Thursday, December 8, 2016

උඹ නපුරු මායාකාරී


(රූපය : සුළං පිඹින කාටුන් රුවක්.)



උඹ
නපුරු මායාකාරී
ඉඳිකටු තුඩින් ඇන ඇන
ඇටමිදුලු හාරන
වෙව්ලා හිරිවැටී
තුවාල කරගෙන සම
සොය සොයා යන
එක්ස්පයර් ටිකට්
වේදනා දෙන
සීත යක්සනී


Friday, November 4, 2016

හොටු කා කඳුළු බොමින් වැල ඇදීම


ශ්‍රී ලංකාව අමුතු ය.දූපතක් ය.
පැය දෙක තුනක ගමනකින් සම්පූර්නයෙන්ම වෙනස් දේශගුණික කලාප වල වෙනස අත්විඳිය හැකි ය.
ජීවී විවිධත්වයත් අති මහත් ය.

ශ්‍රී ලංකාවේ මහජනයා ද හරි අමුතු ය.
විටෙක හෙන සම්ප්‍රදායික ය.
විටෙක හිතුවක්කාර ය.

අපට අගයක් නැති උනාට අපෙන් වැඩ ගන්නා අයවලුන්ද ඇතිය.
ඉන් ප්‍රමුඛයෝ ජංගම දුරකථන සමාඟම් ය.විවිධ පහසුකම් ආදිය ලෝකයට හඳුන්වාදීමට පෙර ඔවුන් භාවිතාකරන හොඳ පරීක්ශනාගාරයක් බවට අද ශ්‍රී ලංකාව පත්වී ඇත.එහි අවුලක් ද නැති ය.එක්කෙනෙක් ටෙලිෆෝන් දෙකක්ම පාවිච්චි කරන බව සංඛ්‍යා දත්ත පවසන බව අපි කියන්නේ හරි ආඩම්බරෙන් ය.

වැට් මෑන් කොච්චර වැට් ගැහුවත්,සමාඟම් කොච්චර හිතුවක්කාර අයකිරීම් අය කලත් දැන් අපේ ජිවිතයේ ප්‍රධානතම අංගයක් බවට ටෙලිෆෝන් එක පත්වී ඇත.
ඉස්සර බීප් බීප් ගගා ඇහුනු ඩයල් ටෝන් එක වෙනුවට දැන් ඇහෙන්නේ අමුතු අමුතු සිංදු ය.
අද මේ කතාව ඒ ගැන ය.

එක්තරා ප්‍රසිද්ධ දක්ශ ගීත රචකයෙක් දවසක් පැවසුවේ අද ඔහුගෙන් ගී පද වැල් ඉල්ලන්නේ 'රිංගින් ටෝන් දාල හිට් වෙන විදිහේ සිංදුවක් ලියල දෙන්න' කියන ටැග් එක යටතේ බව ය.
ඒ කියන්නේ ගීතය ගයන්නේ තනිකරම රිංගින් ටෝන් උදෙසා ම බවය..

ඉතින් එහෙම පුළුවන් ද?

ඔව්... එහෙම පුළුවන් ය.

අද රිංගින් ටෝන් මාකට් එකේ ලාභය බෙදෙන්නේ ලක්ශ ගණනින් නොව මිලියන ගණනින් බව පොඩියක් හොයා බැලීමේදී පෙනෙන කාරණා ය.
නමුත් මේවා සැඟවුනු කරුණු ය.

රිංගින් ටෝන් සඳහා යන ප්‍රධාන පාරවල් දෙකක් ඇත.ගීතයේ අයිතිකරු සෘජුවම දුරකථන ආයතන හා ගිවිසුම් ගත වීම සහ අතරමැදි රිංගින්ටෝන් කොම්පැණි (ඇතැම් විට ඒක පුද්ගල.) හරහා ගිවිසුම් ගත වීම ලෙසට ය.

දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන සමාඟම් පහම රිංගින් ටෝන් පහසුකම සපයන බව ඔබ අපි කවුරුත් දන්නවා ය.නමුත් ඒකට අය කරන අයකිරීම් ගැන නම් පැහදිලි අවබෝධයක් නැති බවකුත් පෙනෙනවා ය.
කොහොමටත් මේ පහසුකමට පාරිභෝගිකයා ඇබ්බැහි කරගැනීම අතින් සමාඟම් සාර්ථක ය.
කෝල් සෙන්ටර් නංකිලාගේ විස්තර වලට අනුව ඇතැම් පාරිභෝගිකයන්ගේ රිංගින් ටෝන් ලිස්ට් එක පට්ට දිග ය.සිංදුම පහලව විස්ස පැනලා ය.නමුත් ඔවුන්ට ගානක් නැති ය.මේ හැම එකටම ගානක් කැපෙන බව අමතක ය. අනේ ඉතින් කාඩ් එකක් දාන්නත් කලින් සල්ලි ඉවර ය.

දැන් අපි බලන්නේ මේ කපා ගන්නා සල්ලි වලට වෙන්නේ මක්කදැයි කියාලා ය.
හරි නම් ගීත ක්ශේත්‍රයේ අය මේ වෙනකොට ක්‍රයිස්ලර් වලින් එහෙ මෙහෙ යන බ්ලූ ලේබල් විස්කි පාටි තමුන්ගේ තට්ටු හතරෙ පහේ මන්දිරයේ පවත්වන තරම් පෝසතුන් විය යුතු ය.නමුත් එහෙම නැති ය.

හිස් කොළයක් හා පෑනක් පමනක් අතැතිව ඇරඹෙනා ගීත නිර්මාණ කටයුත්තේදී ලී කොටයකින් රෝදයක් නිර්මාණය කර දෙන්නේ පද රචකයා ය.රෝදය කරකවා දෙන්නේ සංගීත අධ්‍යක්ශකයා ය.
ඒ රෝදය වැඩ දමමින් දක්කාගෙන යන්නේ ගායකයා ය.
හරියට බැලුවොතින් ගල් තුනේ ලිපක් වගේ ය.

හැබැයි පද රචකයෙක් හට අද දවසේ රුපියල් පහලොස් දහසේ සිට උපරිම පනස් දහසක පරාසයක් තුල රැඳී සිටීමට සිදුවී ඇති ය.
සංගීත සංයෝජකයාගේ මුදලේ පරාසය ඉතා විශාල වුවත් ලක්ශ තුන පනින අවස්ථා ඉතා අඩු ය.
ගායකයින් නම් එක් ගීතයක් පටිගත කිරීමට ලක්ශ දහය පහලව දක්වා වටිනාකම් ඉහල නැංවූ අවස්ථා සැල වී ඇත.

ඒ කියන්නේ සිංදුවක් පට්ට ගනන් ය.

කැසට් සහ සීඩී අදවනවිට යල් පැනගිය ආදායම් මාර්ග ය.ඕනෑම ගීතයක් එලි දකවා විනාඩි කීපයකින් අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කරගත හැකිය.

රිංගින් ටෝන් එලියට එන්නේ මේ අවු අස්සේ ය.

මුලදී මේ සඳහා ගීත සපයා ගැනීම දුරකථන සමාඟම් වලට ගැටළුවක් විය.මක්නිසාද ගීත වල නීතිමය අයිතිය පිළිබඳ තත්වය තරමක් සංකීරණ නිසා ය.මෙහිදී නිර්මාණය වන වෙළෙඳපල හඳුනාගත්තවුන් අරඹන්නේ මුදල් නෝට්ටු මිටි සමඟින් ප්‍රසිද්ධ ගායකයින්,ගීත රචකයින් සහ සංගීත අධ්‍යක්ශකයන් හමුවී අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ය.
එක් අත්සනක් උවද කම් නැතිය.හොඳ බෝතලයක් සහ ලක්ශ දහයක කෑශ් ඉදිරියෙන් තැබූ විට ඉංගිරිසියෙන් සංකීරණව සකසා ඇති ගිවිසුම් වලට අත්සන් ලබාගැනීම එවකට සිදු විය.නමුත් මේ අත්සනත් සමඟින්ම ගීත වල අයිතිය මුළුමනින්ම අහිමි වූ බවත් මේ ගීත අද වනවිට මිලියන ගනන් ආදායම් උපදවන උල්පත් බවට පත්වී ඇති බව ඔවුන් දැනගන්නාවිට ප්‍රමාද වැඩි ය.

අදටත් ඔවුන් දුප්පත් කලා කරුවන් ය.අවමඟුලට කලාභවන නොලැබුනහොත් මිනිය තියාගන්නට ගේ ඉඩ මදි ය.


ව්‍යාපාරයක් වශයෙන් රිංගින් ටෝන් ක්ශේත්‍රය පුළුල් වීමේදී දුරකථන සමාඟම් තම ගිවිසුම් කොන්දේසි අළුත් කරමින් තමන්ගේ දෑත් පිරිසිදුව තබාගැනීමේ කාරියට වැඩි අවධානයක් යොමුකිරීමේදී රිංගින් ටෝන් සමාඟම් වලට හොඳ කලක් උදා විය.

හිට් සිංදු රිංගින් ටෝන් වලට විකිනීමෙන් හොඳ ලාභයක් ලබාගන්නට ඔවුන් සමත් විය..

සම්බන්ධකම්,හැකියාවක් සහ උනන්දුවක් ඇති ගායකයින්,පද රචකයින් සහ සංගීත අධ්‍යක්ශකයින් ගෙන් අයෙක් මුදල් ආයෝජනය කොට ගීතය නිමවා ගීතයේ අයිතිය නීත්‍යානුකූලවම තමන් සතුකොට ගෙන ගීතය රිංගින් ටෝන් සඳහා ලබාදී ආදායම් ලබා ගැනීමට ඒක පුද්ගල සමාඟම් සේ ක්‍රියා කිරීම ආරම්භ විය.

රිංගින් ටෝන් සඳහා ගීතයක් ලබා දුන් පලියට ආදායමක් ලැබෙන්නේ නැති බව ටික කලකින් කස්ටියට වැටහෙන්නට විය.
ගීතය හොඳ හිට් එකක් විය යුතු මය.
ප්‍රසංග වේදිකාව තවදුරටත් ගීත හිට් කිරීමට සක්‍රීය දායකත්වයක් දක්වන්නේද නැති ය.

එෆ්.එම් නාලිකා පිහිටට එන්නේ ඔන්න ඔය අවස්ථාවේදීය.

ඔවුන්, ගීත ප්‍රචාරය කරනා චාට් ශෝ සඳහා වැඩි බරක් යොදා ගීත හිට් කිරීමේ කාර්යය ලෙසටම අරඹන්නේ ය.
කොටින්ම..,

'මේ ගීය මුලින්ම ඇහුනේ අපෙන්'

'මේ ගීයත් හිට් කලේ අපි'

ආදිය කියමින් එලිපිටම වැඩේට එන්ටර් වන්නේ ය.
ඊට කලින් නම් චාට් ශෝ එක කරන අයට පොඩි සැලකීමක් කර ගීතයක් රිංගවා ගත්තත් දැන් නම් ප්‍රොෆෙශනල් හිට් පැකේජ් අමුවෙන්ම නාලිකා විසින් ඉදිරිපත් කරන්නේය.

හොඳ බීට් එකක් තියන වදින නම්බර් වලට විතරක් ඉඩ හැදෙන්නේ චාට් ශෝ වැඩි හරියක් මරි මද්දහනේ තියන නිසා ය.

ඔන්න දැන් රිංගින් ටෝන් සීන් එකේ ප්‍රධාන තීරකයා තනතුර එෆ්.එම් නාලිකා විසින් භාර ගැනීම සිදුවන්නේ ය.

චාට් ශෝ එකකට සිංදුවක් දැම්ම පමණින්ම හිට් වෙන්නේ නැති නිසාත් හිට් පැකේජ්  මොඩිෆයි කර දවසට ගහන වාර ගණන සහ දවස් ගණන අනුව මුදල් ප්‍රමාණය වෙනස් වී එෆ්.එම් නාලිකා විසින් ගීත කණේ ගැසීම යහමින් ඇරඹෙන්නේ ඔන්න දැන් ය.

රේඩියේකින් වැඩියෙන් ඇහෙන සිංදුව ඉබේම හිට් වෙයි.
කවුරුත් හිට් වලට පෙම් කරයි.
හිට් සිංදුව අපිත් අහන බව පෙන්නන්න රිංගින් ටෝන් එකට එය දමයි.
සිංදුවේ ඩවුන්ලෝඩ් ගණන වැඩි වෙයි.
වැඩි ප්‍රතිශතය දුරකථන සමාඟමටත්.. අඩු අඩු අඩු වෙමින් ගීතයේ හිමි කරුවන්ටත් ලෙසින් මුදල් ගලා යන්නේ ය.
මෙහි අඩුම කොටස ලබන්නාවූ පුද්ගලයෙක් පහුගිය මාසයක මිලියන දොලහක මුදලක් තම කොටස ලෙසින් ලබා ගන්නේ ප්‍රසංග වලදී වත් ඉල්ලුමක් නැති ගීතයක් වෙනුවෙන් ය.

හොඳ හිට් සිංදුවක් තමුන්ගේ රිංගින් ටෝන් එක විදිහට තියාගන්න වැඩියෙන්ම කැමති කවුදැයි නිතරම සොයා බැලීමට ව්‍යාපරිකයන් පෙලඹෙන්නේ ඊලඟ ආයෝජනයෙන් වැඩි ලාභයක් ලබාගන්නට ය.

අද වනවිට ලොකුම රිංගින් ටෝන් මාකට් එක නිදහස් වෙළෙඳ කලාප සහ ආරක්ශක අංශ සාමාජිකයන් බවට වන රහස ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක් කීවේ හෙම්බත්වූ ස්වරයකින් බවත් කිව යුතු ය.

සිතීමේ හැකියාව මොට වූ තරමටම පාලකයින් කැමති මෙම ක්ශේත්‍ර දෙකෙන් ලැබෙන ඉල්ලුමට සැපයුම් කිරීම දක්වා අද ගීත ක්ශේත්‍රය ලඝු වී ඇත.

