Friday, May 12, 2017

පාරදිගේ.... දිගේ... දේගේ.... ගියපු කතාව

ගස්ලබ්බගෙ පුදුම ආසාවක් තියෙන්නෙ ඉබාගාතෙ ඔහේ අයාලේ යන්න.ආසාවක් තිබ්බ කියල ඕක ඉතින් කොරන්න පුලුවන් වැඩක් යැ.හෙහ් හෙහ්.ඒත් ඉතින් ඔය ආසාව යම් පමණකට ගොඩ දාගන්න ඇහැක් උනා පහුගිය දවසක.
දැන් මේ ලියන්න යන්නේ ඒක ගැන.
ගමනට අපි හතර දෙනෙක් සෙට් උනා.
මම තුමා, පියා (ජනිත.), සිරා (වජිර.) , හැරී(හේමන්ත.)
ඔන්න අපි හෙමින් සැරේ දවස් සෙට් කොරගත්තා.

හැරියා පාන්දර දෙකට විතර ආවා.දෙන්නට කියවන්න බොරු ලිස්ට් එකෙ සෑහෙන්න පිරිල තිබුනෙ ඒකා කාලයක් ඔටු දේසෙ හිටපු නිසා.(මේකා මට ශීෂ එකක් ගේන්නම් කියලා ගෙනාවෙ නෑ නෙ.එයාපෝට් එකෙන් අල්ලයි කියල බයේ.)
ඉතින් උට වෙල්කම් ස්පීච් එකක් දුන්නා 'ඇයි මම ආවේ?' කියල හිතෙන්න. රෝස් පානයක්,ඔම්ලට් එකක් කාල ඌව දොයි කරලා ගස්ලබ්බත් නිදාගත්ත පාර ඇහැරුනේ අනික් ගැස්ටා 'පියා' ඇවිල්ලා හෝන් කරලා හෝන් කරලා ගේට්ටුව උඩින් පනින්න යනකොට. (මේ දවස් වල ගස්ලබ්බට එලි වෙන්නෙ උදේ පාන්දර 10ට විතර බව පාඨකයන් දැනගන්න එක වටී.)

කෝමින් කෝම හරි අතට අහු උන බඩු ටික වාහනේට දාගන්න ගස්ලබ්බි ඇස්.ඇම්.ඇස් කොරපු චෙක් ලිස්ට් එක පරෝජං උනා.

ඔන්න පියයි,සිරයි,හැරියයි,ගස්ලබ්බයි දෙයියනේ කියල යන්නෙ කොහෙද නොදැන පිටත් උනා.
හැබැයි මඟ දිගට එකම අඳෝනාවයි... හදිස්සියට මතක බැරි උන දේවල් එකින් එක මතක් වෙනෝ.පියා ආපහු හරවන් යන්න හැදුවත්,සිරයි හැරියයි පස්ස ගැහුවා.නමෝ විත්තියෙන් පිටත් උන ගමන ආපහු හැරෙන්න හොඳ නෑ කියලා කොහෙදෝ හිටපු ජූතක බමුණෙක් කිව්වයි කියලා... හෙහ් හෙහ්

කොහෙද යන්නෙ කියල කාටත් වගක් නෑ. ගස්ලබ්බි අහන නිසා මඩොල්සිමයි ආරුගම්බොක්කෙයි යනවා කිව්වට ශුවර් නෑ.
ඔන්න අපි වාහනේ නුවර පැත්තට ඇදෙනවා.හැබැයි නාකි බල්ලා කොළඹ යනෝ වගේ තමා.මොකද පියා තීරණයක් අරන් තිබුනා විනයගරුක රියදුරෙක් වෙන්න.
නෙද්දකින් ඕකගෙ මාර්ග විනය.



අන්තිමට විනය තකන්න දැඩි තීරණයක් අරගෙන නුවර එළියෙ යමුයි කියලා දැම්මා ශෝට් කට් පාරකට.කියන්න සන්තෝසයි පිවතුනි,එක දිගටම ට්‍රැෆික්.මොකද්දෝ ඇක්සිඩන්ට් එකක් හැප්පිලා.ආපහු හැරෙන්නත් බෑ.යන්නත් බෑ.
සර්ව සුභවාදී ගස්ලබුතුමාගේ බඩේ පණුවො කියපු දේ අහලා මේ ට්‍රැෆික් එක අපී බ්‍රෙක්ෆස්ට් එක කොර ගත්තා.පියා ගෙනාපු පාන් ටෝස්ට්,තේ බෝතලේ නිසා ගේම ලස්සනට ගියා.ඒ අස්සෙ පොලිසියෙන් පෙන්නපු අතුරු මාර්ග හැම එකකකටම හරව හරව කාර් එකකින් සෆාරි අත්දැකීමක් ලබන්නත් ඇහැක් උනා. (පව් අහිංසක වාහනේ.)

යන අතරේ පියාගෙ නොස්ටැලජියාව උග්‍ර වෙලා උට ඉහලකොත්මලේ බලන්න ආසාවක් ඇති උනා නෙව.

