි.කොටින්ම ලොකු දුවගෙ දරුව ලැබුනායින් මෙතුවක් කල් තමුන් ලඟ උන්නු බිරිඳටත් විදෙස්ගත වෙන්න උනා..

කොල්ල නම් අරාබියට වෙලා ඌ කියන විදිහටම ඔටුවන්ගෙ දත් මැද මැද ඉන්නවා.අප්පච්චිට සලකන්න ඕනෙ කියලා මේ ෆ්ලැට් එකට එක්කගෙන ආවට කොහෙ හිටියත් හම්බවෙන්නෙ ඉන්ටනෙට් එකෙන් විතරයිනෙ කියන එක උට ගානක් නෑ..

ඒත් කාගෙවත් හිත රිදවන්න අකමැති ජයවීර පුතාගෙ තීරණේට එරෙහි උනේ නෑ.

කාලෙකට කලින්....
ගොඩා...ක් කාලෙකට කලින් තමුන් හීන මැව්ව ජීවිතේ මේකමද කියන සැකේ හිතේ කොනක ඉඳන් වරින් වර වතුර යට තිබුන රබර් බෝලයක් වගෙ උඩ ආපු හැටිත් බිරිඳ,දරුවන් ගැන තියෙන හැඟීමේ බර වැඩිකම නිසා ආයෙත් හිතේ කොනකට තල්ලු කරපු හැටිත් මතක් උනේ අද ඒ කවුරුත් ලඟ නැති වෙලාවෙ වඩාත් තදින් ඒ හැඟීම හිත වහගත්තු නිසා වෙන්න ඕන..

'මම ආදරය කලා ද?'
'මේ ජීවිතේ ආදරය මම ස්පර්ශ කලා ද?'
ජයවීර තමුන්ගෙන්ම ප්රශ්න කරගත්තා..

අහවර උනු කෝපි මග් එක නොසෝදාම අයිස් කැට කීපෙකුත් එක්ක බ්රැන්ඩි බෝතලය ලංකරගත්තු ජයවීර බැල්කනියට වෙලා පියාඹගෙන යන කාක්කො රංචු දිහා බලන් හිටියා.

හැමෝගෙම මල්ලෙන් කාක්ක කෑවත් කාක්කගෙ මල්ලෙන් කන්න කවුරුත් නෑ නෙ කියල මතක් වෙලා පොඩි හිනාවක් ගියා..

තමුන්ගෙ යාළුවන්ගෙ..,  උන්ගෙ බිරින්දෑ වරුන්ගෙ..,  දුවගෙ පුතාගෙ යාළුවන්ගෙ පවා හිතේ බර හෑල්ලු කරපු තමුන්ට,  තමුන්ගෙ හිතේ බර හෑල්ලු වෙන්න චැටක් දාන කෙනෙක් නැතිවීම හිංදා තමුනුත් කපුටෙක් විදිහටයි ජයවීරට දැනුනෙ..

උත්පලා එක්ක ඇත්තටම සම්බන්ධතාවක් තිබුනද?
ක්ලාස් යන දවස් වල බලන් හිටියට, කවි ලීවට අඩුම ගානෙ අතින් අල්ලලා කතා කරලවත් නෑ කියල මතක් වෙනකොට දැනුන හැඟීම ජයවීර සැර බ්‍රැණ්ඩි උගුරකින් පුච්චලා දැම්මා.
තමුන්ගේ වරද නිසා එදා මඟඇරුනු ඈ ආයෙ කිසි දිනක නොදුටු බව තොරතුරක් නොලද බව මෙච්චර තාක්ශනේ දියුණු ලෝකෙ කවුරුත් පිලිගන්න එකක් නෑ.
ඇත්තටම හිතේ කොණක සඟවගත්තු ඒ අපූරු හැඟීම් පැලෑටිය කිසිම ආකාරයකින් හානියක් වෙන්න නොදී වරින් වර කල්පනා පොහොර දමා සෙනෙහස් තෙතමනයකින් මාත්තු කරමින් දිගින් දිගටම නඩත්තු කරපු බව ජයවීරට අද පිළිගන්න උනා..
තමුන්ගෙ ජීවිතේ වසන්ත කාලය පුරාම උත්පලා සිහින මල් අතරින් මැවුනු හැටි කොච්චර නම් සුන්දරද...?
ඒ හීන මල් නෙලාගෙන එනකන් බලාගෙන උන්නු අතීතය කොච්චරම රසවත් ද..?