ලාභය අරමුණු කරගත් ආයතන අතලොස්සක් විසින් අද සමස්ථ සංගීත ක්ශේත්‍රයම ග්‍රහනයකට නතු කරගෙන ඇත.මින් පිට පැනීම ඉතා දුශ්කර ය.

කලාතුරකින් කාටත් අහන්න කණට මිහිරක් ඇති ගීයක් එලියට පනිනවා ය.ඒ හාවා හඳ දකින්නා වාගේ ය.

ගීතයක් නිර්මාණය කිරීමට මුදල් වැය කලත් ඉන් ආදායමක් ලැබීමට නම් එය හිට් එක විය යුතුම ය.
හිට් වන්නට නම් එෆ්.එම් වල ගැසිය යුතු ය.
එෆ්.එම් එකක හිට් පැකේජ් පට්ට මිල ය.
එච්චර වියදම් කරලත් ඩවුන්ලෝඩ් නැත්තම් හුළං ය.
ඉතින් ඩවුන්ලෝඩ් වැඩි වෙන සිංදුවක් කොරන්නට ඕනෑ ය.

අළුත්ම විදිහට මියුසික් වීඩියෝවත් චුපිරියට තියෙන්න ඕනෑ ය.යූ ටියුබ් විව්ස් කියන්නේ තනිකරම සල්ලි ය.
ඉතින් බැන බැන හරි බැලුවොත් ලැබෙනේ සල්ලි ය.
බන්නවාගන්න ලේසිය.
ඉතින් කට කව්වනවා ය.ගෑණු හෙළුව විකුණන් කනවා ය.

ක්ශේත්‍රයේ දැවැන්තයින්ට පවා මහවැලියෙන් දීමනා ලබාගන්නට,මාසිකව ඔසුසලෙන් සැපයෙන බෙහෙත් ටිකෙන් සැනසෙන්නට සුදුවී ඇති කලෙක....
ගේම් එකට බැස දඟලන්නට අකමැති නිර්මාණ කරුවන් මින් ඉවත්වන වේගයේ හැටියට....

ඉතින් ශ්‍රාවක ප්‍රේක්සක හුදී ජනයා වන අපි හොටු කා කඳුළු බොන්නටම ඕනෑම ය.

ඒ ඕපාදූපය අවසන් වෙන්නේ ඒ ආකාරයට ය.

Thursday, October 27, 2016

ප්‍රියේ නුඹ...

(පින්තූරය : ඈත මුහුදේ හිරු සැඟවෙනු සිමෙන්ති බංකුවකටවී හුදෙකලාව බලා සිටින තරුණියක්)



දැනට අවුරුදු හතක් විතර ඉඳන් හැම අවුරුද්දකම මේ වගේ දවසක් හම්බ වුනා.

ඔව් ඉතින්.... තවත් දවසක් තමා..

'ආයිබෝවන් සුභ උදෑසනක්'  ඒ මම.

'ආයුබෝවන්... අදත් තාම පාරෙද?'

ඒ එයා.. මොකද හැමදාම අන්තිම මොහොතේ ඔෆිස් එකට දුවගෙන යන බව දන්න නිසා..

'අද විසි හත'

'ආ... ඔව් නේද? විසි හත.. මේ සතියෙන් මේ මාසෙ ඉවරයි.ලබන මාසෙ තමයි ආයෙ නිවාඩු.'

දික්වැල්ලෙනුත් අස්සක ගිහින් ජොබ කරපු මට ඒ කාලෙ නිවාඩු තිබ්බෙම නැතිතරන්..

'අද විශේශ දවසක් නේද?'

'අහවල් විශේෂ... අද තවත් තදට අව්ව පායලා... අන්න බස් එකක් එනවා.. ටටා..'

'පරිස්සමින් යන්න.. තෙරුවන් සරණයි'

'තෙරු...'

බස් එකෙන් බැහැපු ගමන් ආයෙ කෝල් එකක්..

'මතක නැද්ද අද දවස...?'

'මොන..? නිච්චි නෑ..'

'අද.....

...........................................


ඔන්න තව දවසක්..

නොයන්න හිතන් හිටියත් 'විශේෂෙන් දෙයක් ඉව්වා.. කාල යන්න එන්න' ම කිව්ව නිසා  එදා මම එයාලගෙ ගෙදර.

අම්මයි එයැයි එක්ක කයියක් ගහගෙන ඉන්නකොට ආව නංගිත්...

ටිකකින් මෙන්න තඩි චොක්ලට් එකක් දෙනවා එයැයිට..

'මේක අයියා දෙන්න කිව්වා..'

ඒ කියන්නෙ මස්සිනා කාරයා චොක්ලට් එකක් එවලා..

'ඒ මොකටෙයි ඒ..? මම එපැයි චොක්ලට් දෙන්න.. ඇයි ඌ එවන්නෙ?'
ලාවට මල පැන්නත් ඒක හංගගෙන මම ඇහුවා

'ඇයි දන්නැද්ද? මතක නැද්ද අද..'

................................


කවදාවත් හරියට වෙලාවට කතා කරල නැතුව ඇති..
කවදාවත් හරියට දැනෙන තෑග්ගක් දීල නැතුව ඇති..
(පස්සෙ එක්කගෙන ගිහින් මොනවා අරන් දුන්නත් මොකෝ වටින කියන දෙයක් ගත්තා කියල යැ.)
කාඩ් නම් දීලම නෑ..
මල් දීලත් නෑ...
මලක් කියල දීල තියෙන්නෙ යාළුවෙච්ච අළුතම පාර අයිනෙ පිපිල තිබුන තණකොළ මල් කීපයක් එකට ගැට ගහල දීපු එක විතරමද කොහෙදො..


ඔව්.... මට සිහියක් තිබුනෙම නෑ වෙලාවට විශ් කරන්න... තෑග්ගක් දෙන්න... සර්ප්‍රයිස් කරන්න... පාටි දාන්න.
හ්ම්ම්.... උපන්දිනේ අහකටමයි ගියේ..

හැබැයි ....

මගෙ කිසිම උපන්දිනයක් එයැයිට වැරදුනේ නෑ... අමතක උනෙත් නෑ... තෑග්ගක් නොදී හිටියෙත් නෑ...

බැඳගත්තයින් පස්සෙ නම් මනුස්සයෙකුට වගේ සලකනව කියලයි හිතන් උන්නෙ...
මක් කොරන්නෙයි...
මෙන්න මේ අවුරුද්දෙ උපන්දිනේට ගස්ලබ්බ ගානෙ තියනවා..,
බෙහෙත් ගුලි,කල්ක අටෝ රාසියක්.
බෙහෙත් තෙල් බෝතල් ටිකක්..
රිණ වෙච්ච අකවුන්ට් එකක්...

ඉතින් පුතේ මේ පාරත් හුළං තමා...

අර ඉස්සර වගේම ලස්සනට යන්තන් පොඩි හිනාවක් දාලා
'ඒකට කමක් නෑ...ඕක මොකද්ද'
කියන බව දන්නවා...

ආයෙත් දුවන්න පනින්න තියා ඇවිදගන්න වත් පුළුවන් වෙයිද කියල සැක කරපු,කට ඇරියොත් ගොං කතාවක් කියල හිත රිද්දන ගස්ලබ්බව බැඳගන්න හිත හයිය වෙච්චි එකේ උපන්දිනේ සොච්චං සෙල්ලමක් කියලත් දන්නවා..

ඒ උනාට අමතක නෑ....
හිතේ ගොඩක් ප්ලෑන් තිබුන බව ඇත්තයි... ඒවා එහෙමම යට ගියාවෙ..
මෙදා පොටේ නම් හරියටම දවසට වෙලාවට සුභ පතනවා...
හැබැයි තනියම නෙමෙයි..
තව සැට් එකක් ඉන්නවා...
එයාලත් සුභ පතයි..
වෙලාවෙ හැටියට කොරන්න පුළුවන් මෙච්චරයි.සුපුරුදු විදිහටම කෝල් එක නම් පමා වෙයි.ඒත් පෝස්ට් එක කොයිවෙලේ හරි කියවනකොට දකියි නෙ.. ඒ ඇති.... හෙහ් හෙහ්....

ඔන්න තවත් අවුරුද්දක් නාකි වෙච්චි ඔයාට...

'සුභම සුභ උපන්දිනයක් වේවා..!!!!'

විට්ටෙර් රත්නායක මහත්තයා ගයන මේ සිංදුව මතක් උනා....




මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැළුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහලක් යට එකට දකින්නට
පූරුවෙ කල පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹ උපනුපන් ජාති ජාති හමුවේවා..!!

කපුරු ගොඩක් සේ අළු වත් නොරැඳී
පැතූ පැතුම් පෙල දැවී ගියා වූ
ජීවිතයට ඔබ අළුතින් එක්වී
මා ජීවිතයට සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹ උපනුපන් ජාති ජාති හමුවේවා..!!

කිලිටි මගේ අත ඔබට සුදුසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුදු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති ජාති හමුවේවා..!!!!



ගස්ලබ්බටම ... මේ වෙලාවටම... මෙතනම දාන්න හදපු ගීතයක් වගේ..
(උඩ පින්තූරෙ ඉන්නෙ ගස්ලබ්බි තමයි.ගස්ලබ්බා පිටිපස්සෙන් හොරෙන් ගත්තු එකක්.)

Saturday, September 3, 2016

ඉතින් හදමු අපි.. (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු III)



දින සති මාස ගෙවීගන ගෙවීගන යනකොට අපි එකතුවෙලා ආරම්භ කරපු වැඩසටහනකුත් හෙමිහිට කෙරීගෙන කෙරීගෙන ගිය වග දන්වන්න තමයි මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ.ඒක තමයි පුංචි භාග්‍යා වෙනුවෙන් නිවසක් ඉදිකිරීමේ කටයුත්ත.

වෙන්කරලා තිබුනු ඉඩමේ මායිම් පිරිසිදු කරගැනීමේ ඉඳලා කටයුතු රාශියක්ම කරන්න උනේ අපට බොහොම හෙමින්.. 

කාලෝ අයංතේ (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු II)  ලිපියෙන් අපි සාකච්ඡා කරගත්තු විදිහට කාමර දෙකකුත්,කුස්සියක් සහ සාලයකින් සමන්විත් නිවසක් ඉදිකිරීම දැන් ඇරඹිලයි තියෙන්නෙ.
නිවසේ කටයුතු ඉදිරියට යන අතරම වැසිකිලියක් ඉදිකරන්නත් සැලසුම් කරමින් ඉන්නෙ.

අදහස් බෙදාගන්න ඉදිරිපත් උනු ගොඩක් අය ඉදිරිපත් කරපු මතයක් තමයි කාමර දෙකක අවශ්‍යතාවය. බ්ලොග් පෝස්ට් එක කියවපු කීපදෙනෙක්ම සැලසුම් ලබා දුන්නත් අඩු වියදමින් ගොඩ නැඟීමත් අමතක කරන්න බැරි කාරණයක් බව මතක තියාගෙනම අවශ්‍ය සැලසුම් සකස් කිරීම  මතකයේ රැඳුන තැන් ලියන 'ලොකුපුතා' ගේ දායකත්වයෙන් කරගන්න ලැබුනා.
ඇත්තටම තනි වාඛ්‍යයකින් කිව්වට අතිශය කාර්යබහුල තත්වයක ඉඳන් උනත් දින කීපයක් ඇතුලත සැලසුම් කීපයක්ම වෙනස් කරමින් ගැලපෙන සැලසුම සකස් කරල දෙන්න ඔහු සමත් උනා.
(සැලසුම පොළොවේ පිහිටුවීමේදී පැන නැංගාවූ ප්‍රායෝගික තත්වයන් නිසා ඔහුගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම වම දකුණ මාරු කරන්නට සිදුවුන නමුත් 'මීක්' කියාවත් දෝශාරෝපනයක් ඔහුගෙන් එල්ල වුනේ නෑ..  හෙහ් හෙහ් හේ)
ඒ වගේම ලොකුපුතාගේ සම්බන්ධීකරණය නිසාම ගෙපල පිරවීම සඳහා අවශ්‍ය වුනු පස් කොටසක් 'මාගා' ආයතනයෙන් නොමිලේ ලබාගන්න හැකිවීමත් සඳහන් කරන්න ඕනෙ.

වැඩේ මෙහෙම ඉදිරියට යනකොට හෙමින් හෙමින් අපි අරඹපු ගිණුමට මුදල් එකතුවෙන්නත් පටන් ගත්තා.ඊමේල් මඟින් අප හා අදහස් හුවමාරු කරගන්නත් මුදල් වලින් දායක උනු බොහෝ දෙනෙක් අමතක කලේ නෑ.
ඔබ සැවොම ලබා දෙන්නේ විශාල ධයිර්යයක්.

මූල්‍යමය දායකත්වය සපයන අතරම නිවසේ සම්පූර්ණ විදුලි පරිපථය ස්ථාපනය කරන්නත් එක් මහතෙක් භාරගත්තා.
එතෙක් බලා නොසිට ක්ෂණික ප්‍රතිචාරයක් වශයෙන් වියලි ආහාර තොගයක්,පාසල් සපත්තු,නිළඇඳුම් ආදී තෑගි මල්ලක් තම ඤාතියෙකු හරහා ලබා දෙන්නත් භාග්‍යාගේ මූලික වියදම් පියවන්නත් මේ මහතාම භාරගත්තා.
භාග්‍යාගේ පංතිබාර ගුරුතුමිය හා සම්බන්ධවී ඒ කටයුතු දැනටමත් සිදුවනවා. 
පසුගිය දිනක අසේල කුලතුංග නම් ඒ සොඳුරු මිනිසා ලංකාවට පැමිණියා.. 
හිස් අතින් නෙමෙයි.. පාසල් බෑග් සහ උපකරණ සමඟින් ලස්සන බෝනික්කෙක්,ටොපි චොකලට් පිරි පාර්සලයක්ද සමඟින්.