ඒ අතරෙ සිරාගෙ තිබහත් වැඩි වෙලා කනු කුනු ගානවා.(හරි හරි ඉතින් ගස්ලබ්බත් ඒකට උල්පන්දම් දුන්නා තමයි.) හැබැයි ලස්සන පොට් එකක නවත්තඥ්ඥං නවත්තඥ්ඥං කිය කිය පියා අපිව සෑහෙන්න .. නෑ නෑ.. නොසෑහෙන්න රස්තියාදු කරා.



(ඩන්සිනන් ඇල්ල)


හැබැයි බුවා අපිව ලස්සන දියෑල්ලක් වන ඩන්සිනන් ඇල්ල ගාවින් බැස්සෙව්වත් එතන කෝවිලත් එක්ක නාක වැඩ කොරන්න හොඳ නෑ කියලා ආපහු ලස්සන තැන් හොයාගෙන නඩේ පිටත් උනා.

මෙතනදි කියන්න ඕනම දෙයක් තමා පියයි සිරයි කියන්නෙ අමුතුම පිස්සුවකින් පෙලෙන දෙන්නෙක්.මුන්ට ඕනෙ ලංකාවෙ හැම පාරකම යන්න.වෙහෙසක් මහන්සියක් නැතුව දුර වටරවුම් පාරවල් ගූගල් දෙයියන්ගෙන් අහ අහ බල්ලට ඇති වඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියල ඔහේ යනෝ.අපිත් ඉඳන් ඉන්නෝ.. මුන් යනෝ.. අපිත් ඉඳන් ඉන්නෝ.. මුන් යනෝ...
මේක හරියන අධෝමාර්ගයක් නෙමෙයි කියල ගස්ලබු තෙමේ රෞද්‍ර වෙස් ගෙන සිංහනාද පවත්වා පාර අයිනෙම වාහනේ නවත්තන්න බල කොලා.මෙන්න මේ පිං (වත්)පියා නැවැත්තුවේ දඩ කුණුගොඩක් ලඟ. කුණු කියන්නෙ රත්තරං කියනවානෙ.
ඔතින් ඒ සුගන්ධවත් වටපිටාවේ එඩ්වඩ් රජුරුවන් එක්ක මඳ පමණට ආශ්‍රය කරන්න අවස්ථාවක් උදා උනා ඔන්න.

(මොනා උනත් එඩ්වඩ් සජ්ජුරුවො නං මල් හතයි ඔන්න.)

මෙච්චර වෙලා වාහනේ ඇතුලෙ තිබ්බ ගොබ්බ නිස්සද්දකම කුණුගොඩටම හලලා මෙන්න කොල්ලො සිංදු කියනවා..
කෑ ගහනවා...
සිරා තුමාගෙ හොම්බ දිග කැමරාව එලියට ඇවිත් සට සට ගාල පොටෝ කෑලි වදිනවා...
පියා තුමා මේ ලෝකෙ ඉන්න දක්සතම දේස ග වේස කයා වගේ කොමෙන්ට්‍රිය දෙනවා.
හැරි තුමා අම්ම මෝ නැතිව එව්වට ඌණ පූර්ණ දෙනවා... හොය්යා හෝයියා...

(තේ කූඩය හිසේ බැඳි කාන්තාවන්)

(තේ වත්තකට වළාකුලක් පාත් වෙනවා)

මඟ දිගට හරිම ලස්සන  දර්ශන ටිකක් දැක්ක හැබැයි.

පැය දෙක තුනෙන් ලංකාවෙ භූමිදර්ශන,කාලගුණය දඩ බඩ ගාල වෙනස් වෙන හැටි අද්දැකලම බලන්ටොනැ. හරියට මැජික් එකක් වගේ..

පිපිඥ්ඥා ගෙඩියක්,බීට් අලයක් ගන්න ගන්න මඟින් නවත්තන්න කම්මැලි වාහනේ ලස්සන කන්දක්,ගහක් දැක්ක ගමන් ස්‍රරාස් ගාල නවතින්න තරම් සිරාගෙ ඇඬියාව බලවත් වෙලා තිබුනා ඔන්න.

ඉබාගාතේ ඇවිදිල්ලේ තරම කියන්නෙ නුවර එළියට යනකොට හවස් වේගනත් ඇවිල්ලා.

(මේ බස් නම් ගැමුණුට අයිති නැතුව ඇති)

මේ වෙනකොට ගස්ලබ්බගෙ බඩේ ඉන්න පණුවො දැනුම් දුන්නෙ ඔරිජිනල් දෙමළ විදිහට තෝසෙ ටිකක් එවපන්... එවපන්න්න්....ම කියලා.මොනව උනත් බඩපණුවො කියනදේ අහන්න ඕනෙ නිසා කස්ටියම දුන්න තෝසෙ පාරක් රිදෙන්න.
මහ ලොකුවට කයිය ගැහුවෙ තෝසෙ වර්ග කීපයක්ම රස බලන්න.හැබැයි ඒ මහ විසාල තෝසෙ දෙක තුනක් කන්න නම් බඩවල් දෙක තුනකුත් ඕනෙයි කියල තේරුනේ කනකොට.හෙහ් හෙහ් හේ..