කාලය කියන්නෙ මහ අමුතු දෙයක්.. අද මේ පුටුවක් උඩට වෙලා ඉඳගෙන ඉන්නෙ තමුන්මද කියලා ජයවීරට සැකයක් උපන්නා.. 'මම' කියනකොට මතක් වෙන්නෙ අර උත්පලා ගැන කිරිකෝඩු හීන මවපු කොළුගැටයව වෙන්නෙ කොහොමද දරු මුණුබුරන් ඉන්න ජයවීර නොවී කියන කාරනේ තේරුම් ගන්න බැරිවම ජයවීර පයිප්පෙ දුම්කොළ මාරු කලා..

ජීවිතයේ කටුක බව අඩු නැතිව අත්දකින්න ලැබුනු කාලය මැවී පෙනෙනවා... මුදල් හදල් ගැටලු.. අසනීප.. දරුවන්ගෙ කටයුතු.. ඔය ඔක්කොම එක්ක  තමුන්ට හොඳටම ආදරය කරන බිරිඳක් එක්ක  ගිම්හාන කාලයක් වගේ ඒ කාලෙට මූණ දුන්නත් හිතේ කොණක කොකියන හැඟීම් එහෙමම තිබිල නේද කියලා අද මේ කල්පනා කරන වෙලාවෙ ජයවීරට හිතෙනවා..
ඒ මොනවත් හින්දා නොදැනුනු කටුක බවක් ගිණියම් බවක් උත්පලා මතක්වෙනකොට ජයවීරට දැනුනු බව තර්කයක් නැතුවම ජයවීර පිළිගත්තා..

ඒත් අන්තිමට......

අද උදේ පාන්දරම ජයවීර අවදි උන හැටි... වැව අයිනට ගිහින් එලිය වැටෙනවා බලන් හිටපු හැටි කාලෙකට කලින් උනා වගේ දැනෙන්නෙ..
උදේ අට නමය වෙනකන්ම බංකුවකට බර වෙලා පිරිසිදු වාතාශ්‍රයේ සනීපය විඳගෙන එන්න හදනකොටම 'ජයේ.. ඔය ජයේ නේද?' කියලා වයසක මිනිහෙක් කතා නොකරා නම් මුළු ජීවිතේම මීට වෙනස් වෙන්න තිබුනා..
තමුන් එක්කම එකට පොඩි කාලෙ පිස්සු කෙලපු පෙරේර අඳුනගන්න ජයවීරට කොහොමත්ම පුළුවන් කමක් තිබුනෙ නෑ පෙරේරම තමුන්ව අඳුන්වලා දෙනකන්.හොඳ වෙලාවට පෙරේරා ජයවීරව ෆේස්බුක් එකෙන් දැකලා තිබුන.
අතීත කතා අතුරින් උත්පලාවත් මාතෘකාවක් උනේ නොදැනීම..

දශක ගණනකින් දැකල නැති උත්පලා තමුන්ව අඳුනගනීද කියන දෙගිඩියාවත් එක්කම ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන් උදාසීන කමක් තියෙන නිසා ජයවීර පෙරේරත් එක්ක උත්පලා හමුවෙන්න යන්න කැමති උනා.....

..............................................

පොල්තෙල් පිච්චෙන සුවඳත් එක්ක එකතු උන ෆෝමලීන් සැර අස්සෙන් උත්පලා සුදෝසුදු සාරියක් ඇඳගෙන නිදාගෙන හිටියා.
ශෝකයෙන් භරිතවෙලා තමුන්ට ආචාර කරපු උත්පලාගෙ සැමියව වත් ඉකි ගසමින් දෙණට බර වෙලා හිටපු දූල දෙන්න වත් ජයවීරට පෙනුනෙ නෑ..
ඒත්....
දුවගෙ ඉකියත් එක්කම හෙමි හෙමින් තාලයට ගැස්සෙන උඩුවියනෙන් එල්ලෙන මල් වැල්.... 

මලානිකව එල්ලිලා ලතාවකට සෙලවෙන මල් වැල්.......


වසන්තකාලෙ උත්පලත් එක්ක නෙලාගත් හීන මල්.........


ඔව්.... ජයවීරට උත්පලා හමු උනා..


වසන්තයේ මල් කැකුලක් සේ
හිනැහී හිනැහී ඔබ සිටියා...

වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොලොව ගිණියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ.....
ඔබ ආවා.....