ජීවිතයේ පළමු වරට ලැබුනු සුන්දරතම ත්‍යාගයත් සමඟින් භාග්‍යා.


ඤාති නිවස් වල රැඳෙමින් පාසල් ගිය තම වැඩිමහල් සොයුරා නව නිවසේ ආරංචිය නිසා නැවත තමුන් සමඟ දිවි ගෙවීමට පැමිණීමත් පොඩි දරුවන්ගේ ප්‍රීතිය දෙගුණ කරන්නට සමත් වන්නට ඇති.


දැන් බලමු අපි කොහෙද ඉන්නෙ කියලා..

මේසන් බාස්ලා,ගෝලයෝ හොයාගන්න මේ කාලෙ කන්න ඕනෙ කට්ට ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.හැබැයි තම ලාභය අතහැරලා සේවක වැටුප් පමණක් ගෙවීමේ එකඟතාවයකින් ඉදිකිරීම් කටයුතු කරගන යන්න පුද්ගලයෙක් සම්බන්ධීකරණය කරල දෙන්න ගස්ලබ්බී සමත් උනා. 
නිහාල් ඇත්තටම සොඳුරු මිනිසෙක්.අතින් කයිට් සමාජ සේවා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බව ඔහුව ආශ්‍රය කිරීමේදී ගස්ලබ්බාට හිතුනු පලවෙනි කාරණේ.

කිරිමැටි මඩ සහිත ආනත ඉඩමේ ඉදිකරන නිවසට පාදම කොංක්‍රීට් කොලම් සහ බීම් ආශ්‍රයෙන් ඉදිකිරීම සවිශක්තියටත් පසුම්බියටත් යන දෙකටම හිතකර බව මූලික ගණනයන් වගේම ලොකුපුතා සමඟ කතාබහ සිදු කරන විට පැහැදිලි උන දෙයක්.

පළවෙනි කුඤ්ඤය ගසමින්

ප්‍රධාන වැඩ අධීක්ශකතුමන් සිය රාජකාරියේ නියැලෙමින්

රීමේක් කරණයට භාජනය කරන ලද ලොකුපුතාගේ සැලැස්ම

'දවල් ලන්ච්' එකට වැඩ නවත්තලා :)

හාරමු අපි හාරමු..

ඔන්න මෙහෙමයි දැන් ෆවුන්ඩේශන් එක දාල තියෙන්නෙ.



පොඩිවට තිබුනට මේ ෆවුන්ඩේශන් එක ඉදිකරන්න අමුද්‍රව්‍ය,ප්‍රවාහනය සහ ශ්‍රමය වෙනුවෙන් රුපියල් ලක්ශයකට වැඩි මුදලක් වැය වුනත් නිහාල්ගේ එකඟත්වයෙන් ලක්ශයක මුදලට රවුම් කරගන්න පුළුවන් උනා. එය පනස් දහස බැගින් දෙවාරයකදී ගිණුමෙන් මුදල් රැගෙන ගෙවන්නට ගස්ලබ්බා ක්‍රියා කලා.බයින්ඩින් කම්බියේ පටන් සිමෙන්ති,කම්බි,වැලි,ගල් සඳහා සහ ශ්‍රමය සඳහා මේ මුදල් වැය වුනු අන්දම දක්වන බිල් ගස්ලබ්බා සතුව සුරැකිව ඇති අතරම මේ හා සම්බන්ධව ඉදිරියේදී පලවන අවසාන පෝස්ටුවේදී පිරිසිදු අය වැය වාර්ථාවක් ලබාදෙන්න කටයුතු කෙරෙමින් පවතිනවා.


පළමු අදියර සාර්ථක කරගන්න අවශ්‍ය මුදල් ක්ෂණිකව ලැබුනා සේම ඉදිරි කටයුතුත් අප එක්වූ විට සාර්ථක කරගත හැකි වනි ඇති..
දැනට මුදල් ලබාදුන් පිරිස අතුරින් ගස්ලබ්බාව දැනුවත් කරමින් මුදල් ගිණුම් ගත කල පිරිස පහත පරිදි වෙනවා.තවත් කීප දෙනෙකුම මුදල් ලබාදී ඇති බව ගිණුම පිරික්සීමේදී පෙනී යනවා.
මිනුම්දෝරු ගාස්තු ගෙවා බිම්කොටස වෙන්කරවාගැනීමට තුසිත සහ වින්ධ්‍යා යුවල අනුග්‍රහය දක්වුවා.

නිරෝශන් පෙරේරා මයා - 5000/-
අසේල කුලතුංග මයා - 15,000/-
සුමිත්‍ර ගුණතිලක මයා -  50,000/-
කීර්ති කුලසේකර මයා - 4,000/-
X මයා     :)              - 15,000/-
සෞම්‍යා විනෝදනී මෙනෙවිය - 5,000/-
අනුපමා/ප්‍රභාත් යුවල - 15,000/-
රඛිත ධර්මසේන මයා - 5,000/-
විරාජිත් මයා -5,000/-

මීට අමතරව රුපියල් 10 000/- ක මුදලක් විවිධ පුද්ගලයන් විසින් විවිධ වටිනාකම් වලින් ලබාදී තිබුනද අනන්‍යතාවයක් හෙලිකර තිබුනේ නැහැ.(ඔබ දායකත්වය ලබාදුන් පසු යම් පණිවුඩයක් ලබාදීම ගිණුම් කටයුතු ඉදිරිපත් කිරීමේදී පහසුවක් වනු ඇති.)



මෙන්න අපේ ගිණුමේ විස්තර

සිමෙන්ති ගඩොල් බැමි බිත්ති,ඇස්බැස්ටෝස් වහලය,දොරවල් හතරක්(පියන් සහිත.),ජනෙල් හතරක් (පියන් සහිත.) සහිතවයි නිවස ඉදිවන්නේ.

සිමෙන්ති ගඩොලක් ප්‍රවාහන වියදම්ද සහිතව රුපියල් 40ක් පමණ වනවා. ගල් 1000ක් පමණ අවශ්‍ය වේවි.
ජනෙල් උළුවහු,
වහලය සඳහා ලී
ඇස්බැස්ටෝස් තහඩු

මේවා ප්‍රධාන අයිතමයන්.
වැලි කියුබ් එකක් 9000ක පමණ මිලට ලබාගන්න සිදු උනා.

අපි හැමෝම එකතු උනොත් මේ පහසු ඉලක්කයක්.

දුශ්කරම කොටස අවසන්.අත්තිවාරම් නිමකිරීම දක්වා අපි ආ ගමන් මඟ රෝසමල් යහනක් නොවූවත්, අනාගත ලෝකය වෙනුවෙන් ආයෝජනයක් බව සිහිපත් වීම හිතට හයියක් ගෙනාවා.මේල් වලින්, චැට් එකෙන් වගේම දුරකථනයෙන් පවා සම්බන්ධවෙමින් තොරතුරු සොයා බැලූ ඔබ නිසා හිතට එඩියක් ලැබුනා.

අපි එකතුවෙමු දෙවනි අදියර සඳහා...
සැබෑ කරනට ඒ සුන්දර සිහිනය..
මේ එකතුවීමේ කාලයයි... 



gaslabba1@gmail.com

Friday, August 26, 2016

ආදරෙයි මං..







               එන්න එන්න දරදඬු ගැහුනා
               නුඹේ ගතටත් වඩා මගේ හිත
               දාල එන්නෙ නම් නෑ
               කොහොමත්
               අපේ පිල උඩට එනකන්
               නොතෙත් දරදඬු
               ඒ හිත්වලට වඩා
               පොඩි හරි හයියක්
               තාමත් මගේ හිතට දෙනව
               ඔයා
               ටිකින් ටික හයිය වෙලා
               ආදරෙන්...




නිමිත්ත : මියගිය තම බිරියගේ මලසිරුර ප්‍රවාහනය කිරීමට රථයකට මුදල් ගෙවීමට නොහැකි හෙයින් කර මතින් කිලෝමීටර හැටකට වඩා දුර මලසිරුර කර තබා යන්නට පිටත් උන ඉන්දියානුවෙක්.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Wednesday, August 17, 2016

ඉයන් සමඟ රැල්ලට උත්තරයක්..



මිනිස්සු විදිහට අපි කවුරුත් විවිධාකාරයේ රැලි වලට අහු වෙනවා.නැත්තම් රැලි දිහා බලන් ඉන්නවා.. මේ දවස් වල ඉයන් බ්ලොග් ලෝකෙ ගී සයුර කළඹවලා රැල්ලක් ඇතිකරල තියනවා... ඒක හරි සනීපදායී රැල්ලක් නිසා ගස්ලබ්බත් ඔන්න තමුන්ගෙ සත දෙක දාන්නයි ලෑස්තිය.කස්ටියත් එක්ක අහලා තමුන්ගෙ අදහස් කියන්නකො බලන්ට..

*මුලින්ම කියන්න ඕනෙ සිංදු 16 තෝරගත්තෙ මේ දැන් හිතට එන පිලිවලට.අටමගෙ සිංදු සෙට් එක අහලා සම්පූර්ණයෙන්ම ලයිනප් එක වෙනස් උනා.ආයෙ හෙට මේ පෝස්ට් එක ලිව්වොතින් එන්නෙ වෙන සිංදු 16වෙන්න ලොකු හැකියාවක් තියනවා.ඒ වගේම මෙතන කිසිම අනුපිලිවලකුත් නෑ.හිතුනා.. ලිව්වා..


1) ගස්ලබ්බා පළමුවෙනම තෝරාගන්නා ගීතය 'මගේ කවිය'.ඇත්තටම මේක ඕගොල්ලො අහල තියෙන්න තියෙන්නෙ බොහොම පොඩි අවස්ථාවක්.ඇහුන ගමන් හිත ගිහින් වශී උනේ ගායන හඬට.ඊට පස්සෙ ක්ලාස් යන කාලෙ අත්දැකීම් එක්ක අපූරු රූප රචනයක් ඔලුවෙ මැවුනා..සංගීතයත් මනරම්. අහල බලලා මේ ගීතය ගැන ඔයාලගෙ අදහස සටහන් කරන්න කියල ආරාධනාවකුත් කරන ගමන් අහමු පලවෙනි ගීතය.






2)  මේ ගීය ගස්ලබ්බට පොඩි කාලෙ ඉඳන් හොඳට අහල පුරුදු ගීතයක්.නමුත් බොක්කටම වැදුනෙ දුර ඈත ජොබ් එකට ගිහින් හිටපු කාලෙ.ගෝලයොයි අපියි ඔක්කොම පොඩි ගේ කෑල්ලක උයාගන කකා පැදුරුවල නිදාගෙන උපරිම ෆන් එකේ හිටපු කාලයක් ඒක.හැන්දෑ කොරේ නාල හේන් වලින් නෙලාගන්නා ලද නැවුම් ඉන්ධන භාවිතා කරලා හඳවටේ කැරකි කැරකි ඉන්නවා උයන  කට්ටිය උයනකන්.අතරේ මේ ගීය අහලා ඉවරවෙලා වටපිට බලනකොට රිලේ එක දුවපු උන් ඔක්කොම කඳුළු පිහිනවා.. මේ හඬ වික්ටර් රත්නායකගෙන්.






3) මේ ගීතය වායෝ කණ්ඩායමේ වර්තමානයේ හොඳට ජනප්‍රිය උන ගීයක්.නමුත් ගස්ලබ්බ දැන් ඉදිරිපත් කරන්නෙ ඒ ජනප්‍රිය ගීයෙම රී මේක් එකක්.හැබැයි රී මේක් එකත් කරන්නෙ වායෝ උදවියම තමයි.විශේෂ දේ තමා ගස්ලබ්බට මේකෙ රෙකෝඩ් කරන්න කලින් කරපු ගයිඩ් එක අහන්න ලැබුනා.වායෝ කී බෝඩ් වාදක සේනාංග ගෙ හඬින්.ඒක මීටත් වඩා රහයි.ඒත් යූ බටේ තියෙන්නෙ මේක.රසේ අඩුවක් නම් නෑ.අහන්නකො බලන්න..මේක ඔරිජිනල් එකට වඩා ටිකක් වෙනස්.





4) සිහිනයකි රෑ වැඩසටහනට කමල් අද්දර ආරච්චි ඇවිල්ල පදමාලාවෙන් ඇහැට ඇනලා මේ ගීතයෙන් කණට ගැහුවා.

පෙරදා මහරෑ
මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන
ලසොවින් වැලපුන
නුඹේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැලලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියැලුනු කඳුලින්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
සදා දැවෙන්නෙමි
ඒ ගින්නෙන්

පෙරදා මහරෑ....

ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට
සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ...




5) රැකියාවක් කරන්න කියලා හිතුන කාලෙ ඉඳන්ම ගස්ලබ්බට ටිකක් හරි ආස හිතුන ක්ශේත්‍රය තමයි ඉදිකිරීම් ක්ශේත්‍රය.ඒ අතරිනුත් ඉංජිනේරු මැනුම් ශිල්පියෙක් වෙන එක හීනයක් වගේ තිබුනෙ.හිටිගමන්ම බොඳ වෙලාගියා උනාට හැකියාවක් තිබුනු කාලෙ ඒ හීනෙ යම්තාක් දුරකට හැබෑකරගන්නත් ගස්ලබ්බ සමත් උනා.සයිට්ටෙකම නිවාඩු දවස් වල පාළු වෙච්ච කඳු අස්සෙ බැද්ද අස්සෙ සර්වේ කරල මහන්සි උනාම ගල් පොත්තක ඉඳගෙන දුමක් දාන ගමන් ආසාවෙන් අහපු ගීතයක් මීලඟට තෝරාගත්තා..




6) අපි හැමෝම ප්‍රශ්න වලින් පීඩිත වෙලා හිටපු දවසක.. කලබල නැති අඩ අඳුරේ මධුසාදයක.. පාන්දර දෙකට තුනට විතර... වෘත්තීය මට්ටමේ ගිටාර් සහ බොංගො නාද අතුරින්... බොහොම හෙමින්.. සංයමයෙන්.. ගස්ලබ්බගෙ යාළුවෙක් මේ ගීය ගැයුවා.දැන් අවුරුදු ගානක්.. අදටත් ගියොත් රොකියා මම වෙනුවෙන් 'ඉහිරුන දිවි බඳුටට මධු පුරවා...' මේ ගීය ගයනවා.