(වඩේ එක්ක දෝසා)

නුවර එළියෙ නම් රෑට නවතින්නෙ නෑ කියල ඒකමතික තීරණයක් තිබුන නිසා ගෙනල්ල තිබුන කූඩාරම කොතනින් හරි අටවගමුයි කියල හිතාගෙන ඔන්න කස්ටිය පල්ලම් බහිනෝ... හැබැයි අපි පල්ලම් බහිනකොටම ඉරත් පල්ලම් බහින්න ගත්ත නෙව. නොදන්න පළාත් ඔල නොදන්න ඉසව් වල අමු කළුවරේ කෝමෙයි කෑම්ප් ගහන්නෙ.. සේෆ්ටි ෆර්ස්ට් කියනවානෙ. ඉතින් මණ්ඩලේ තීරණේ කොලා පාර අයිනෙ ඕසෙට තියන රූම්ස් ගත වෙන්න.හැබැයි ඒ තීරණේ ගන්නකොට ආසාවකට ගෙයක් දොරක් වත් පෙනෙන්න නැති උන එක තමා විනෝදෙ.හෙහ් හෙහ්... මෙච්චර ලංකාවෙ හිටියට අමෙරිකන් අධිරාජ්‍යවාදී ධවල ක්‍රිස්තියානි යටත් විජිතවාදීන් ගේ සී.අයි.ඒ කුමන්ත්‍රණයක ප්‍රඨිපලේකින් (නෑ... නෑ.. එහෙම කිව්වෙ නෑ.) ගූගල් දෙයියො තමා මේ වාරෙත් පිහිටට උන්නෙ.

වැල්ලවාය පැත්තෙ ඇති තරම් නවාතැන් තියන බව කන්ෆර්ම් කොරගෙන හෙමි හෙමිහිට පල්ලම් බහිනකොට නෙ දෙයියනේ මිහිපිට තවත් සුරපුරක් නෙත ගැටුනෙ.
නුවර එළියට වෙලා ඉරබහින යාමෙ හෙමිහිට බීර මග් එකක් හිස්කොරන්න හිතේ තිබිල යටපත් කොරගත්ත ආසාව බුබුලු දාන්න ගත්තා 'ඇල්ල' ටවුම දැක්කාම. යකෝ මේක නියම නයිට් ලයිෆ් එකක් තියන නගරයක් වෙලානෙ බොල.. කාටත් කියවුනේ ආයාසයක් නැතුව.
හැබැයි කෙට්ටු පර්ස් එකක් එක්ක , බජට් ට්‍රිප් එකක් යන්න හිතාගෙන පිටත් උන නිසා නවත්තමු..! බහිමු.. ! කියල කිව්වෙ නැති උනාට 'ආයෙත් දවසක රාත්තිරියෙ මෙහි එමි' යි පරම අපවිත්‍ර චේතනාවෙන් ඇල්ලට ඇවිත් ජවුසම් නටපු සුද්දියො ගැන කතා කොර කොර මිදි තිත්ත න්‍යාය ඔස්සේ හිත හදාගන්න එක එකා තීරණය කොර ගත්ත බව අඩ අඳුරේ මූණු වලින් පෙනුනා..

අපි යන පාරෙම රාවණා ඇල්ල තියන බව දැන උන්නත් රාවණා ඇල්ල ලඟට යනකොට සද්දෙ විතරයි... කට්ට කළුවරේ මෙලෝ බෝලයක් පෙන්නෙන්නෑ... හැබැයි අපි සැලුනද? සැලුනා..ද? නෑ සුපින්වතුනි. කොච්චර දැකල තිබුනත් ටෝච් ගහල හරි රාවණා ඇල්ල බලලයි අපි තොමෝ ගමන කොන්ටිනිව් කොලේ...

(ටෝච් ගසමින් රාවණා ඇල්ල බැලීම.)

ඇල්ල මිස් වුනු පාළුව මතකය ගුලි කොල්ලා රාවණා ඇල්ලට දැම්මා කිව්වොත් ඒත් ශරි.

වැල්ලවාය මාවට්ටම් වලට රිපෝට් කොල්ල අහක්කෙලා කලින් කතා කොරපු තැනට ගිහින් බලනකොට එතන අංකල් ඩෑල් සෙට් එකක් පිස්සො වගේ.. පිස්සො වගේ බොනෝ. එකම කාලගෝට්ටියයි.
වහා ක්‍රියාත්මක වන පරිදි ආපහු හරවගෙන නවාතැනක් හොයාගෙන... හොයාගෙන ඇවිල්ලා... නවතුනා නියම තැනක.ඇඳන් හතරක් තියන යාබද නාන කාමරයක් තියන විසාල කාමරයක් සුපියල් දෙදාහකට දෙන්නම් කිව්වම අපි දෙපාරක්ම අහල බැලුවෙ ගාන හරිද කියලා..
යකෝ වැල්ලවායෙනෙ නවතින්න ඕනෙ.හෙහ් හෙහ්..
නවාතැනේ අයිතිකාරයාගෙ වයිෆයි දුවයි දැක්ක ගමන් අපේ සමහරක් බෑක් මළු අතින් කටින් උස්සගෙන කාමරේට දුවල ගියේ කාගෙවත් හිත් වෙනස් වෙන්න කලින්.(කවුද අහන්න ඔට්ටු නෑ ඕන්.)