ඔබ අත වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල අතරින්
ඔබගේ හද මා දුටුවා

පද : මහගම සේකර
හඬ සහ සංගීතය : අමරදේව



ප.ලි
දිනේශ් ගෙ බ්ලොග් එකේ අරූ දාපු කොමෙන්ට් එකක් ආපු දුර.තැන්කූ අරූ අයියෙ.

Friday, May 13, 2016

ජයලාල් රෝහණ - භාග්‍යා - නෙවිල් ෆර්නෑන්ඩු

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

දහවල් දොලහ හමාරයි.දෙක වසර පංතියේ ළමයිට නම් ඉස්කෝලෙ ඇරුනා.කුඩ ඉහලගෙන එන අම්මලා,මොටර් සයිකල්,පුට්සයිකල් පැදගෙන එන තාත්තලා පොඩිත්තන්ව ගෙදර එක්කන් යනවා.අද දවසෙ වෙච්ච සිද්ධි කට උල් කර කර අනෙකට කලින් අම්මට තාත්තට කියන්න පොඩි උන් පොරකනවා.

ඉහල පන්තිවල ඉන්න අයියලා අක්කලා එක්ක යන පුංචිත්තො සෙල්ලං මිදුලෙ.
ඉස්කෝලෙටම සින්න උනු බලු රංචුව බෑ නොකියා පොඩි එවුන්ව පිටේ තියාගෙන අස්සයා ගෝං කියනවා..
මාලා ටීච හුස්මක් අරන් පන්තියට ඇවිත් හිටපු තුන හතර ළමයි ටිකට නම ලියන්න පුරුදු කරන්න පටංගන්නකොටම එයාගෙ ජංගම දුරකථනය හඬ නැඟුවා.

'අම්මේ..,හවස ක්ලාස් එකේ ෆීස් උදේ ඉල්ලගන්න බැරි උනා.මේ දෙවනි සතියනෙ.කාඩ් එක ගන්නම ඕනෙ.,මම එනව ඉස්කෝලෙ ගාවට.ඒ ගමන් ගෙදර ගිහින් දාගෙන යන්නම්.යන්න ලෑස්තිවෙලා ම ඉන්න.වෙන වැඩ දාගන්න එපා ඔන්න'.

මාල ටීචගෙ පුතා එකදිගට කියාගෙන ගියේ හුස්මක් වත් ගන්නෙ නැතුව.

'හා.. එහෙනම් එකහමාර වෙනකොට එන්න.පාර හදනවානෙ.. ඒ නිසා කාර් එක ගේන්නෙ පරිස්සමින්.'

කෙටියෙන්ම කතාව ඉවරකරලා ආයෙත් වැඩේ පටන්ගත්තෙ අද ආපු මේ ළමයි හෙට එයිද කියන එක විශ්වාස නැති නිසා අහු උන වෙලාවෙ උපරිම වැඩක් කරන්න හිතාගෙන.

පුතා කාර් එක හරවනවා දකිනකොටම මාල ටීච පාර පැන්නෙ පුතාට පන්තියට පමා වෙන නිසා ඉක්මනටම යන්න හිතාගෙන.ඒත් වාහනේ දොර වහන්න කලින් තමුන්ගෙ පංතියේ පුංචි භාග්‍යා ගහක් යට පොට්ටනියකුත් තුරුලු කරගෙන ඉන්නවා දැකපු ටීච එයාට කතා කරා.

'පුතා..,මේ දුව ඉන්නෙ කුඹල්ලංගෙ.අපි යන ගමන් මෙයාවත් දාගෙන යමු.කමක් නෑ නේද?'

අම්ම අහනකොට පුතා පිටිපස්සෙ දොර ඇරලත් ඉවරයි.

'නඟින්න දුව.බහින තැන ටීචට කියන්න හොඳේ'

දැරිය ඔළුව හෙල්ලුවා.