7) විශ්‍රාම ගිහිනුත් කාලයක් ගතවෙලා තිබුනත් අදටත් ඉඳ හිට ගෙදරට එන දරුවෙකුට අකුරක් කියා දෙන,විවිධ පාර්ශව වල රැව්ම් ගෙරවුම් මැද උනත් කළු,කැත,හොටු නාවර පෙරන කියල අයින්කරපු දරුවො ගෙදරටත් ගෙනැවිත් අකුරක් අඳුනගන්න කියාදෙන අප්පච්චියි අම්මයි මතක්වෙන නිසා මේ ගීයට ගස්ලබ්බා බොහොම මනාපයි




8) බූට් එකක් කාලා දුක නිවන්න කියලා නාලාගිරි වගේ රා,අරක්කු ඔක්කොම බීල ඇස් රතු වෙලා වයිරෙන් පිච්චි පිච්චි හිටපු බොක්කෙ ෆිට් එකක් කූල් කරගන්න අමරදේවයන් ගයන මේ ගීයත්,හඳ එලියත් ගොඩක්ම උපකාරී උනා...
අපි ගොඩක් වෙලා යනකන් ගීතයට දුක දියකරල හැරියා... 
මේ ගීය ඒ නිසා අමරණීයයි.





9) එතෙක් මෙතෙක් තිබුනු ස්ටාර් වැඩසටහන් වලින් හරියට වැඩක් ගත්තු හොඳම කෙනා තමා ශිහාන් මිහිරංග.මුල් දවස් වල දාපු මෝඩ චූන් නිසා අජූවයි කියල හිතුනත් පස්සෙ පස්සෙ මිනිහගෙ වැඩ කිඩ බලපුවාම මිනිහගෙම තැනක් හදාගන්න ශිල්පියෙක් බව හිතෙනවා. මෙන්න අපේ ශියාන් අයියා......හ්



10)  ගස්ලබ්බගෙ ආදරේට අවුරුදු හතක් පිරුනෙ මේ ඊයෙ පෙරේදා.. සුපුරුදු විදිහටම හයවෙනි වරටත් ඒ දවස ගස්ලබ්බට අමතක උනා.සතිඅන්ත නිවාඩුවට ගෙදර ඇවිල්ලා ගස්ලබ්බි විසින් ලස්සන අත් ඔරලෝසුවක් අතේ බඳිනකොට වත් මතක් උනේ නෑ මොකටද මේ කියලා.(සුපුරුදු මඳ හිනාවෙන්ම එයා ඒ අවස්ථාව විඳගත්තා.)හැබයි ආදරේ ප්‍රකාශකරන්න කලින් හිතේ තියාගෙන හොරගල් අහුලපු කාලෙ තදට අහපු ගීතයක් වන මේ ගීය ඇහෙන වෙලාවට තාමත් අර ඒ කාලෙ ගැස්ම දැනෙනවා දැනෙනවා වගේ..





11) අපි බොහොම පොඩි කාලෙ මිහිරට ඇහුනු ගීයක් මේ දවස් වල චූන් පාං සිස්ටම් එකට පැල විකුණ විකුණ යන ලොරියක් දාගන යනව ඇහිලා දිවත් හැපුනා..
මේ දවස්වල අර ගෙදර හදන වැඩෙත් එක්ක ඉන්නකොට සමහර වෙලාවට සිද්ධවෙන දේවල් නිසා සැලෙන හිත මේ ගීය අහල  සන්සුන් කරගන්න වෙලාවල් නැතුව නෙමෙයි.
වැඩිය ගී ගැයුවෙ නැති උනාට රෝහණ වීරසිංහගෙ මේ ගීය ළමයෙක් පොඩි කාලෙ ඇසිය යුතුම ගීයක්... හොඳ අරමුණක් ලැබෙයි ඔහුට.
(රූප රචනයට තියන ලෝභ කමට මේ ලිංක් එක දැම්මෙ.සමාවෙන් සද්දෙ ටිකක් අවුල්.)




12)  බටහිර ගීත අසන ගොඩක් දෙනා කියන දෙයක් තමයි සිංහල සිංදු වල හැඟීම් ගායනා කරනවා අඩුයි.. කටහඬෙන් වැඩ කැටයම් දානවා අඩුයි කියලා.එයාල මේ ගීය අහල බලන්න ගායනාව අස්සෙන් ඉකි ගැසීමක් පවා ඇතුල් කරන්න සනත් නන්දසිරි කියන අති දක්ශයා සමත්වෙලා තියනවා.. හරිම සංවේදීවෙන ගීයක්.






13) අර කලින් සඳහන් කරපු  'සුලඟ' ගීතය ගැයුණු බෝඩිම ගස්ලබ්බගෙ ප්‍රියතම නවාතැනක්.(බෝඩිමක් කිව්වට දැන් එතන රෙකෝඩින් ස්ටුඩියෝ එකක්.)දවසක් රෑ බොහොම මිහිරට ගෙවෙනකොට ගස්ලබ්බා විසින් මේ ගීතය ගයමු කියල යෝජනා කරනවා.ඒ දවස් වල සයිට් එක කිට්ටුවෙන් කාමරයක් අරන් තනියෙන් නැවතිලා ඉන්නකොට රෑට කාන්සිය මකා ගන්න මේ ගීය ගොඩක් උපකාරී උනා.ඔය කතා කතාබහ වෙනකොට එතන හිටපු කෙනෙක් කියනවා 'මැදපෙරදිග ගිහිල්ලත් ඔය වගේම කාන්සිය දැනෙන අය මතක්වෙන්න තමයි ගිටාර් පාට් ඇරබික් ටච් එකක් එක්ක දැම්මෙ' කියලා.බලනකොට ඒ මේ ගීතය සංගීතවත් කරපු ජානක ෆොන්සේකා නැමැති දක්ශ,නිහතමානී සංගීතඤ්ඤයා. එතනින් එහාට රාත්‍රිය ගෙවුන හැටි හිතාගන්න පුළුවන් නෙ..?




14) අලි ඇත්තු ගැන සුපුරුදු විදිහටම මේ කාලෙ කතාබහ අළුත් වෙලා.. වාද විවාද බොහොමයි.. ඒ අස්සෙ මතක්වුන හර්ෂණ දිසානායකගෙ මේ ගීය අහල බලන්නකො.. කවුරු ගැනද මේ කියන්නෙ?? කාටද මේ කියන්නෙ??




15) සේනක බටගොඩ කියන්නෙ සැඟවී සිටින දක්ශයෙක්.යූ බටේ උනත් තියෙන්නෙ ගීත කීපයයි.ඒ ටික හැබැයි හරිම අගෙයි.ඔහුගෙ ආගම නම් මොකද්ද දන්නෑ.නමුත් මේ ගීයෙන් කියැවෙන අදහස නම් බෞද්ධයාට බොහොම හුරු සහ නිතර නිතර මෙනෙහි කල යුතු යතාර්ථයක්.තට්ට තනියෙන් ඇඳේ වැතිරිලා ඉන්න වෙලාවක විවේකීව අහල තමයි හිතට වැදුනෙ.තමුන්ගෙ දුවණියත් එක්ක එකතුවෙලා ඔහු ගයන අපූරුව බලන්නකො..




16)  රායිට්... අද දවසේ තෝරගන්න වරම් ලැබෙන අවසාන ගීතය.වෙලාව පාන්දර දෙකත් පහුවෙලා.. මේ ගීතය ගැන නම් ආයෙ මොනව කතා කරන්නද? අහමු.. ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල




ආපහු බලනකොට තමයි පෙනෙන්නෙ බර සෙට් එකක් මිස් වෙලා.. මේ වෙලාවෙ මූඩ් එකේ හැටියට එලියට ආපු ගීත තමයි මේ.ලියපු රටාවත් තැනින් තැනට වෙනස් ද මන්දා..



Monday, July 4, 2016

නෙවිල් ෆර්නෑණ්ඩු කෝලම

(සයිටම් ෆේස්බුක් පිටුවෙන් ලබාගන්නා ලදී)


ගස්ලබ්බගෙ පහුගිය ලිපියක ( කාලෝ අයංතේ (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු II) කොමෙන්ට් කරුවන්ට පොරොන්දුවක් උනා සයිටම් එක ගැන අපි වෙනම ලිපියකින් කතා කරමු කියලා.මොකද ලිපි දෙකක මාතෘකාවට නෙවිල් ෆනෑණ්ඩු කියන නම භාවිතා කරපු නිසා.
බුකියෙයි,බ්ලොග් වලයි,පත්තර වලයි හැම තැනම මේ මතෘකාව කතා වෙනවා එක එක කෝණ වලින් මේ දවස් වල.මේ තමයි ගස්ලබු කෝණය.

රායිට් බලමු...

සයිටම් ගැන කතාව මතුවෙන්නෙ 2008 වර්ශයේ.
රුසියාවෙ නිශ්නි නිග්‍රෝද් සරසවිය හා එකතුව රජයේ වයිද්‍ය පීඨ වල සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් රජයේ රෝහල් වල සායනික පුහුණුව සමඟින් තම පාඨමාලා ක්‍රියාත්මක කර ලෝකයේ ඕනෑම තැනක පිළිගන්නා එම්.ඩී උපාධියක් තමුන් ලබාදෙන බව ඔවුන් පැවසුවා.මේ තියෙන්නෙ ඇඩ් එක.

(ඉන්ටනෙට් එකෙන් හොයාගත්තේ)


නමුත් ඔබ අපි හොඳින් දන්නා පරිදි රුසියානු සරසවිය මෙම සම්බන්ධතාවය ප්‍රතික්ශේප කරනු ලැබුවා.

(ඉන්ටනෙට් එකෙන් හොයාගත්තේ)


මීට අමතරව සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුවට අදාලව මුදල් අය කලත් නිසි පරිදි සායනික පුහුණුවක් ලබාදෙන්න මොවුන් අසමත් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සයිටම් ආයතනය වය්ද්‍ය අධ්‍යාපනය ලබාදීමේ හැකියාවක් නොමැති ආයතනයක් බවට ලිඛිතව දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය විශයේ ගුණාත්මක තත්වය පිළිබඳ පිළිගත හැකි මට්ටමේ මැදිහත්වීමක් කරන ශ්‍රී ලංකා වයිද්‍ය කවුන්සිලය,
වයිද්‍ය වරුන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වයිද්‍ය නිලධාරීන්ගේ සංගමය,
සයිටම් ආයතනයේ ගුණාත්මකභාවය පිළිගන්නේ නැහැ.

සයිටම් ආයතනයට තම ගුණාත්මක තත්වය සපුරාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා මඟ පෙන්වීම් අදාල අංශ වරින් වර ලබාදුන්නත් ඔවුන් ඒවා සැලකිල්ලකට ගන්න බවක් පෙනීයන්නේ නැහැ.
(2010 දී මේ සඳහා සවිස්තර වාර්ථාවක් ලබාදී තියෙනවා.)

ඉහත කරුණු සියල්ල හිතළු නොව ලිඛිත සාක්ශි ඇති කරුණු.මේවා සෑම තැනකම දක්වා ඇති බැවින් නැවත මෙහි පලකිරීමක් කරන්නට අදහස් නොකරන අතර ඉතා පැහැදිලි සහ විස්තරාත්මක වාර්ථා ඉහත සඳහන් කල ආයතන වල වෙබ් අඩවි වලින් ලබාගන්නට හැකියාවක් තියෙනවා.

ඒ හා සමඟම රජයේ නොවන වයිද්‍ය උපාධි සමඟින් ලංකාවේ සේවය කිරීමට එන වයිද්‍යවරුන් සහභාගීවන විභාග සඳහා පෙනීසිටීමත් සයිටම් ප්‍රතික්ශේප කරනවා.
(ERPM/ ACT16)

නමුත් අද වන විටත් මිලියන හයේ සිට දොලහ දක්වා මුදල් ආයෝජනය කරමින් සිසුන් සයිටම් හි ලියාපදිංචි වනවා.

අධ්‍යයන පාඨමාලාව සඳහා සිසුන් කණ්ඩායම් 12ක් අද වනවිටත් සයිටම් හි රැඳී සිටින අතර (එකවර එතරම් සිසුන් පිරිසකට පහසුකම් සැලසීමට ඇති හැකියාව..?? ඔබ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිකමට ඇවිද බැලුවහොත් මෙතරම් සිසුන් පිරිසකට සායනික පුහුණුව ලබාදීමට සිටිනා රෝගීන් ප්‍රමාණය දැකගත හැකි වනු ඇත.)  එක් කණ්ඩායමක් අධ්‍යාපන කටයුතු අවසන් කර පිටව ගොසින්ද අවසන්.

උසස් අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේදී විලාප දුන්නේ වාර ගණනක් තිස්සේ තමුන් නෙවිල් මුදලාලිගෙන් ආයතනය පිළිබඳ විස්තර ඉල්ලා සිටින බවත් ඔවුන් එය ලබා නොදෙන බවත් ය.ආයෝජන මණ්ඩල අනුමැතිය හිමි ව්‍යාපාරික ආයතනයක්,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන්සභාවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ වගකීමට හෝ තොරතුරු ලබාදීමට නීතියෙන් බැඳී නොමැති බවත් ය.
ඕන ගොනෙකුට යුද්ධ කරන්නට හැකි උනත්  ලංකාව තුල උපාධි කඩදාසි ලබාදෙන ආයතන නියාමනය කිරීමේ හැකියාවක් නැති බවත් ය. (අනේ අපොයි.)

මේ ජාවාරම්කාරීත්වයට එරෙහි වීම ඇතැමුන් කුහක කම නමින් නම් කරනවා දැකීම සිනහවට කරුණක්.