නා කියාගෙන බෙහෙත් බීල කොරලා රාත්තිරී සෙශන් එකටත් රොබොට් රජ්ජුරුවන්ටම ආරාධනා කොලා. මිනිහ නම් සෝයි.. සොට් එකෙන් සොට් එකට සන්තෝසෙ වැඩි වෙනවා..

අමධ්‍යප උදවිය වේලි වේලි උන්නත් වැඩේ පාන්දර තුන හතර වෙනකන්ම නැගල ගියේ ගේමක් නැතුවම.
ඒ අතරේ උඩ තට්ටුවේ අඳුර අතරින් ෆෝන් රිං වීම්, නවාතැන් පලී ගෙ හඬ ඇසීම් එහෙම සමහරුන්ට ඇහිලා.. ඒත් පනපිටින් යන්න උවමනාව නිසා ඉවසන් උන්නයි කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.

දණි පනි ගාගෙන නිදාගන්න යනකොට මෙන්න බොලේ සිරා දත් මදිනවා.. පිස්සු තද වෙලාද කොහෙදෝ.. යන්තං ඇහැ පියවුනා විතරයි හැරියා කෑගහනවා.. ගස්ලබ්බෝ යන්නැද්ද කියලා.අමාරුවෙන් ඇහැ ඇරල බලනකොට මෙන්න සිරා ආයෙත් දත් මදිනවා.. කාගෙන් වත් අහන්නැතුව ගස්ලබ්බා තීරණය කරගත්තා ඔය දත් මැදිල්ල උගෙ පිස්සුවේ තවත් කොටසක් කියලා.වැඩි සද්ද බද්ද නැති හැරියත් හෙමින් සැරේ සිරාගෙ කට ඇතුල එබිල බලනවා ගස්ලබ්බා බලාගෙන.. ඌ බැලුවෙ මම හිතන්නෙ කටේ තියෙන්නෙ දත්ද නැහ්නං මුතු ඇටද කියල වෙන්ටැ.

වැල්ලවායෙන් පිටත් වෙලා යනකොට වාහනේ බාරගත්තෙ හැරියා. ඌ ඔටු දේසෙ ඩබල් කැබ් වලින් කරපු වික්‍රම රෑ පුරා වමාරපු නිසා උට වාහනේ නොදී පියාම දැක්කුවා නං ඒක අපහාසයක් වෙනෝ.
අනේ දුන්න තමයි...
මේකා වටරවුම් වල වාහනේ හරවන්නෙ ස්කැමල් හරවනවා වගේ දුරින්..
ඒ මදිවට යන්නෙ දකුණෙන්..
මේ පළාත්වල පාරෙ එන ජෙට් අස්සෙ මේ විගඩං බලාගෙන ඉන්නෙ කෝමෙයි අප්පා...
මුට මේ ඉන්නෙ ලංකාවෙ කියල මතක් කොල්ල දෙන්න සෑහෙන වෙහෙසක් ගන්න උනා.පරාණ බයේ කෑ ගහලම බඩගින්න වැඩි වෙලා පොඩි කඩේකින් කඩේ තිබ්බ ඔක්කොම ජාති බඩවල් වලට දාගන්න අපට සිද්ධ කරේ ඔය හැරියම තමා.

(බුදුරුවගල පිහිටිගලේ මතුකල මූර්ති වලින් කොටසක්)

රායිටෝ.. කියල කස්ටිය වටේ පිටේ බලන්න තියන තැන් තෝරලා... තෝරලා... බුදුරුවගල යන්න තීරණේ කොලා.ඒ වගේම ගියා..

කියන්න සන්තෝසයි මඟින් චෙක් පොයින්ට් එකකින් වාහනේ සුද්දො ඉන්නවාද බලල ටිකට් ගන්න කියනෝ.උං නැත්තං ඕන නෑ.අපි දැං ඕකට බැන බැන යනෝ.. මඟ දිගට කැලෑව.වැව්... වැව් කනතු. කුරුල්ලො.. ශෝයි ... ඒ අස්සෙ ආමි එකේ කොළු පැටව්.ට්‍රේනිං ද කොහෙදො.
(තමුන්ගෙ පාඩුවේ ඉන්න වැවක්)

ලංකාවෙ තියන සංචාරකයන් ගැන හිතල අදට ගැලපෙන්න නඩත්තු කරන හොඳම තැනක් විදිහට බුදුරුවගල නම් කොරන්න ඇහැකි.පිරිසිදු ආරක්ශාකාරී වාහන නැවතුම්,වැසිකිලි පද්ධති, නිළ ඇඳුම් ලා ගත් සේවකයින් සහිත පරිසරය නියමයි. ටිකට් එකට පාඩු නෑ කියල සුද්දට හිතෙන්න වැඩේ කොල්ල තියනවා.