මේ දැරිය මාල ටීචගෙ අවධානය එකවසරෙදිම දිනාගත්තෙ අද්භූත නිහඬ බව නිසාමයි.
පුංචි ළමයි නිහඬ බව ඇතුලෙන් මහා කතාවක් හිරකරගෙන ඉන්න බව මාල ටීචට වැටහෙමින් තිබුනා.
දවසක් හවස තුනට විතර ඉස්කෝලෙ ගාව මේ දරුවා අඬ අඬ ඉන්නවා ගමේ මිනිස්සුන්ට හම්බෙලා ගෙදරට ඇරලවලා තිබුනා.පොඩි දරුවට අසනීප වෙලා එයාව අරගෙන අම්ම ඉස්පිරිතාලෙ ගිය නිසා එන්න භාග්‍යව ගෙදර ගෙනියන්න කෙනෙක් ඉඳල නෑ.
එක වසරෙදිම එකපාරටම ඉස්කෝලෙ එන එක නවත්තපු මෙයාව හොයාගෙන හොයාගෙන යන්න සිද්ධ වුනේ  'ළමයෙක් පාසල් ගමන නවත්තන්නේ නම් එහි වගකීම පංති භාර ගුරුවරයා සහ විදුහල්පති විසින් අනිවාර්යෙන් භාරගත යුතුයි' කියන නීතියෙන් බේරෙන්න බව මතක් වෙලා ටීචට පොඩි ලැජ්ජාවක් වගේ දැනුනා.
ඒත් ඉස්කෝලෙ එන කාලෙ දැරිය නැවතිලා හිටපු ඤාති ගෙදරට ගිහිල්ල පණිවිඩ යවලා කොහොම හරි ආයෙ දරුව ඉස්කෝලෙ එවන්න මවු එකඟ කරගන්න ටීචට හැකි උනා.
පාළුවට ගිහින් තිබුනු කන් පෙති දෙකට ලැබුනු තෝඩු දෙක,ලැබෙන අළුත් (වගේ) ගවුම් පොඩි,ඉස්කෝලෙන් දෙන බත් පිඟාන දරුවට ආකර්ශනයක් නොවුනම නෙමෙයි. දැනුත් මේ මහ මෙරක් වගේ තුරුළුකරන් ඉන්නෙ ටීච කෙනෙක් ගෙනත් දීපු ඇඳුමක් බවයි පෙනෙන්නෙ.

වාහනේ පාර දිගේ ඇදෙනවා..

අවුරුදු ගාණක් ඇදි ඇදී පාර හදනවා.ගල්කුඩු දූවිල්ල කුණාටුවක් වගේ පාරෙ වැඩකරන මිනිස්සු යටකරගෙන හමාගෙන යනවා.මහ වැස්සක් ලඟ නිසාද කොහෙදෝ හරිම අපහසු දාඩිය උණුසුමක් තිබුනත් වායුසමනය කරපු කාර් එක ඇතුලෙ නම් පොඩි සහනයක් තිබුනා.

කුඹල්ලංග හංදියට එනකොට මුළු පළාතම කළු කරගෙන..
වැහි දෙයියොත් දැං දෙඤ්ඤං ගානට බලං ඉන්නෙ.

පුතාගෙ මූණ බලපු ටීච,

'එහෙනම් භාග්‍යා මෙතන ඉඳං යන්න පුළුවන් නෙ'
කියල ඇහුවෙ හිතකින් නම් නොවෙනබව දැනුනත් පුතාට තරහා ඇවිත්,

'අපේ නංගි කෙනෙක් නං මේ වැහි බීරමේ මඟ දාල යනවද? ක්ලාස් පරක්කු උනාට කමක් නෑ.මෙයාව ගෙදරට දාල යං.'
කියනකොට මාල ටීචට පොඩි හිනාවක් ගියා.

'භාග්‍යා.. අපිට පාර පෙන්නන්න.'

කෙලි පැටික්කි පාර කියන්න පටං ගත්තා.
කටින් නෙමෙයි.ඇඟිල්ලෙන්.
ඉස්කෝලෙදි ඇහෙන නෑහෙන තරමට වචනයක් දෙකක් දරුවා කතා කරත් කාර් එක ඇතුලෙදි නම් වචනයක් වත් ගන්න බැරි බව මූණ දිහා බලපු ගමන් ටීචට තේරුණා.

කුඹල්ලංග මුස්ලිම් ජනපදය මැදින් කාරෙක බොහොම පරිස්සමින් හෙමින් හෙමින් ඉදිරියට ඇදුනා.
බෝ කරලා අතෑරලා දාපු ළමයි රංචු රංචු ඕන ඕන හැටියට පාර පුරා දුවනවා.. පනිනවා.
ඒ අස්සෙ ගැටවරයො යතුරුපැදි අරන් එන්නෙ සුනාමියෙන් බේරෙන්න මිනිස්සු දුවනවාටත් වැඩි වේගෙන්.

යනවා.. යනවා... ඉවරයක් නැති නිසා මාල ටීචටත් ටිකක් සැරෙන්ම

'කොහෙද ළමයො ගෙදර..? තව දුරද?'