නිසි බඳවාගැනීමේ ක්‍රමයක් නොමැති , නිසි පුහුණු කිරීමේ ක්‍රමවේදයක් නොමැති ආයතනයක් (නෙවිල් මුදලාලිට ලාභ ලැබීම සඳහාම පවත්වාගන යන මඩුවක්) විසින් ලබාදෙන කිසිදු පිළිගැනීමක් නොමැති උපාධියක් ලබාගන්නට මෙතරම් සිසුන් මුදල් ආයෝජනය කරන්නේ ඇයි?

අතීතයේ කිසිදු ලාභ අපේක්ශාවකින් තොරව ප්‍රතිකාර කටයුතු කළ 'වෙද මහත්තයා' සතු පිළිගැනීම අද රැකියාවක් ලෙසින් ප්‍රතිකාර කටයුතු කරන වයිද්‍යවරයාට ද පරාරෝපනය වී ඇති නිසා ඔහුට ඇති පිළිගැනීමත්,සමාජ තත්වයත්, මුදල් ඉපයීමේ හැකියාවත් මේ ආකර්ශනයට මූලික හේතු බව ගස්ලබ්බා ගේ මතයයි

කොච්චර ආකර්ශනයක් තිබුනත් හැමෝටම ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි යන්න බෑ.බයෝ කරලා උඩින්ම පාස් වෙන සීමිත පිරිසක් තමයි මෙඩිකල් ෆැකල්ටි වලට ඇතුලත් කරගන්නෙ.ඒ වගේම ඒ ගිහිල්ලත් උපාධිය සම්පූර්ණ කරගෙන එලියට එන්න හැමෝටම හැකියාවක් ලැබෙන්නෙ නෑ.විභාග අසමත් වෙලා සෑහෙන පිරිසක් මඟ හැලෙනවා. ඔය ඔක්කොම කට්ට කාගෙන තමයි ඔන්න ලංකාවෙ ඩොකෙක් එලියට එන්නෙ. පැහැදිලිවම මේ තමා ක්‍රීම් එක.


ලංකාවෙ වයිද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් අහලකටවත් ප්‍රමාණවත් නොවෙන පිරිසක් තමයි මේ විදිහට ඇවිත් තමුන්ගෙ රැකියාව මඟින් සේවයක් සපයන්නෙ.(සේවයක් වෙන්නෙ මනුස්ස සීමාවට එහා වැඩ කරන්න සිද්ධවෙලා තියන නිසා.)

හැබැයි වැරදීම් සඳහා කිසිම හැකියාවක්, ඉඩකඩක් නැති මෙයාලටත් වරදිනවා.

(ඩොකාගේ නොසැලකිලිමත් කම සහ වෙනත් හේතු මත පීඩාවට පත්වන රෝගියා වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු ආයතන ඇතත් ඒවා ඇත්තේ නාමිකව පමණක් බව ලියා තැබිය යුතුම ය.)

ඉතින් මෙච්චර ඩොකාල අඩුයි නම් සයිටම් එකෙන් ඩොකාල ආවම මොකෝ..? පාං ද?

අන්න ඒකට උත්තරේ තමයි උඩින්ම දීල තියෙන්නෙ.
ඒ වගේ ආයතනයකින් හරි හමන් ඩොකෙක් එලියට එයි ද?
මුන්නාභායි ඇම්.බී.බී.එස් ලා අපට වැඩක් නැත.

මෙලෝ රහකට නැතිව නීතියේ හිල් වලිං රිංගලා, දේශපාලකයින්ගෙ හයියෙන් සමාජයට කොකා පෙන්නලා එම්.ඩී උපාධියක් දුන්නට එයාලට ඇත්තටම ඩොකෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ද?

එනවනං එන්න මහත්තයෝ කොලිටියක් ඇතුව.සල්ලි විසි කරාටම ඩොකෙක් වෙන්න බෑ.උනත් (දැනට සෙට් එකක් එලියෙ ඉන්නවා කිසිම වගකිවයුතු ආයතනයකින් පිළිගත්තෙ නැතුවට.) කවුරුත් පිළිගන්නෙ නෑ.

හැබැයි පිලිගන්නෑ කියල හිටියට හරියනවද?

හොයල බලනකොට හොඳටම පෙනෙන දෙයක් තමයි පුද්ගලික වයිද්‍ය විද්‍යාලයක් වැටෙන්න පුළුවන් පහත්ම තැනින් තමයි සයිටම් වැඩ පටන් අරන් තියෙන්නෙ කියලා.මේක මහපොලොවේ තහවුරු උනොත් මීට වඩා උසස් තත්වයක් ඉදිරියේ ඇරඹෙන ආයතනයකින් බලාපොරොත්තු වෙන්න බෑ.
මොකද මේ ආයතන ලාභය අරමුණු කරගත්තු ව්‍යාපාරික ආයතන පමණක් ම වන නිසා.

වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද කියලා හතු පිපෙනවා වගේ තැන තැන මෙඩිකල් කොලේජ් පටන් ගන්න එක සක්කරයට තියා සක්කරයගෙ පුතා වයිමට වත් බැරි වෙන එක නම් හොඳටම පැහැදිලි වෙන්නෙ එලිපිට පිස්සු කෙලින නෙවිල් මුදලාලිගෙ සයිටම් එකට බයේ වගකිවයුතු ඇතැම් වගකිවයුතු ආයතන/ පුද්ගලයින් හැසිරෙන හැටි දැක්කාම.


මෙහෙම උනාම ඊලඟට ඇතිවෙන තත්වය බලාගන්න අපට අමුතුවෙන් උපකල්පන අවශ්‍ය වෙන්නෙ නෑ.පොඩ්ඩක් ඔලුව හරවලා ඉංදියාව දිහා බලපුවාම හරි.
හතු පිපෙනවා වගේ මුදලාලිලා/ඇමතිලා ආරම්භ කරපු පුද්ගලික වයිද්‍ය විද්‍යාල වලින් බිහිවුන ඩොකාල නිසා ඉංදියානු සෞඛ්‍ය සේවය විශාල අර්බුධයකට මුහුණදීල කියල කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි ඉංදියාවෙම සෞඛ්‍ය බලධාරීන්.

ඉස්සර ඔපරේශන් වලට,ලෙඩ වලට හොඳ ඩොකා ල හොයාගන්න එහෙම ඉංදියාවට ගිය ලෙඩ්ඩු අද සිංගප්පූරුවට මාරු වෙලා.වෙන එකක් තියා වකුගඩු ඔපරේශන් මාකට් එකත් ලංකාවට මාරු වෙලා.

දවසට බයිපාස් දෙක තුන කරන ඩොකාලගෙ තියටර් අයින් කරලා පෝලින් දිග්ගස්සන,විදේශ විනිමය රටට ආකර්ශනය කරන කීර්තිමත් ඩොකාල අධයිරය කරන්න උපරිමයෙන් වලිකන ඇමතිලා සයිටම් වෙනුවෙනුත් උපරිමයෙන් පෙනී ඉන්නෙ ක්ශේත්‍රයේ තියන කීර්ති නාමය වට්ටන ගමන් තමුන්ගෙ මඩිය තරකරගන්න කියලා ගස්ලබ්බ තදින්ම විශ්වාස කරනවා.

පහුගිය දවසක දැකපු ඇඬෙන තර්කයක් තමයි සයිටම් ඩොකාලට වැඩ බැරි නම් එයාල නිකන්ම සමාජයෙන් ප්‍රතික්ශේප වෙලා යයි කියන එක.

අනේ පිංකරන මහත්තයෝ ඩොකෙක්ට වැඩ බෑ කියල තහවුරු වෙන්නෙ පාං වල පුස් බැඳෙනවා වගේ නෙමෙයි අහිංසක ලෙඩ්ඩුන්ට කෙල වෙලා කියල මතක තියාගන්න.
තත්පර කීපයක් ඇතුලත කෙනෙකුගෙ ජීවිතයත් මරණයත් අතර තීරණයක් ගන්න කෙනෙක්,
මනුස්සයෙක් වෙනවද අබ්බගාත වෙනවද කියල තීරනය ගන්න කෙනෙක්,
වේදනාවන් සුව වෙනවද විඳවනවද කියල තීරනය ගන්න කෙනෙක් ව
ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එකෙන් කොලිෆයිඩ් කොරන්න බෑ..

හැමෝම උගත් බුද්ධිමත් නිර්භීත ඇති හැකි මට්ටමේ ජනතාව නොවන්නාවූ සමාජයක මේ වගේ සංවේදී රැකියා සඳහා එන මිනිස්සු ගැන ගන්න තීරණ බොහොම කල්පනාවෙන් ගන්න ඕනෙ.

ඉතින් අපිත් ඉල්ලගෙන කන්නද ඕනෙ? වෙන්න යන වැරැද්ද හදාගන්න එකද?



ප.ලි

මෙම ලිපියෙන් පුද්ගලික විශ්වවිද්‍යාල අභියෝගයට ලක් කරන්නේ නැතිබව අවධාරණය කළ යුතුමය.
ස්ලිට්,එන්.එස්.බී.එම්,ඇපිට්,අයි.සී.බී.ටී ඈ මෙකී නොකී ආයතන දැනටමත් සාර්ථක අයුරින් තම ව්‍යාපාරික කටයුතු කරගෙන යන අතර ගුණාත්මක තත්වය ගැන මහා විවේචන නැත.ඇති තරගකාරීබව නිසා තම තත්වය පවත්වාගැනීමට ඔවුන් කටයුතු කරන බවක්ද පෙනී යයි.ඒ.සී කල කඩ කාමර තුල අරඹා වැඩි කාලයක් ඇදගෙන යා නොහැකිව බංකොලොත් වන පොඩි පොඩි උපාධි කඩ කෑලිද දැකිය හැකි නමුත් අවධානම දැරිය යුත්තේ ඒවා සඳහා මුදල් ආයෝජනය කරන සිසුන් තමුන් විසින්ම ය.

උසස් අධ්‍යාපනය සිසු ණය ක්‍රමයක් මත පදනම් වූ රාජ්‍ය මැදිහත්වීමක් සහිත ක්ශේත්‍රයක් විය යුතු බව ගස්ලබ්බාගේ 'ද' කල්පනාවයි (ඉයන් විසින් මේ පිළිබඳ සවිස්තර ලිපි මාලාවක් ලියා ඇත.)
මේ සඳහා රජයට සේම පුද්ගලික අංශයට ද ආයෝජනය කිරීමේ නිදහස් පැවතිය යුතුය.
නමුත් සෞඛ්‍ය වැනි ඉතා වියදම් අධික (බොහෝ විට අතින් කයිට්) අංශ රාජ්‍ය අංශයේ ඒකාධිකාරයකට නතු වූවාට කම් නැත.මක් නිසාද යත් ලාභ ලැබීමේ අරමුණ විසින් ගුණාත්මකභාවය යටපත් කිරීම නැවත නැවතත් තහවුරුවූ යතාර්ථයක් බැවිනි.


Wednesday, June 1, 2016

කාලෝ අයංතේ (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු II)





කොහෙවත් තිබුනෙ නැති වැස්සක් ඇවිත් මිනිස්සුන්ගෙ ජීවිත පොඟවලා දාල ගිහින් තාම වැඩි කාලයක් නෑ.

හැබැයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හදවත් අමුතුවෙන් පොඟොවන්න දෙයක් නෑ කියලා යලි යලිත් ඔප්පු කරල පෙන්නන්න මේ ගං වතුරත් සමත් උනා.

මේ වැස්ස හින්දම අපට මුණ ගැහුනු පුංචි පවුලක කතාවක් අපි බෙදාගත්තා මතක ඇති.

මේ තියෙන්නෙ කතාව

නමුත් උපකාරයක් කිරීම කල් ගියෙත් වැස්ස නිසාම ඔවුන් ආරක්ශක ස්ථාන වලට ගිහින් හිටපු නිසා.ඒත් කාලගුණය යහපත් වීමත් එක්කම ඔවුන් ආයෙත් ඇවිල්ල.

පහුගිය දවසක ගස්ලබ්බටත් චෑන්ස් එකක් වැදුනා ගෙයින් එලියට යන්න.ඒ ගමන් මේ පවුලෙ අයව හම්බවෙන්නත් අර ටීචත් එක්කම යන්න පුළුවන් උනා.

කොමෙන්ට් වලින් කතාකරගත්තු විදිහට ගෙයක් හදන්න උදව් කරන එක තමයි මේ වෙලාවෙ අපට කරල දෙන්න පුළුවන් හොඳම දේ කියල ගස්ලබ්බට තේරුණා.

ඒ දරුවන්ගෙන් ලොකු පිරිමි ළමයා තමුන්ගෙ ආච්චි භාරයේ ඉඳන් ඉස්කෝලෙ යන්න පිටත් කරලා තිබුනා.
දැන් ගෙදර ඉන්නෙ භාග්‍යයි මල්ලියි විතරයි.
මල්ලි තාම පොඩියි නෙ.

සන්තෝසයි කියන්න මේ මිනිස්සුන්ට මොනව උනත් උත්සාහය කියන එක තියෙනවා.
ඉඩමේ නිරවුල් බව හොයන්න ටීච ෆාහිම් මන්ත්‍රීතුමා හමුවෙන්න ගිය වෙලාවෙ මන්ත්‍රීතුමා මොවුන්ට පරණ ටකරම් තහඩු ටිකක් ලබාදීල තිබුනා.
කටුමැට්ටෙන් බිත්ති ටිකෙන් ටික ගොඩනඟමින් උන්න..
වහලෙට පොල් අතු වහගෙන තිබුනා.
අපි ටිකක් උදව් කලොත් මිනිස්සු විදිහට ජීවත්වෙන්න ඔවුන්ටත් හැකියාවක් ලැබේවි.

හරි. දැන් මේ නිවස ඉදිකිරීම ගැන කතා කරමු.