බුදුරුවගලින් අනතුරුව යුධගනාවට.
යුධගනාව පාක් එකේ වාහනේ දාල මං මුලා...වී පාර අසාගෙන හසරක් අහමින් යන ගමනේ අපට පාර කිව්වෙ එතන කඩේක දොඩං අක්ක කෙනෙක්.අනේ ඉතින් එයා කියපු පාර දිගේ මහා.. රූස්ස ගස් යටින් හෙවනෙ ගිහිල්ලා... පුරාවිද්‍යා එකේ නෝනලා මහත්තුරුන්ගෙ කුඩම්මගෙ සැලකිල්ලට භාජනේ උනු මහා සෑය දැක බලාගත්තා.

(යුධගනාව මහා සෑය)

පේමදාස මහත්තයා මේක හදල ගන්න ට්‍රයි කරත් හරි ගිහින් නෑ. ඔතන රවුම් ගහල බලල කොරලා එනකොට කතා කරපුවා කාට හරි ඇහුනනං අපිව කුදලං යනවා මහා නීල නිධන් හොරු විදිහට. හොඳ වෙලාවට කාටවත් ඇහුනෙ නෑ.
අනේ අපට පාර කිව්ව දොඩං අක්කට කළගුණ දක්වන්න එයාගෙ දොඩම බිව්වට මොක්ද කැලේට පිපුණු ලස්සනම ලස්සන මල් වත්තක් එතන කඩ දාගෙන ඉන්න බව දැක්කෙ පහු වෙලා නෙව.පිච්චීගන යන පපුව කූල් කොරන්න එතන දෙහි දොඩම් වලට නම් බැරි උනා... ශැහ්ඃ..


නෝනා වරුනි, මහත්වරුනි, දරුවනි,දැරියනි, ආච්චියේ,සීයේ,නැන්දේ, මාමේ,..මීලඟට අපගේ අවධානය යොමු වුනේ මාලිගාවිල පෙදේසෙටයි. අන්න මාලිගාවිල.
යනවා.... යනවා... යනවා... තවත් යනවා... ගිහින් ගිහින් ඔන්න තැනට ගියා.
හපුච්චියේ... දොඩම් බොන්න.. තැඹිලි බොන්න එකම වදයයි එතන.
කිසිම නිස්කලංකයක්, කණට නිවනක් නෑ. ඇතුලට යන තැනම මහ පීකරයක් බැඳගෙන ගඩොල් විකුණනවා මක්කදෝ එකකට.ගත්තෙ නැත්තං ගඩොලෙන්
 ගහන සයිස් කතාව. පීකරෙන් නම කියනවා අහන්න කැමති ආච්චිලාට නම් ගැලපෙන තැන.

ඉහින් කනින් දාඩිය පෙරාගෙන යනකොට එතන බලන්න තැන් දෙක තුනක්ම තියනවා.

දඹේගොඩ බෝසත් පිළිමය එක් පැත්තකිනුත් මාලිගාවිල විහාරය සහ පිළිමය තව පැත්තකිනුත් විරාජමාන වෙද්දි අපි ඔය තැන් දෙකටම හෙමින් හෙමින් ගියා.
ගියාට මොක්ද මෙන්න මෙහෙම උඩට පඩි තියෙන්නෙ.....මෙන්න මෙහෙම.
කාල වරෙන්කො.ලඟටම ඇවිත් හැරිල යන්නයැ.
පියාගෙයි හැරියගෙයි කරවල් වල පිහිටෙන් ගස්ලබ්බත් කකුල් තුනෙන් නැග්ගා උඩටම.
අපි ගියා විතරයි එතන බලන්න ඇවිත් හිටපු සුන්දර මානවිකාවො කපුටන්ට ගල් ගැහුවා වගේ මාරු උනා නෙ.
බොහොම හිතට මාරුයි.. බොහොම..!
හිත හැදෙනකන් ඉඳගෙන ඉඳලා,පොටෝ කෑලි අල්ලලා පඩි බැහලා ගියා මාලිගාවිල පිළිමෙ බලන්න.

(මාලිගාවිල පිළිමෙ)

ඒ වෙනකොට හොඳ අව්ව.පිළිමෙ උඩට ගහල තියන වහලෙ ටක ටොක ගානවා.අවුවට ප්‍රසාරනේ වෙනවලු.මැදට කණු ගහන්නැතුව නවීන තාක්සනෙන් (ස්පේස් ට්‍රස්) ඉංජිනේරු සංස්ථාවෙන් ගහපු වහලෙ සම්පූර්ණයෙන්ම ඉම්පෝට් කොරපු එකක් කියල දැනගත්තාම ටිකක් දුකත් හිතුනා ඇයි අපට මෙව්ව හදන්න බැරි කියලා.වහලෙන් ඇදුනු කතාව සූරියවැව ග්‍රවුන්ඩ් එක,හම්බන්තොට සම්මන්ත්‍රන ශාලාව වගේ තැන් වලටත් කැරකි කැරකි යනකොට බඩේ පණුවො ආයෙත් මිස්කෝල් එවන්න පටන් අරන්.
ඒ නිසාම දෙමටමල් විහාරය ලඟ බොහොම පොඩි වෙලාවකට විතරක් නැවතිලා පිම්මේ බුත්තලට යාත්‍රා කොරන්න සිද්ධ උනා.