ඇහුවෙ නොඉවසිල්ලෙන්.
ඇයි පුතාගෙ පංතියට යන්නත් ඕනෙ.
මහත්තයා එන්න කලින් ගෙදර යන්න ඕනෙ.
පොත් වගයක් තියෙනවා හෙට බලාගෙන යන්න.
පාඩං සටහන් ලිව්වෙ නැත්තන් ප්‍රින්සිපල් ගෙන් කුණු බැණුම් අහන්න ඕනෙ.
ඒ මදිවට සේවාස්ථ සැසියට යන්න කලින් හදාගන යන්න කියල එවපු ක්‍රියාකාරකම් උපකරණ හදන්න ඕනෙ.
රෑට උයන්න ඕනෙ..
මේ ඔක්කොම අස්සෙ කිලෝමීටරේකට වැඩිට ගමක් අස්සට යනවා.. යනවා.. ඉවරයක් නෑ.

කොහොමින් හරි මුස්ලිම් ජනපදේ අවසානෙ හරියෙ තියෙන කට්ටි කරපු පොල් වත්තෙත් අන්තිම මුල්ලට යට වැදි වැදි කාර් එක ආවා.
හාත්පස අඳුරු වෙලා සීතල හුලං හමන්න පටං අරන්.
ඔන්න දැරිය ටීචගෙ අතින් අල්ලලා වාහනේ නවත්තගත්තා.
ඉක්මනට වාහනෙන් බැහැලා දරුව වත් එලියට බස්සගත්තත් ගෙයක් නම් පේන්න නෑ.

'කෝ පුතේ ගෙදර?'

ලන්දක් අස්සෙන් හැදුනු පොඩි අඩිපාරක් අස්සෙන් දුවපු පුංචි භාග්‍යා තමුන්ගෙ ගෙදර අත දික් කරලා පෙන්නුවා...

පොඩි ඇලකින් එහා පැත්තට පැනල යන්න ඕනෙ.
ඉවුරට වෙන්න හදල තියන ගෙයක්..

ගෙයක්..(?)

ටකරන් තහඩු දෙකක් එකට හේත්තු කරලා වටේට පරණ සාරි වලින් වට කරලා.
හතර අතට කකුල් විහිදුනු ඇඳ කබලක් උඩ හට්ටි වලං දෙකතුනක්,පැදුරක්,කාඩ්බෝඩ් පෙට්ටියක් එහෙන් මෙහෙන් පිටට පේනවා.
මේක තමයි භාග්‍යගෙ ගෙදර...

'කො පුතේ අම්ම ඉන්නවාද?'

වාහනේ සද්දෙට වෙන්නැති කුතුහලයෙන් බල බල ඇලෙන් මෙහාට වැඩි වයසක් නැති ගෑණු කෙනෙක් ආවා. ආපු ගෑණු කෙනාගෙ චීත්තපොට භාග්‍යා අත්දෙකෙන්ම අල්ලගත්තා.

අත් දෙකේ මැටි ඇලෙන් බාගෙට බාගෙට වගේ සෝදගන ආපු තරුණිය දැක්ක ටීචට මතක් උනේ සාරය මිරිකී ගිය උක් රොඩු කැබැල්ලක්.

'අම්මව හම්බුනු එක හොඳයි.භාග්‍ය දැන් අකුරු එහෙම ලියනවා'

අම්මගෙ චීත්තෙ අස්සෙ දැවටෙන පුංචිත්තිටයි අම්මටයි ටිකිරි හිනාවක් ගෙනෙන්න ඒ වචන සමත් උනා.

'ඒත් සතියක් ආවොත් සතියක් නෑ..
අන්න එහෙම තමා බැරි.
පොඩි කාලෙ ඉඳන්ම හැමදාම ඉස්කෝලෙ එවන්න දරුවව.
ඇයි මේ කඩින් කඩ එවන්නෙ?'

පුතා දිහයි ටීච දිහයි අහස දිහයි බලල කෙල්ල දිග හුස්මක් හෙලුවා.