නිවස හදන ඉඩමේ අයිතිය මේ පවුලට ලබාගන්න පුළුවන්.අදාල නීතිමය කටයුතු කරන්න ගාස්තු ගෙවලා අත්සන් කරන්න විතරයි තියෙන්නෙ.ඒ කටයුත්ත ටීචයි ඉඩම ලබාදුන්න ෆාහිම් මන්ත්‍රීතුමයි කරන බවට පැවසුවා.කොහොමත් අත්තිවාරම් දමන්න කලින් අදාල ඔප්පුව නිරවුල් කරගන්න ගස්ලබ්බ කටයුතු කරනවා.



මේ දක්වලා තියෙන්නෙ ඉදිකරන්න හිතාගෙන ඉන්න නිවාසයේ සැලැස්ම.අඩු වියදම් නිවාස ක්‍රම වල භාවිතා වෙන සැලැස්මක්.


මේ සැලැස්මට අදාල වියදම කොහොම වෙයිද කියන කාරණේ තමයි ඊලඟට ඔලුවට එන්නෙ.

මේ තියෙන්නෙ ඒක.



සැලැස්මට අදාලව ගස්ලබ්බි හදල දුන්න දළ ප්‍රමාණ පත්‍රයක අවසාන පිටුව තමයි තමයි ඔය තියෙන්නෙ.
ආයෙත් සිමෙන්ති රුපියල් තිහකින් ගණන් ගියාලු.ඒ කොහොම වෙතත් ලක්ශ පහක් වත් අඩුම වියදම් කරන්න සිද්ධවෙනවා කියන එක මේ සම්බන්ධ අත්දැකීම් ඇති පිරිස සමඟ කරපු කෙටි සාකච්ඡා වලදී තහවුරු කරගන්න පුළුවන් උනා.

අදාල ඉඩමට යන පාර මඩ ගොහොරුවක් වෙලා තිබුන නිසා පහුගිය දවස් ටිකේ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන එක ගැටළුවක් වෙලා තිබුනත් දැන් ඒ ප්‍රශ්නෙත් විසඳිලයි තියෙන්නෙ.

දැන් තියෙන්නෙ අපට වැඩ අරඹලා  ලස්සනට අවසන් කරන්න.



වදගත්ම දේ කියන්නෙ දැන්.



ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු කියන ලිපියෙන් ගස්ලබ්බ කිව්ව දෝණි කතා කරන්නෙ බොහොම අඩුවෙන් කියලා.ඇය බොහොම හෙමින් තමුන්ගෙ අඳුරු කුටියෙන් එලියට එන්න පටන් අරන්.වෙනදට වඩා වචන දෙක තුනක් කතා කරන්නත් ඒ අඩුව පිරිමහන්නදෝ ලස්සනට හිනා වෙන්නත් පටන් අරන්.
එයාට දැනෙනවා ඇති එයා තනි වෙලා නෑ කියලා...

අළුත් ගෙදරක අළුත් ජීවිතයක් අරඹන්න එයා ටික ටික සූදානම් වෙනවා.
ඒ ගෙදර කුස්සියක් තියේවි.
අලයි,ලුණුයි  වෙනුවට සුවඳ ගහන බතකුයි පරිප්පුවකුයි වත් හැදේවි.

එන්න... අපි ඒ වෙනුවෙන් අපේ සහයෝගය ලබා දෙමු.


මේ කාර්යයේ සියලුම අවස්ථාවලදී ඔබ සියලුදෙනාගේ අදහස් විමසා බලන්න ඉඩ කඩ වෙන් කලේ වඩා හොඳ අවසානයක් බලාපොරොත්තු වෙන නිසාමයි.ඒ නිසා ඔබගේ අදහස් ලබාදෙන්න.

භාග්‍යාට නිවසක් තනා දෙන්නම ආරම්භකරපු ගිණුමේ විස්තර පහතින් තියෙන්නෙ.මුදල් වැයකිරීම පිලිබඳ වගකීම ගස්ලබ්බා පුද්ගලිකවම භාරගන්නවා.
අපි එකතුවෙලා දුවට ගෙයක් හදල දෙමු.



gaslabba1@gmail.com

Friday, May 27, 2016

අවසානේ...


උඩතට්ටුවේ ගෙදර කවුරුවත් නැති බව කෝකටත් තහවුරු කරගන්න ජයවීර සෙකුරිටි ට කෝල් එකක් ගත්තා.දවස් දෙකකට ඔවුන් නැති බව දැනගැනීම ම ජයවීරට ලොකු සහනයක් උනා.. කෝපි කෝප්පෙකුත් හදාගන හුලං වදින තැනකට වෙලා පයිප්පෙ උරන එක ජයවීරගෙ පුරුද්දක් උනත්,මේ අළුත් ෆ්ලැට් එකට මාරු උන එකෙන් ඒ පුරුද්දත් සීමා කරන්න උනා.දරුවෙක් ලැබෙන්න ඉන්න උඩතට්ටුවේ ගෙදර ශෙරින් දුව සැමියා මාලකත් එක්ක ඇවිල්ලා බොහොම කාරුණිකව කරපු ඉල්ලීම නිසා බැල්කනියට වෙලා පයිප්පය දල්වන්න ජයවීරට හිත එකඟ කරගන්න බැරි උනා.. ඒත් අද නම් නිදහස්...

හැන්දෑව එලඹිලා..නයි වගේ දඟර ගැහුනු පාරවල් දිගේ වාහන පෝලිම් ගැහිලා.. ලොකු ලේලන්ඩ් බස් හබරණ අලියන්ට ගහන හෝන් එකටත් වඩා සැර හෝන් ගහලා පොඩි ත්රීවීල් කාරයො බය කරන් යන්න දඟලන ගෝරනාඩුව තට්ටු පහක් උඩ බැල්කනියට වෙලා ජයවීර අහගෙන හිටියා.
දවසේ මහන්සිය කරේ තියගෙන දුම් දූවිලි පිරුන පාරෙ ඉක්මනට ගෙදර යන්න අස්සෙන් දාන බයික් කාරයෙකුට ලොකු කාර් එකක හිටපු නෝන කෙනෙක් සීතල ඒ.සී එක එලියට යන්නැතිවෙන්න වීදුරුව බාගෙට ඇරලා ඉංග්රීසියෙන් බනින හැටි ජයවීරට මැවිල පෙනුනා..

හ්ම්ම්ම්ම්... ඔය ඔක්කොම කලබල ටික නිස්කලංකෙන් හාන්සි පුටුවකට වෙලා බලාගෙන ජයවීර කල්පනා ලෝකෙ සැරිසරන්න පටන් ගත්තා..

නව යොවුන් වියේ ඉඳන් තමුන්ගෙ දිවිය ගෙවුන හැටි හීනයක් දකිනවා වගේ දෑස් ඉදිරිපිට සැර දුම්ගුලි අතරින් ජයවීරට පෙනෙන්න පටන් ගත්තා.

රැකියා.... උසස්වීම්.... අසනීප.... විවාහ.... දරුවන්.... දරුවන්ගේ දරුවන්....

මේ ඔක්කොම මතකයන් විතරයි.කොටින්ම ලොකු දුවගෙ දරුව ලැබුනායින් මෙතුවක් කල් තමුන් ලඟ උන්නු බිරිඳටත් විදෙස්ගත වෙන්න උනා..

කොල්ල නම් අරාබියට වෙලා ඌ කියන විදිහටම ඔටුවන්ගෙ දත් මැද මැද ඉන්නවා.අප්පච්චිට සලකන්න ඕනෙ කියලා මේ ෆ්ලැට් එකට එක්කගෙන ආවට කොහෙ හිටියත් හම්බවෙන්නෙ ඉන්ටනෙට් එකෙන් විතරයිනෙ කියන එක උට ගානක් නෑ..

ඒත් කාගෙවත් හිත රිදවන්න අකමැති ජයවීර පුතාගෙ තීරණේට එරෙහි උනේ නෑ.

කාලෙකට කලින්....
ගොඩා...ක් කාලෙකට කලින් තමුන් හීන මැව්ව ජීවිතේ මේකමද කියන සැකේ හිතේ කොනක ඉඳන් වරින් වර වතුර යට තිබුන රබර් බෝලයක් වගෙ උඩ ආපු හැටිත් බිරිඳ,දරුවන් ගැන තියෙන හැඟීමේ බර වැඩිකම නිසා ආයෙත් හිතේ කොනකට තල්ලු කරපු හැටිත් මතක් උනේ අද ඒ කවුරුත් ලඟ නැති වෙලාවෙ වඩාත් තදින් ඒ හැඟීම හිත වහගත්තු නිසා වෙන්න ඕන..

'මම ආදරය කලා ද?'
'මේ ජීවිතේ ආදරය මම ස්පර්ශ කලා ද?'
ජයවීර තමුන්ගෙන්ම ප්රශ්න කරගත්තා..

අහවර උනු කෝපි මග් එක නොසෝදාම අයිස් කැට කීපෙකුත් එක්ක බ්රැන්ඩි බෝතලය ලංකරගත්තු ජයවීර බැල්කනියට වෙලා පියාඹගෙන යන කාක්කො රංචු දිහා බලන් හිටියා.

හැමෝගෙම මල්ලෙන් කාක්ක කෑවත් කාක්කගෙ මල්ලෙන් කන්න කවුරුත් නෑ නෙ කියල මතක් වෙලා පොඩි හිනාවක් ගියා..

තමුන්ගෙ යාළුවන්ගෙ..,  උන්ගෙ බිරින්දෑ වරුන්ගෙ..,  දුවගෙ පුතාගෙ යාළුවන්ගෙ පවා හිතේ බර හෑල්ලු කරපු තමුන්ට,  තමුන්ගෙ හිතේ බර හෑල්ලු වෙන්න චැටක් දාන කෙනෙක් නැතිවීම හිංදා තමුනුත් කපුටෙක් විදිහටයි ජයවීරට දැනුනෙ..

උත්පලා එක්ක ඇත්තටම සම්බන්ධතාවක් තිබුනද?
ක්ලාස් යන දවස් වල බලන් හිටියට, කවි ලීවට අඩුම ගානෙ අතින් අල්ලලා කතා කරලවත් නෑ කියල මතක් වෙනකොට දැනුන හැඟීම ජයවීර සැර බ්‍රැණ්ඩි උගුරකින් පුච්චලා දැම්මා.
තමුන්ගේ වරද නිසා එදා මඟඇරුනු ඈ ආයෙ කිසි දිනක නොදුටු බව තොරතුරක් නොලද බව මෙච්චර තාක්ශනේ දියුණු ලෝකෙ කවුරුත් පිලිගන්න එකක් නෑ.
ඇත්තටම හිතේ කොණක සඟවගත්තු ඒ අපූරු හැඟීම් පැලෑටිය කිසිම ආකාරයකින් හානියක් වෙන්න නොදී වරින් වර කල්පනා පොහොර දමා සෙනෙහස් තෙතමනයකින් මාත්තු කරමින් දිගින් දිගටම නඩත්තු කරපු බව ජයවීරට අද පිළිගන්න උනා..
තමුන්ගෙ ජීවිතේ වසන්ත කාලය පුරාම උත්පලා සිහින මල් අතරින් මැවුනු හැටි කොච්චර නම් සුන්දරද...?
ඒ හීන මල් නෙලාගෙන එනකන් බලාගෙන උන්නු අතීතය කොච්චරම රසවත් ද..?

කාලය කියන්නෙ මහ අමුතු දෙයක්.. අද මේ පුටුවක් උඩට වෙලා ඉඳගෙන ඉන්නෙ තමුන්මද කියලා ජයවීරට සැකයක් උපන්නා.. 'මම' කියනකොට මතක් වෙන්නෙ අර උත්පලා ගැන කිරිකෝඩු හීන මවපු කොළුගැටයව වෙන්නෙ කොහොමද දරු මුණුබුරන් ඉන්න ජයවීර නොවී කියන කාරනේ තේරුම් ගන්න බැරිවම ජයවීර පයිප්පෙ දුම්කොළ මාරු කලා..

ජීවිතයේ කටුක බව අඩු නැතිව අත්දකින්න ලැබුනු කාලය මැවී පෙනෙනවා... මුදල් හදල් ගැටලු.. අසනීප.. දරුවන්ගෙ කටයුතු.. ඔය ඔක්කොම එක්ක  තමුන්ට හොඳටම ආදරය කරන බිරිඳක් එක්ක  ගිම්හාන කාලයක් වගේ ඒ කාලෙට මූණ දුන්නත් හිතේ කොණක කොකියන හැඟීම් එහෙමම තිබිල නේද කියලා අද මේ කල්පනා කරන වෙලාවෙ ජයවීරට හිතෙනවා..
ඒ මොනවත් හින්දා නොදැනුනු කටුක බවක් ගිණියම් බවක් උත්පලා මතක්වෙනකොට ජයවීරට දැනුනු බව තර්කයක් නැතුවම ජයවීර පිළිගත්තා..

ඒත් අන්තිමට......

අද උදේ පාන්දරම ජයවීර අවදි උන හැටි... වැව අයිනට ගිහින් එලිය වැටෙනවා බලන් හිටපු හැටි කාලෙකට කලින් උනා වගේ දැනෙන්නෙ..
උදේ අට නමය වෙනකන්ම බංකුවකට බර වෙලා පිරිසිදු වාතාශ්‍රයේ සනීපය විඳගෙන එන්න හදනකොටම 'ජයේ.. ඔය ජයේ නේද?' කියලා වයසක මිනිහෙක් කතා නොකරා නම් මුළු ජීවිතේම මීට වෙනස් වෙන්න තිබුනා..
තමුන් එක්කම එකට පොඩි කාලෙ පිස්සු කෙලපු පෙරේර අඳුනගන්න ජයවීරට කොහොමත්ම පුළුවන් කමක් තිබුනෙ නෑ පෙරේරම තමුන්ව අඳුන්වලා දෙනකන්.හොඳ වෙලාවට පෙරේරා ජයවීරව ෆේස්බුක් එකෙන් දැකලා තිබුන.
අතීත කතා අතුරින් උත්පලාවත් මාතෘකාවක් උනේ නොදැනීම..