(දෙමටමල් විහාරය)

දවල්ට කන වෙලාවත් පහු වෙලා උන්නට බුත්තල ආමි කෑම්ප් එකේ සිරාගෙ හිතවතෙක් දවල් කෑම සූදානම් කොලා කියල දැනුම් දීල තිබුන නිසා හොයියා කියල එහාට ගියාට කොට කලිසම් ඇඳන් උන්නු අපි සැට් එක හින්දා පොර සෑහෙන අපහසුතාවයකට පත් උනා. මක් කොරන්නෙයි ඉතින්.. කිට මරල ට්‍රිප් යන්න ඇහැකෙයි අපට?
ලොක්කො වගේ ගිහින් කාල එන්න තිබ්බ අවස්ථාව හොරු වගේ පස්සෙ දොරෙන් රිංගලා කන අතරේ සිරාගෙ යාළු තෙමේ සිය බල අධිකාරිය විදහා දක්වන්නේ 'චිකන් කනවද? චිකන් කනවද?' අසන සමයේ 'නෑ එපා' යි සිරා බැගෑ ස්වරයෙන් පවසන කල අඩි පොලොවේ හප්පා.. මහා ගැඹුරු හඬ නංවා ආවතේව කරුවන් සී සීකඩ යවමින් 'චිකන් ඕනද නෙමෙයි ඇහුවේ.. කනවද විතරයි' ඝෝරනාඩු කෙරෙන්නේ අසරණ හැරියාගේ කටේ චිකන් අඬු දෙකක් හිර කරමිනි.
එදායින් මෙදායින් අදටත් සිරා චිකන් නාමයට වෙර බැඳ ඇති බව හුදීජන පහන් සංවේගය උදෙසා දැනුම් දෙන වගයි.


බුත්තලින් පස්සෙ කෙලින්ම මොණරාගල හරහා යනගමන් මොණරාගලින් නැවතිලා හැරියගෙ හිතවතෙක්ගෙන් දර ලෝඩ් එකක් වාහනේට දා ගත්තෙ මොන වගේ තැනක කැම්ප් කොරන්න වෙයිද දන්නැති නිසා.

මොණරාගල හරියත් මහ වැස්සෙ පහු කරනකොට හම්බ උනේ රබර් වතු,ඉරිඟු වතු වගේ අමුතු සීන්.ලාහුගල මනරම් වනරොද මැදින් වාහනේ යනකොට නම් හිතුනෙ මනුස්සයෙක් තමුන්ගෙ ජීවිත කාලෙදි එක වරක් වත් මේ මාර්ගයේ ගමන් කරල තියෙන්න ඕන් කියලා.එච්චරකටම ලස්සනයි... සුන්දරයි... නොඉඳුල් වනය හරිම ආදරණීයයි.

(කැලේ මැදින් පාර)

මේ කැලේ මැදින් යනකොට මතක් උනේ වංග ලේඛකයෙක් ලියපු 'අරණකට පෙම් බැඳ' කියන පොත.හඳ තියන රෑක ඔය පාරෙ යන්නෝන වෙලාවක.
බොටකඳා මාක් හැම තැනම ගහල තිබුනට යන්තම් හරි අලියෙක්ව බලාගන්න පුළුවන් වුනේ ලාහුගල වැව් කනත්තක ඈත ඈත ඈතටම වෙන්න තණකොල කකා හිටපු එකෙක්ව විතරයි.

(ගස් උඩ කොක්කු)

වල් ඌරො නම් පාර පැන්නෙ 'කාපිය අපිව කාපිය' කියාගෙන.මොණරු,විවිධ වර්ගයේ කොක්කු ඕසෙට.
පොතුවිල් පැත්තට එනකොට කුඹුරු මැදින් පාර තියනවා හරිම ලකේට.

(ගොං කරත්තයක්.)