'අනේ ටීච මෙහෙම හරි දරුවව එවන්නෙ හරි අමාරුවෙන්...
දුව සතියක් එනකොට ලොකු පුතා ගෙදර.. මල්ලිව බලාගන්නවා.
පුතා ඉස්කෝලෙ යනකොට දුව තමයි ගෙදර නතර වෙලා මල්ලිව බලා ගන්නෙ.
දරුවන්ගෙ තාත්තා පොල් කඩන්න හැමදාම උදෙන්ම යනවා.
මේ වැස්ස කාලෙට ගස් යන්න බෑ නෝනා.ගස් ලෙස්සනවා.
ඉතිං මමත් ඔය කුලී වැඩක් හොයාගන යනවා.
පොඩි එකා අරන් ගියාම වැඩ ලැබෙන්නෑ නෙ නෝනා.
ඉතිං මේ දෙන්න මාරුවෙන් මාරුවට ගෙදර නවත්තන්නැතුව මම මොනවා කියල කරන්නද?'

'ඒ කියන්නෙ භාග්‍යා ඉස්කෝලෙ යන්නෙ ගෙදර එන්නෙ තනියමද?'

'ඔව් නෝනා.කෙල්ලට දැං ඒක හුරුයි.උදේට නං පාරට අපිත් එක්කම යනවා.හවසට ලොකු ළමයි එන වෙලාව වෙනකන් ඉඳලා එයලගෙ පස්සෙන් හංදියට එනවා.එතන ඉඳන් ඉතින් එන්න මෙයා දන්නවා.'

'අද එතකොට පුතා ගෙදරද?'

'ඔව් නෝනා.මම මේ අද කුලියට වත් නොයා මේ ගේ(?) වටේ මැටි තියනවා.මොහොමඩ් මහත්තයාට පිං සිද්ධවෙන්න මේ ඉඩංකෑල්ල දුන්න හිංදා ඉන්න තැනක් තියෙනවා.
ඒත් ඊයෙ රෑත් ගේ (?) ඇතුලෙන් වතුර ගැලුවා.
දැන් වැස්සට කලින් වතුර පාරවල් හරවන්න ඕනෙ.
කොල්ල මැටි කපාගන එන්න ඇල උඩහට ගියා'

......................................







හිතවතුනි...,

මේ කෙටිකතාවක් නොවේ...
මේ පරිකල්පනයක් නොවේ...
ගස්ලබ්බගේ මවට තරුණ ගුරුවරියක් අද දවසේ දැනුම් දුන් විස්තරයක් කිසිදු වෙනසකින් තොරව වාර්තා කිරීමක් පමණයි.




මේ කථාව ඇසෙන විට ගස්ලබ්බාගේ මතකයට නැඟුනේ 'සිහිනයකි රෑ' වැඩසටහනට පැමිණි ජයලාල් රෝහණ නැමැති කලාකරුවායි.
බිඳකට කාලය කැපකර මේ සබැඳිය නරඹන්න.






Monday, May 9, 2016

අරුමයක් මැයි...



රූරා වැටෙද්දී 

වෑයමින් රැස් කොටගත්
බිඳෙන් බිඳ
ඇදෙද්දී පසුපසට
සිනා සෙන්නට
පෙර වගේ
එඩි වඩනු මැන
ජීවිතය
ඔබ නම්
අරුමයක් මැයි...

Wednesday, May 4, 2016

රාල

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

යුද්ධය අවසන් විය.වටිනා ජීවිත රාශියක්,මහා ධනයක්,කාලයක් නාස්ති වූ කාලකණ්නි යුද්ධය අවසන් විය..

ගිණිගන්නා...ගිණි නිවීගිය මැදුරු,ශාලා වලින් අහසට නැගෙන දුම් රොටු තවමත් තැනින් තැන දක්නට ඇති බව යහන් ගැබේ කවුළු සළුපට ඈත් මෑත් කරන කල දකින්නට ලැබෙයි.

රාජකීය වෙදදුරුතුමන්,පුරෝහිත සහ මහසෙනවි සමඟින් යොදාගත් රහස්‍ය මන්ත්‍රණයට නොපමාව යායුතු ය.

මහත් කල්පනාවෙන්ම සිරුරු කිස නිමකරමින්ම තවත් පමා නොවී මන්ත්‍රණය අරඹන්නට රජ තෙමේ තීරණය ගත්තේ යහන් ගැබ අබියස කුටිය ඒ සඳහා සූදානම් විය.