දශක ගණනකින් දැකල නැති උත්පලා තමුන්ව අඳුනගනීද කියන දෙගිඩියාවත් එක්කම ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන් උදාසීන කමක් තියෙන නිසා ජයවීර පෙරේරත් එක්ක උත්පලා හමුවෙන්න යන්න කැමති උනා.....

..............................................

පොල්තෙල් පිච්චෙන සුවඳත් එක්ක එකතු උන ෆෝමලීන් සැර අස්සෙන් උත්පලා සුදෝසුදු සාරියක් ඇඳගෙන නිදාගෙන හිටියා.
ශෝකයෙන් භරිතවෙලා තමුන්ට ආචාර කරපු උත්පලාගෙ සැමියව වත් ඉකි ගසමින් දෙණට බර වෙලා හිටපු දූල දෙන්න වත් ජයවීරට පෙනුනෙ නෑ..
ඒත්....
දුවගෙ ඉකියත් එක්කම හෙමි හෙමින් තාලයට ගැස්සෙන උඩුවියනෙන් එල්ලෙන මල් වැල්.... 

මලානිකව එල්ලිලා ලතාවකට සෙලවෙන මල් වැල්.......


වසන්තකාලෙ උත්පලත් එක්ක නෙලාගත් හීන මල්.........


ඔව්.... ජයවීරට උත්පලා හමු උනා..


වසන්තයේ මල් කැකුලක් සේ
හිනැහී හිනැහී ඔබ සිටියා...

වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොලොව ගිණියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ.....
ඔබ ආවා.....

ඔබ අත වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල අතරින්
ඔබගේ හද මා දුටුවා

පද : මහගම සේකර
හඬ සහ සංගීතය : අමරදේව



ප.ලි
දිනේශ් ගෙ බ්ලොග් එකේ අරූ දාපු කොමෙන්ට් එකක් ආපු දුර.තැන්කූ අරූ අයියෙ.

Friday, May 13, 2016

ජයලාල් රෝහණ - භාග්‍යා - නෙවිල් ෆර්නෑන්ඩු

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

දහවල් දොලහ හමාරයි.දෙක වසර පංතියේ ළමයිට නම් ඉස්කෝලෙ ඇරුනා.කුඩ ඉහලගෙන එන අම්මලා,මොටර් සයිකල්,පුට්සයිකල් පැදගෙන එන තාත්තලා පොඩිත්තන්ව ගෙදර එක්කන් යනවා.අද දවසෙ වෙච්ච සිද්ධි කට උල් කර කර අනෙකට කලින් අම්මට තාත්තට කියන්න පොඩි උන් පොරකනවා.

ඉහල පන්තිවල ඉන්න අයියලා අක්කලා එක්ක යන පුංචිත්තො සෙල්ලං මිදුලෙ.
ඉස්කෝලෙටම සින්න උනු බලු රංචුව බෑ නොකියා පොඩි එවුන්ව පිටේ තියාගෙන අස්සයා ගෝං කියනවා..
මාලා ටීච හුස්මක් අරන් පන්තියට ඇවිත් හිටපු තුන හතර ළමයි ටිකට නම ලියන්න පුරුදු කරන්න පටංගන්නකොටම එයාගෙ ජංගම දුරකථනය හඬ නැඟුවා.

'අම්මේ..,හවස ක්ලාස් එකේ ෆීස් උදේ ඉල්ලගන්න බැරි උනා.මේ දෙවනි සතියනෙ.කාඩ් එක ගන්නම ඕනෙ.,මම එනව ඉස්කෝලෙ ගාවට.ඒ ගමන් ගෙදර ගිහින් දාගෙන යන්නම්.යන්න ලෑස්තිවෙලා ම ඉන්න.වෙන වැඩ දාගන්න එපා ඔන්න'.

මාල ටීචගෙ පුතා එකදිගට කියාගෙන ගියේ හුස්මක් වත් ගන්නෙ නැතුව.

'හා.. එහෙනම් එකහමාර වෙනකොට එන්න.පාර හදනවානෙ.. ඒ නිසා කාර් එක ගේන්නෙ පරිස්සමින්.'

කෙටියෙන්ම කතාව ඉවරකරලා ආයෙත් වැඩේ පටන්ගත්තෙ අද ආපු මේ ළමයි හෙට එයිද කියන එක විශ්වාස නැති නිසා අහු උන වෙලාවෙ උපරිම වැඩක් කරන්න හිතාගෙන.

පුතා කාර් එක හරවනවා දකිනකොටම මාල ටීච පාර පැන්නෙ පුතාට පන්තියට පමා වෙන නිසා ඉක්මනටම යන්න හිතාගෙන.ඒත් වාහනේ දොර වහන්න කලින් තමුන්ගෙ පංතියේ පුංචි භාග්‍යා ගහක් යට පොට්ටනියකුත් තුරුලු කරගෙන ඉන්නවා දැකපු ටීච එයාට කතා කරා.

'පුතා..,මේ දුව ඉන්නෙ කුඹල්ලංගෙ.අපි යන ගමන් මෙයාවත් දාගෙන යමු.කමක් නෑ නේද?'

අම්ම අහනකොට පුතා පිටිපස්සෙ දොර ඇරලත් ඉවරයි.

'නඟින්න දුව.බහින තැන ටීචට කියන්න හොඳේ'

දැරිය ඔළුව හෙල්ලුවා.

මේ දැරිය මාල ටීචගෙ අවධානය එකවසරෙදිම දිනාගත්තෙ අද්භූත නිහඬ බව නිසාමයි.
පුංචි ළමයි නිහඬ බව ඇතුලෙන් මහා කතාවක් හිරකරගෙන ඉන්න බව මාල ටීචට වැටහෙමින් තිබුනා.
දවසක් හවස තුනට විතර ඉස්කෝලෙ ගාව මේ දරුවා අඬ අඬ ඉන්නවා ගමේ මිනිස්සුන්ට හම්බෙලා ගෙදරට ඇරලවලා තිබුනා.පොඩි දරුවට අසනීප වෙලා එයාව අරගෙන අම්ම ඉස්පිරිතාලෙ ගිය නිසා එන්න භාග්‍යව ගෙදර ගෙනියන්න කෙනෙක් ඉඳල නෑ.
එක වසරෙදිම එකපාරටම ඉස්කෝලෙ එන එක නවත්තපු මෙයාව හොයාගෙන හොයාගෙන යන්න සිද්ධ වුනේ  'ළමයෙක් පාසල් ගමන නවත්තන්නේ නම් එහි වගකීම පංති භාර ගුරුවරයා සහ විදුහල්පති විසින් අනිවාර්යෙන් භාරගත යුතුයි' කියන නීතියෙන් බේරෙන්න බව මතක් වෙලා ටීචට පොඩි ලැජ්ජාවක් වගේ දැනුනා.
ඒත් ඉස්කෝලෙ එන කාලෙ දැරිය නැවතිලා හිටපු ඤාති ගෙදරට ගිහිල්ල පණිවිඩ යවලා කොහොම හරි ආයෙ දරුව ඉස්කෝලෙ එවන්න මවු එකඟ කරගන්න ටීචට හැකි උනා.
පාළුවට ගිහින් තිබුනු කන් පෙති දෙකට ලැබුනු තෝඩු දෙක,ලැබෙන අළුත් (වගේ) ගවුම් පොඩි,ඉස්කෝලෙන් දෙන බත් පිඟාන දරුවට ආකර්ශනයක් නොවුනම නෙමෙයි. දැනුත් මේ මහ මෙරක් වගේ තුරුළුකරන් ඉන්නෙ ටීච කෙනෙක් ගෙනත් දීපු ඇඳුමක් බවයි පෙනෙන්නෙ.

වාහනේ පාර දිගේ ඇදෙනවා..

අවුරුදු ගාණක් ඇදි ඇදී පාර හදනවා.ගල්කුඩු දූවිල්ල කුණාටුවක් වගේ පාරෙ වැඩකරන මිනිස්සු යටකරගෙන හමාගෙන යනවා.මහ වැස්සක් ලඟ නිසාද කොහෙදෝ හරිම අපහසු දාඩිය උණුසුමක් තිබුනත් වායුසමනය කරපු කාර් එක ඇතුලෙ නම් පොඩි සහනයක් තිබුනා.

කුඹල්ලංග හංදියට එනකොට මුළු පළාතම කළු කරගෙන..
වැහි දෙයියොත් දැං දෙඤ්ඤං ගානට බලං ඉන්නෙ.

පුතාගෙ මූණ බලපු ටීච,

'එහෙනම් භාග්‍යා මෙතන ඉඳං යන්න පුළුවන් නෙ'
කියල ඇහුවෙ හිතකින් නම් නොවෙනබව දැනුනත් පුතාට තරහා ඇවිත්,

'අපේ නංගි කෙනෙක් නං මේ වැහි බීරමේ මඟ දාල යනවද? ක්ලාස් පරක්කු උනාට කමක් නෑ.මෙයාව ගෙදරට දාල යං.'
කියනකොට මාල ටීචට පොඩි හිනාවක් ගියා.

'භාග්‍යා.. අපිට පාර පෙන්නන්න.'

කෙලි පැටික්කි පාර කියන්න පටං ගත්තා.
කටින් නෙමෙයි.ඇඟිල්ලෙන්.
ඉස්කෝලෙදි ඇහෙන නෑහෙන තරමට වචනයක් දෙකක් දරුවා කතා කරත් කාර් එක ඇතුලෙදි නම් වචනයක් වත් ගන්න බැරි බව මූණ දිහා බලපු ගමන් ටීචට තේරුණා.

කුඹල්ලංග මුස්ලිම් ජනපදය මැදින් කාරෙක බොහොම පරිස්සමින් හෙමින් හෙමින් ඉදිරියට ඇදුනා.
බෝ කරලා අතෑරලා දාපු ළමයි රංචු රංචු ඕන ඕන හැටියට පාර පුරා දුවනවා.. පනිනවා.
ඒ අස්සෙ ගැටවරයො යතුරුපැදි අරන් එන්නෙ සුනාමියෙන් බේරෙන්න මිනිස්සු දුවනවාටත් වැඩි වේගෙන්.

යනවා.. යනවා... ඉවරයක් නැති නිසා මාල ටීචටත් ටිකක් සැරෙන්ම

'කොහෙද ළමයො ගෙදර..? තව දුරද?'

ඇහුවෙ නොඉවසිල්ලෙන්.
ඇයි පුතාගෙ පංතියට යන්නත් ඕනෙ.
මහත්තයා එන්න කලින් ගෙදර යන්න ඕනෙ.
පොත් වගයක් තියෙනවා හෙට බලාගෙන යන්න.
පාඩං සටහන් ලිව්වෙ නැත්තන් ප්‍රින්සිපල් ගෙන් කුණු බැණුම් අහන්න ඕනෙ.
ඒ මදිවට සේවාස්ථ සැසියට යන්න කලින් හදාගන යන්න කියල එවපු ක්‍රියාකාරකම් උපකරණ හදන්න ඕනෙ.
රෑට උයන්න ඕනෙ..
මේ ඔක්කොම අස්සෙ කිලෝමීටරේකට වැඩිට ගමක් අස්සට යනවා.. යනවා.. ඉවරයක් නෑ.

කොහොමින් හරි මුස්ලිම් ජනපදේ අවසානෙ හරියෙ තියෙන කට්ටි කරපු පොල් වත්තෙත් අන්තිම මුල්ලට යට වැදි වැදි කාර් එක ආවා.
හාත්පස අඳුරු වෙලා සීතල හුලං හමන්න පටං අරන්.
ඔන්න දැරිය ටීචගෙ අතින් අල්ලලා වාහනේ නවත්තගත්තා.
ඉක්මනට වාහනෙන් බැහැලා දරුව වත් එලියට බස්සගත්තත් ගෙයක් නම් පේන්න නෑ.

'කෝ පුතේ ගෙදර?'

ලන්දක් අස්සෙන් හැදුනු පොඩි අඩිපාරක් අස්සෙන් දුවපු පුංචි භාග්‍යා තමුන්ගෙ ගෙදර අත දික් කරලා පෙන්නුවා...

පොඩි ඇලකින් එහා පැත්තට පැනල යන්න ඕනෙ.
ඉවුරට වෙන්න හදල තියන ගෙයක්..

ගෙයක්..(?)

ටකරන් තහඩු දෙකක් එකට හේත්තු කරලා වටේට පරණ සාරි වලින් වට කරලා.
හතර අතට කකුල් විහිදුනු ඇඳ කබලක් උඩ හට්ටි වලං දෙකතුනක්,පැදුරක්,කාඩ්බෝඩ් පෙට්ටියක් එහෙන් මෙහෙන් පිටට පේනවා.
මේක තමයි භාග්‍යගෙ ගෙදර...

'කො පුතේ අම්ම ඉන්නවාද?'

වාහනේ සද්දෙට වෙන්නැති කුතුහලයෙන් බල බල ඇලෙන් මෙහාට වැඩි වයසක් නැති ගෑණු කෙනෙක් ආවා. ආපු ගෑණු කෙනාගෙ චීත්තපොට භාග්‍යා අත්දෙකෙන්ම අල්ලගත්තා.

අත් දෙකේ මැටි ඇලෙන් බාගෙට බාගෙට වගේ සෝදගන ආපු තරුණිය දැක්ක ටීචට මතක් උනේ සාරය මිරිකී ගිය උක් රොඩු කැබැල්ලක්.

'අම්මව හම්බුනු එක හොඳයි.භාග්‍ය දැන් අකුරු එහෙම ලියනවා'

අම්මගෙ චීත්තෙ අස්සෙ දැවටෙන පුංචිත්තිටයි අම්මටයි ටිකිරි හිනාවක් ගෙනෙන්න ඒ වචන සමත් උනා.

'ඒත් සතියක් ආවොත් සතියක් නෑ..
අන්න එහෙම තමා බැරි.
පොඩි කාලෙ ඉඳන්ම හැමදාම ඉස්කෝලෙ එවන්න දරුවව.
ඇයි මේ කඩින් කඩ එවන්නෙ?'