හවස තුනට වත් ආරුගම්බොක්කට සෙට් වෙන්න හිතාගෙන හිටියට මුහුද දකිනකොටත් අඳුර වැටෙන්න ඔන්න මෙන්න.
වැල්ලවාය නවාතැනේ අයිතිකාරයා හදල දීපු කන්ටැක්ට් එක නිසා ආරුගම්බේ ආපු ගමන් 'සරත්' අයියට කතා කරලා සෙට් කරගෙන කෑම්ප් කොරන්න තැනක් හෙව්ව.
අපේ තේරීම උනේ ආරුගම්බේ පාලම උඩට කෙලින්ම මුහුද පැත්තෙන් පේන වැලි පරය.එතන ශෝයි තැන.
සරත් අයිය වටේ රෙස්ටොරන්ට් වල උදවියට කතා කරපු නිසා අවුලක් නැතුවම අපි කඳවුරු ඉදිකොරන්න පටන් ගත්තා.පියා තමුන්ගෙ හොන්ඩා ඇරියා (ඌ කියන්නෙ ඒරියා කියලා.) යුද්ධටැංකිය මඩ,වතුර,වැලි උඩින් කෙලින්ම වෙරළටම ගෙනාව. (ආයෙත් පව් වාහනේ..)
ටෙන්ට් එක ගහන්න ගත්තම තමයි ගස්ලබ්බ රත් උනේ.
ගස්ලබ්බගෙ ඉස්කෝලෙම බාලදක්ශයෙක් උන අසේල මල්ලිගෙන් ටෙන්ට් එක ඉල්ලගත්තට මොකද ඒක දිගෑරලා බලලවත් නෙමෙයි ගෙනාවෙ.
ඒ හැඩේට ටෙන්ට් එකක් දැක්කමයි.
කාල වරෙන්කො.

හබැයි අඳුර දැඩි වෙනකොට හරි ආකාරව ටෙන්ට් එකත් ගහගෙන ගිණිමැලෙත් අටවගන්න කොල්ලො ටිකට ඇහැක් උනා.
අපි ස්ථාවර වෙනව දැක්ක සරත් අයියා සල්ලිවත්,මත්පැන් පොදක් වත් මක්කක්වත් නැතුව සුභ පතලා නික්ම ගියේ මනුස්සකම තාමත් මේ ලෝකෙ ශේෂ වෙලා තියන බව ඔප්පු කරමින්.

(කඳවුර සූදානම් කොරමින්)

මහා සුළං ඇවිත් වැල්ලෙ ගහපු ටෙන්ට් එක හුළඟෙ යයි කියල බයෙන්ද කොහෙදෝ මුහුද එයාගෙ හුලං ඕෆ් කොලා. හඳ පායලා බ්‍රයිට්නස් වැඩි කොලා.

(මුහුද,කළුවර,හඳ එළිය.)

ගල් අඟුරු පත්තු කොරගන්නත් ඔට්ටු වෙන්න උනාට බොහොම සුවදායී මනස්කාන්ත පරිසරයක් අපි වටේට මැවෙමින් තිබුනා..

හිතෙන විදිහට ආපු ගමනේ කෑම හැදුවෙත් එවෙලෙට හිතෙන විදිහටමයි.

(නමක් නැති කෙබාබ් ජාතියක්.)

(පියා,සිරා,ගස්ලබ්බා,හැරියා ගැම්මට බලමින්.{සිරාගෙ ගැම්ම ගැන ප්‍රස්න අහන්න ඔට්ටු නෑ.මිනිහ මිනිහගෙ දත් පෙන්නනවා}.)

ගිණිමැලේට බඩඉරිඟු දාල පුච්චගෙන කාපු බවත්,ඒක නිවෙන්න නොදී අසල තිබුනු ගරා වැටුන පැල්පත එතනින් ඉවත් කරමින් හැරියා පරිසරය සුරකින්න ක්‍රියා කරපු හැටිත්,මහ රෑ ගිණිමැලේ ලඟට අමුත්තෙක් ඇවිත් උම්බෑ කියපු බවත් සිද්ධ උනේ වැල්ලෙ වැතිරිලා අහස බලනකොට හඳවල් දෙකක් පෙනෙන්න කලින් බව නම් ගස්ලබ්බට මතකයි.හෙහ් හෙහ්

(මහ රෑ ආ අමුත්තා. වහු පැටියෙක් ගිණිමැලේ ලඟ.)

පහුවදා එලිවෙනකොටම නැගිටගත්තෙ හිරු උදාව බලාගන්න.
සුද්දන්ට ඉර පෙන්නලා සල්ලි ගන්නවා කියල සමහරක් කිණ්ඩි දැම්මට ඉර උදාවක් කියන්නෙත් බලන්න වටින සුන්දර දර්ශනයක් බව නම් කියන්නම ඕනෙ. වළාකුලක් ඇවිත් අපට පොඩ්ඩක් කෝචොක් කොලාට සෑහන දර්ශනීය වටපිටාවක් හිරු උදාවත් එක්ක ආරුගම්බොක්කෙ මැවුනා...

(ආරුගම්බොක්කට හිරු උදාව.)

අපිත් සතුටුන් ඒක විඳගන්න ගමන් අපේ පිය සටහන් විතරක් එතන ඉතුරු වෙන්න අනිත් ලට්ට පට්ට අස් පස් කරන්නත් පරිස්සම් උනා.