'ජයශ්‍රී රජතුමණි'

'ජයශ්‍රී'  'ජයශ්‍රී'

රජ තෙමේ තිදෙනාට අසුන්ගන්නට අතින් සන් කරමින් රවුම් මේසය වටා අසුන්ගත්තත් කිසිවෙකුත් උනන්දුවෙන් භෝජන ලබාගන්නා බවක් දක්නට නොවීය. එහෙන් මෙහෙන් යන්තම් කුස රවටාගෙන මහත් කල්පනාවට මුල්තැන දී සිටින වෙදදුරුගේත් මහසෙනවිගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමින් එක් ක්ශීර බඳුනකින් උදෑසන භෝජනය අවසන් කළ රජ තුමා ඖෂධ කල්කය ගිල දමා මන්ත්‍රණය ආරම්භ කලේ අස්පස් කල සියළු දාසයන් ඉවත් වූ පසුව ය.

'මහසෙනවි..
නගරයේ සිදුවන මංකොල්ලකෑම්,ඝාතන සඳහා තවමත් සෙබළුන් සම්බන්ධවන බවට තතු සැලවෙනවා.. ජහග්‍රහණයෙන් ඔදවැඩී මධුපානයේ යෙදුන සෙබළුන් පිරිස් මීට සම්බන්ධ බව සැලයි...'

'එසේය මහරජතුමණි,මීට අමතරව විවිධාකාරයෙන් තම දිවිතොර කරගත් සෙබළුන් ගණනද අඩුවක් නැහැ'

'හ්ම්ම්ම්... වෙදදුරුතුමණි,
ඔබතුමන් දුර්ලභ ඔසු භාවිතයෙන් තනවා දුන් විශේෂ ඖෂධ හේතුවෙන් මා යම්කිසි අස්වැසිල්ලක් ලැබුවද සුවපත් නින්දක්... සැනසිල්ලක් මා හට පවා නොමැති තරම්..
කඩු පහරින් සතුරු හිස් දෙපළු කලේ මා පමණක් නොවේ..
අප මනුශ්‍යඝාතනය කෙලිකමට කලා නොවේ..
ඉදින් සෙබළුන් ගැන කවර කථා ද..??
විසඳුමක් සෙවිය යුතුමැයි..'

'අවසර මහරජතුමණි,
යුද්ධය හේතුවෙන් අතපය අහිමි වූ,තුවාල ලැබූ පිරිස් වලින් අපගේ වෙදශාලා පිරී ඉතිරී ගොසින්.යටත්වූ සතුරු හමුදා තුවාල කරුවන් සියළුදෙනාගේ වගකීමත් දැන් දරන්නේ අපයි.
ශාරීරික තුවාල.. ආබාධ පිළිබඳ ඔබතුමා කිසිසේත් නොතැවෙන්න.. ඒ වගකීම මා භාරගන්නවා.. නමුත්....
නමුත්... අප එක්වී මනසට ප්‍රතිකාර කිරීම වහ වහා ඇරඹිය යුතුයි..ජනයාට පැහැදිලි සන්සුන් මනසක් ලබාදිය යුතුයි..'


'පුරෝහිත තුමණි..,
කලභ්‍ර වංශිකයන්,පුණ්ඩු වංශිකයන් ඇතුළුව සතුරු භූමියේ වාසය කල වාසි ලැබූවන් මහා සංග්‍රාම කාලයේ අසල්වැසි රාජ්‍යයට කෙසේ හෝ පැනගොසින්.ඔවුන් විවිධ අවාසි සහගත අසත්‍ය චෝදනා අපට විරුද්ධව දැන් සිටම පතුරන බව සැලයි...
වහ වහා මෙයට පියවරක් ගත යුතුයි.'

'අවසර රජතුමනි..
එදවස අපගෙන් යම් දඬුවම් ලබා ඔබතුමන් හා හිත් අමනාප ඇති පිරිස් ද මේ හා සම්බන්ධයි.ඔබතුමා වෙතට ලැබී ඇති මහා ජන ප්‍රසාදය ඉවසාගත නොහැකි ප්‍රභූන් පිරිසක් ද යම් යම් කුමන්ත්‍රණ වල යෙදෙන බවක් බුද්ධි තොරතුරු වලින් කියැවුනා.. ඔබතුමා මොවුන් දිනාගත යුතුමයි..

'හහ්... යුද්ධයේ අසීරු අවස්ථාවන්හි මහජන මතය සකස් කරමින් අපහට සහාය දුන් චිත්තධයිරිය වඩවාදුන් මහා සංඝයා විශයෙහි තත්වය කෙසේද?'

'කමාවන්න රජතුමණි.., මා ඉහත සඳහන් කල ප්‍රභූන් රැස්වන්නේත් චීවර ආරක්ශාව පිටයි..ඔබතුමන්ට ඔබතුමන්ගේ කිරුළ රැක ගැනීමට කල්පනාකාරී වන්නට සිදුවේවි...
එසේම ඔබතුමන් වෙනුවෙන් හඬක් නැඟෙන්නේත් සංඝයා තුලින්මයි.මහත් ඉවසීමෙන් කල්පනාකාරී විය යුතුයි රජතුමණි.'