උදේ පාන්දර විකාරෙන් වගේ අපට තිබුන පලවෙනි උවමනාව තමයි වතුරකට බැහල ඇඟ කූල් කරගන්න එක. එහාට මෙහාට රවුම් ගැහුවට වෙල් වල ඉඳන් එන පොඩි ඇල පාරවල් මිසක හරි හමන් ගිලිල නාන්න තැනක් නැතුව ඔහොම විස්සෝපෙන් ඉන්න අතරෙ තමයි පාරෙ ගියපු නාන කෙනෙක් පානම ඔත්තුව දුන්නෙ.දන්න කෙනෙක් ගෙන් අහන්නැතුව වතුරට බහින එකත් මක්කදෝ වගේ.. කිඹුල්ලුයි අරකයි මේකයි ඉන්න පැති නෙ.
පානම උල්ල පාලම යට කියන්නෙ නාන්න නං සුපිරිම පොට් එක.
ඊයෙ දවසෙ ගස්ලබ්බට නින්ද ගියෙත් ඇහරුනෙත් සිරා දත්මදින පසුබිම් සංගීතය යටතේ උනත් අද දවසෙ උට ඒවා අමතක වෙලා තිබුනා.උංටික එලි බහින්න කැලෑවට යන වෙලාවෙ වත් දත් මැදිල්ල උට මතකම තිබුනෙ නෑ.
ලස්සනට දත කට මැදගෙන කැලෑ කොලේට ගිය අය මුලින්මත් වතුරට බැහලා සෑහෙන සනීපයක් සීතල වතුරෙන් ලැබුවා.

(දියගත ළමෝ)

ඒ අතරම වතුරපාර ටිකක් සැරට යන හරියකට ගියාම කොමඩ් නැති අඩුපාඩුවත් මඟහරවගන්න පුළුවන් බව තේරුණ.

නාල ඉවරවෙනකොට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ.. යකෙක් කන්න බඩගිණියි.ආයෙ ආරුගම්බේ ටවුම පුරා ඇවිදින්න උනේ කන්න තැනක් හොයන්න.රෑට සුරපුරේ වගේ තිබුනට උදේට සොහොන් පිටිය වගේ පාළුයි.

එතැන් සිට ඇරඹුනේ අපේ ආපහු ගමන.
හැබැයි සුපින්වතුනි ඒකත් ලේසි උනේ නෑ.පළවෙනි දවසෙ අමතක කරපු මඩොල්සිම ආයෙත් කට්ටියගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා.මෙතෙක් නොගිය පාරවල් හොය හොය ආපු ගමනේ මඟින් මොණරාගලින් සිරාගෙ බර හෑල්ලු කරන්න නැවැත්තුවාට පස්සෙ ආයෙ නැවතුනේ ලාහුගල කැලේ මැද්දි මුට ඩ්‍රැයිබර පිස්සුව තද උනාට පස්සෙ.

ලුණුගල පැත්තෙන් අළුත් පාරවල් හොයන් එන අතරේ අපේ වාහනේට ගොඩවැදුනු අළුත්ම ගමන් සගයා තමයි අමරදේව මාස්ටර් සමඟ උමාරියා.

(අහන්ට..අහන්ට කණ් පිරෙන්ට අහන්ට.)


(ලොග්ගල් ඔය ජලාශයේ වේල්ලේ ඇතුල් පැත්ත)

ඒ දෙන්නත් එක්ක හන්තාන සිහිනයක අතරමං උන තරම කොච්චරද කියන්නෙ බිබිලෙන් ලොග්ගල් ඔය ජලාශෙ ඩෑම් එක ලඟින් පොඩ්ඩක් බහින කොටත්, ආයෙ රන්දෙණිගලින් බහිනකොටත් කට නැවතුනා ඇරෙන්න නුවරට එනකන් අඩුම පනස් වතාවක් වත් අපිව හන්තාන සිහිනෙකට ගෙනිච්චා.අතරින් පතර වෙන සිංදුවක් වැරදිලා වගේ ඇහුනත් නුවරට ලංවෙනකන් වචනෙන් වචනෙ පට්ට ගහපු ඒ සිංදුව දඬුවමක් බවට පත්වේගනයි ආවෙ.හෙහ් හෙහ්

පාරවල් අත්හදා බලල ඇති වෙන්නෙ නැති නිසාම හැරියව උංගෙ අක්කලාගෙ ගෙදර දාන්න අහු මුළු පාරවල් දිගේ ගිහින් යන්තං කුරුණෑගල නුවර පාරට මතු උනේ හිතපුවත් නැති තැනකින්.
ඕකෙන් මේකෙන් දවස් තුනක් පුරා බූත කෙලලා යන්තම් රෑ වෙනකොට ගස්ලබ්බව පරිස්සං ඇතුව ගස්ලබ්බිට භාර දෙන්න සිරයි පියයි කටයුතු කරා.

ලංකාවෙ මාර්ග පද්ධතිය ගැන අවධානය දක්වපු හදපු,හදන උදවියටත් ජයවේවා කියන්න ලෝභ වෙලා බැරි බවත් කියන්නම ඕනෙ.


ඔන්න ඕකයි සුපින්වතුනි පාරදිගේ.... දිගේ... දේගේ.... ගියපු කතාව.



වසන්තයේ අගදි හරි ඔන්න නැට්ටෙ එල්ලුනා... හෙහ් හෙහ් ජයවීවා.