'හහ් හහ් හා... අපට සැමදෙනාම සතුටු කළ නොහැකියි පුරෝහිත.. බලන්න.. සතුරුභූමියේ තිබූ වෙහෙර විහාර ගිණිබත් කරමින් .. වස්තුව කොල්ල කමින් කෙරෙන විනාශයට එරෙහිවයි අප සටන් වැදුනේ...

අහිංසක වැසියන් තලා පෙලා අප දිවයිනේ වස්තුව පිට කරනවාට විරුද්ධවයි අප සටන් වැදුනේ..
 මේ මතය ජනගත කළ යුතුයි..'

'අවසර රජතුමණි..'

'ඔව් සෙනවි.. පවසන්න..'

'සේදමාවත ඔස්සේ එන වෙළෙන්දන්.. වෙනත් වෙළෙන්දන් නාවිකයන් ගැන අප අවධානය යෙදිය යුතුයි.
යුද්ධායුධ වෙළෙඳාමේ යෙදුන ඇතැම් වෙලඳුන් අප හට ආයුධ සැපයූ නිසා ඔවුනට ඇතැම් වරායන් තහනම් කලාප වී ඇති බවට වාර්ථා කලා.. බොහෝ වෙළඳුන් අපව මඟ හරින අවස්ථාවේ අප හා සමඟ සිටි වෙළඳුන්,ඔව්.. ඔවුන් අති විශාල ලාභයක් ලැබූ බව සත්‍යයක්.. නමුත් ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි..

ඇතැම් වෙළෙඳ ප්‍රජාවන් අප දිවයින වෙළෙඳාමට නුසුදුසු දේශයක් බවට පතුරන මතවාද පරාජය කිරීමට මොවුන් අපට යොදාගත හැකියි..'

සාකච්ඡාව නැවතුමක් නොමැතිවම කෙරීගෙන යන්නට විය...සතුරා උවත් මිනිසෙකු හෙයින් ගරුකල යුතුබව රජතුමාම පෙන්වමින් සතුරු රජ සොහොනට රජතුමා ගරු කරමින් රට වැසියාට ආදර්ශ සපයා දුන්හ.
මාළිගය තුලත් පිටතත් තවමත් ජයඝෝශා.. ප්‍රීති සාද උත්සව පැවතෙන්නටම විය..

මේ අතර හදිසියෙන්ම රාජ ආඤ්ඤාවක් නිකුත් විය.

රට සශ්‍රීක කිරීමේ වගා සංග්‍රාම ඇරඹින..

මගා සංඝ‍යා වහන්සේලාගේ අනුශාසනා පරිදි විශාල පිරිසකට එකවර සහභාගී විය හැකි වෙහෙර විහාර ව්‍යාපෘති ඇරඹුනි.

සෙබලුන් ගේ ශ්‍රමය වැටුප් සහිතව මේ සඳහා යොදාගැනුනු අතර වඩා සුව පහසු කූඩාරම් හා නැවතුම් මොවුන් හට පිලිවෙල විය.

ගම්මාන ආශ්‍රිතව වැව් පොකුණු ඉදිකිරීම් සිදුවිය.. 

ගමේ හැදූ පොකුණ විවෘත්ත කිරීමට පැමිණි මහසෙනෙවිගේ යෝධයා  රැගෙන ආ රා කල ගම්මුන්ට බෙදා දුන් බවක් මතක ඇත..ඒ ජය ඝෝශා තාමත් ඇසෙනවා වැනිය... තමාව යමෙකු ඔසොවන බව රාල ට දැනෙන්න විය.

'ලොකු උන්නැහේ... මොකද..?? ඊයෙ ආපු බස් එක මිස් උනාද?
කඩේ අරින්න තියෙනවා.. මගෙ දවස කාලකණ්නි කරන්නැතුව පව් නොදී යනවද........? කාලකණ්නි මැයි දින කාරයො'

ඇමැති තුමාට ජයවේවා කියා ලොකු අකුරින් ලියූ බැනරයක් පොරොවා කඩපිලේ නිදා උන් මනුශ්‍යයා ඇද දමන ලදින් උඩ බිම බලමින්,තතනමින් ඉවත් වනු පෙනින...