පුතා දිහයි ටීච දිහයි අහස දිහයි බලල කෙල්ල දිග හුස්මක් හෙලුවා.

'අනේ ටීච මෙහෙම හරි දරුවව එවන්නෙ හරි අමාරුවෙන්...
දුව සතියක් එනකොට ලොකු පුතා ගෙදර.. මල්ලිව බලාගන්නවා.
පුතා ඉස්කෝලෙ යනකොට දුව තමයි ගෙදර නතර වෙලා මල්ලිව බලා ගන්නෙ.
දරුවන්ගෙ තාත්තා පොල් කඩන්න හැමදාම උදෙන්ම යනවා.
මේ වැස්ස කාලෙට ගස් යන්න බෑ නෝනා.ගස් ලෙස්සනවා.
ඉතිං මමත් ඔය කුලී වැඩක් හොයාගන යනවා.
පොඩි එකා අරන් ගියාම වැඩ ලැබෙන්නෑ නෙ නෝනා.
ඉතිං මේ දෙන්න මාරුවෙන් මාරුවට ගෙදර නවත්තන්නැතුව මම මොනවා කියල කරන්නද?'

'ඒ කියන්නෙ භාග්‍යා ඉස්කෝලෙ යන්නෙ ගෙදර එන්නෙ තනියමද?'

'ඔව් නෝනා.කෙල්ලට දැං ඒක හුරුයි.උදේට නං පාරට අපිත් එක්කම යනවා.හවසට ලොකු ළමයි එන වෙලාව වෙනකන් ඉඳලා එයලගෙ පස්සෙන් හංදියට එනවා.එතන ඉඳන් ඉතින් එන්න මෙයා දන්නවා.'

'අද එතකොට පුතා ගෙදරද?'

'ඔව් නෝනා.මම මේ අද කුලියට වත් නොයා මේ ගේ(?) වටේ මැටි තියනවා.මොහොමඩ් මහත්තයාට පිං සිද්ධවෙන්න මේ ඉඩංකෑල්ල දුන්න හිංදා ඉන්න තැනක් තියෙනවා.
ඒත් ඊයෙ රෑත් ගේ (?) ඇතුලෙන් වතුර ගැලුවා.
දැන් වැස්සට කලින් වතුර පාරවල් හරවන්න ඕනෙ.
කොල්ල මැටි කපාගන එන්න ඇල උඩහට ගියා'

......................................







හිතවතුනි...,

මේ කෙටිකතාවක් නොවේ...
මේ පරිකල්පනයක් නොවේ...
ගස්ලබ්බගේ මවට තරුණ ගුරුවරියක් අද දවසේ දැනුම් දුන් විස්තරයක් කිසිදු වෙනසකින් තොරව වාර්තා කිරීමක් පමණයි.




මේ කථාව ඇසෙන විට ගස්ලබ්බාගේ මතකයට නැඟුනේ 'සිහිනයකි රෑ' වැඩසටහනට පැමිණි ජයලාල් රෝහණ නැමැති කලාකරුවායි.
බිඳකට කාලය කැපකර මේ සබැඳිය නරඹන්න.






Monday, May 9, 2016

අරුමයක් මැයි...



රූරා වැටෙද්දී 

වෑයමින් රැස් කොටගත්
බිඳෙන් බිඳ
ඇදෙද්දී පසුපසට
සිනා සෙන්නට
පෙර වගේ
එඩි වඩනු මැන
ජීවිතය
ඔබ නම්
අරුමයක් මැයි...

Wednesday, May 4, 2016

රාල

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

යුද්ධය අවසන් විය.වටිනා ජීවිත රාශියක්,මහා ධනයක්,කාලයක් නාස්ති වූ කාලකණ්නි යුද්ධය අවසන් විය..

ගිණිගන්නා...ගිණි නිවීගිය මැදුරු,ශාලා වලින් අහසට නැගෙන දුම් රොටු තවමත් තැනින් තැන දක්නට ඇති බව යහන් ගැබේ කවුළු සළුපට ඈත් මෑත් කරන කල දකින්නට ලැබෙයි.

රාජකීය වෙදදුරුතුමන්,පුරෝහිත සහ මහසෙනවි සමඟින් යොදාගත් රහස්‍ය මන්ත්‍රණයට නොපමාව යායුතු ය.

මහත් කල්පනාවෙන්ම සිරුරු කිස නිමකරමින්ම තවත් පමා නොවී මන්ත්‍රණය අරඹන්නට රජ තෙමේ තීරණය ගත්තේ යහන් ගැබ අබියස කුටිය ඒ සඳහා සූදානම් විය.

'ජයශ්‍රී රජතුමණි'

'ජයශ්‍රී'  'ජයශ්‍රී'

රජ තෙමේ තිදෙනාට අසුන්ගන්නට අතින් සන් කරමින් රවුම් මේසය වටා අසුන්ගත්තත් කිසිවෙකුත් උනන්දුවෙන් භෝජන ලබාගන්නා බවක් දක්නට නොවීය. එහෙන් මෙහෙන් යන්තම් කුස රවටාගෙන මහත් කල්පනාවට මුල්තැන දී සිටින වෙදදුරුගේත් මහසෙනවිගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමින් එක් ක්ශීර බඳුනකින් උදෑසන භෝජනය අවසන් කළ රජ තුමා ඖෂධ කල්කය ගිල දමා මන්ත්‍රණය ආරම්භ කලේ අස්පස් කල සියළු දාසයන් ඉවත් වූ පසුව ය.

'මහසෙනවි..
නගරයේ සිදුවන මංකොල්ලකෑම්,ඝාතන සඳහා තවමත් සෙබළුන් සම්බන්ධවන බවට තතු සැලවෙනවා.. ජහග්‍රහණයෙන් ඔදවැඩී මධුපානයේ යෙදුන සෙබළුන් පිරිස් මීට සම්බන්ධ බව සැලයි...'

'එසේය මහරජතුමණි,මීට අමතරව විවිධාකාරයෙන් තම දිවිතොර කරගත් සෙබළුන් ගණනද අඩුවක් නැහැ'

'හ්ම්ම්ම්... වෙදදුරුතුමණි,
ඔබතුමන් දුර්ලභ ඔසු භාවිතයෙන් තනවා දුන් විශේෂ ඖෂධ හේතුවෙන් මා යම්කිසි අස්වැසිල්ලක් ලැබුවද සුවපත් නින්දක්... සැනසිල්ලක් මා හට පවා නොමැති තරම්..
කඩු පහරින් සතුරු හිස් දෙපළු කලේ මා පමණක් නොවේ..
අප මනුශ්‍යඝාතනය කෙලිකමට කලා නොවේ..
ඉදින් සෙබළුන් ගැන කවර කථා ද..??
විසඳුමක් සෙවිය යුතුමැයි..'

'අවසර මහරජතුමණි,
යුද්ධය හේතුවෙන් අතපය අහිමි වූ,තුවාල ලැබූ පිරිස් වලින් අපගේ වෙදශාලා පිරී ඉතිරී ගොසින්.යටත්වූ සතුරු හමුදා තුවාල කරුවන් සියළුදෙනාගේ වගකීමත් දැන් දරන්නේ අපයි.
ශාරීරික තුවාල.. ආබාධ පිළිබඳ ඔබතුමා කිසිසේත් නොතැවෙන්න.. ඒ වගකීම මා භාරගන්නවා.. නමුත්....
නමුත්... අප එක්වී මනසට ප්‍රතිකාර කිරීම වහ වහා ඇරඹිය යුතුයි..ජනයාට පැහැදිලි සන්සුන් මනසක් ලබාදිය යුතුයි..'


'පුරෝහිත තුමණි..,
කලභ්‍ර වංශිකයන්,පුණ්ඩු වංශිකයන් ඇතුළුව සතුරු භූමියේ වාසය කල වාසි ලැබූවන් මහා සංග්‍රාම කාලයේ අසල්වැසි රාජ්‍යයට කෙසේ හෝ පැනගොසින්.ඔවුන් විවිධ අවාසි සහගත අසත්‍ය චෝදනා අපට විරුද්ධව දැන් සිටම පතුරන බව සැලයි...
වහ වහා මෙයට පියවරක් ගත යුතුයි.'

'අවසර රජතුමනි..
එදවස අපගෙන් යම් දඬුවම් ලබා ඔබතුමන් හා හිත් අමනාප ඇති පිරිස් ද මේ හා සම්බන්ධයි.ඔබතුමා වෙතට ලැබී ඇති මහා ජන ප්‍රසාදය ඉවසාගත නොහැකි ප්‍රභූන් පිරිසක් ද යම් යම් කුමන්ත්‍රණ වල යෙදෙන බවක් බුද්ධි තොරතුරු වලින් කියැවුනා.. ඔබතුමා මොවුන් දිනාගත යුතුමයි..

'හහ්... යුද්ධයේ අසීරු අවස්ථාවන්හි මහජන මතය සකස් කරමින් අපහට සහාය දුන් චිත්තධයිරිය වඩවාදුන් මහා සංඝයා විශයෙහි තත්වය කෙසේද?'

'කමාවන්න රජතුමණි.., මා ඉහත සඳහන් කල ප්‍රභූන් රැස්වන්නේත් චීවර ආරක්ශාව පිටයි..ඔබතුමන්ට ඔබතුමන්ගේ කිරුළ රැක ගැනීමට කල්පනාකාරී වන්නට සිදුවේවි...
එසේම ඔබතුමන් වෙනුවෙන් හඬක් නැඟෙන්නේත් සංඝයා තුලින්මයි.මහත් ඉවසීමෙන් කල්පනාකාරී විය යුතුයි රජතුමණි.'

'හහ් හහ් හා... අපට සැමදෙනාම සතුටු කළ නොහැකියි පුරෝහිත.. බලන්න.. සතුරුභූමියේ තිබූ වෙහෙර විහාර ගිණිබත් කරමින් .. වස්තුව කොල්ල කමින් කෙරෙන විනාශයට එරෙහිවයි අප සටන් වැදුනේ...

අහිංසක වැසියන් තලා පෙලා අප දිවයිනේ වස්තුව පිට කරනවාට විරුද්ධවයි අප සටන් වැදුනේ..
 මේ මතය ජනගත කළ යුතුයි..'

'අවසර රජතුමණි..'

'ඔව් සෙනවි.. පවසන්න..'

'සේදමාවත ඔස්සේ එන වෙළෙන්දන්.. වෙනත් වෙළෙන්දන් නාවිකයන් ගැන අප අවධානය යෙදිය යුතුයි.
යුද්ධායුධ වෙළෙඳාමේ යෙදුන ඇතැම් වෙලඳුන් අප හට ආයුධ සැපයූ නිසා ඔවුනට ඇතැම් වරායන් තහනම් කලාප වී ඇති බවට වාර්ථා කලා.. බොහෝ වෙළඳුන් අපව මඟ හරින අවස්ථාවේ අප හා සමඟ සිටි වෙළඳුන්,ඔව්.. ඔවුන් අති විශාල ලාභයක් ලැබූ බව සත්‍යයක්.. නමුත් ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි..

ඇතැම් වෙළෙඳ ප්‍රජාවන් අප දිවයින වෙළෙඳාමට නුසුදුසු දේශයක් බවට පතුරන මතවාද පරාජය කිරීමට මොවුන් අපට යොදාගත හැකියි..'

සාකච්ඡාව නැවතුමක් නොමැතිවම කෙරීගෙන යන්නට විය...සතුරා උවත් මිනිසෙකු හෙයින් ගරුකල යුතුබව රජතුමාම පෙන්වමින් සතුරු රජ සොහොනට රජතුමා ගරු කරමින් රට වැසියාට ආදර්ශ සපයා දුන්හ.
මාළිගය තුලත් පිටතත් තවමත් ජයඝෝශා.. ප්‍රීති සාද උත්සව පැවතෙන්නටම විය..

මේ අතර හදිසියෙන්ම රාජ ආඤ්ඤාවක් නිකුත් විය.

රට සශ්‍රීක කිරීමේ වගා සංග්‍රාම ඇරඹින..

මගා සංඝ‍යා වහන්සේලාගේ අනුශාසනා පරිදි විශාල පිරිසකට එකවර සහභාගී විය හැකි වෙහෙර විහාර ව්‍යාපෘති ඇරඹුනි.

සෙබලුන් ගේ ශ්‍රමය වැටුප් සහිතව මේ සඳහා යොදාගැනුනු අතර වඩා සුව පහසු කූඩාරම් හා නැවතුම් මොවුන් හට පිලිවෙල විය.

ගම්මාන ආශ්‍රිතව වැව් පොකුණු ඉදිකිරීම් සිදුවිය.. 

ගමේ හැදූ පොකුණ විවෘත්ත කිරීමට පැමිණි මහසෙනෙවිගේ යෝධයා  රැගෙන ආ රා කල ගම්මුන්ට බෙදා දුන් බවක් මතක ඇත..ඒ ජය ඝෝශා තාමත් ඇසෙනවා වැනිය... තමාව යමෙකු ඔසොවන බව රාල ට දැනෙන්න විය.

'ලොකු උන්නැහේ... මොකද..?? ඊයෙ ආපු බස් එක මිස් උනාද?
කඩේ අරින්න තියෙනවා.. මගෙ දවස කාලකණ්නි කරන්නැතුව පව් නොදී යනවද........? කාලකණ්නි මැයි දින කාරයො'

ඇමැති තුමාට ජයවේවා කියා ලොකු අකුරින් ලියූ බැනරයක් පොරොවා කඩපිලේ නිදා උන් මනුශ්‍යයා ඇද දමන ලදින් උඩ බිම බලමින්,තතනමින් ඉවත් වනු පෙනින...



Friday, April 22, 2016

පොල්




ඉරිමා උදේ මල් පූදින වෙලාවේ
මුළුතැන් ගෙයයි කඩිසර මුල් තැන ගන්නේ
කරස් බරස් හඬ දසතම පැතිරෙන්නේ
පොල් ගෙඩියයි දවසෙ ඇරඹුම අරගන්නේ


තිබුනොත් කඩා ලෙලි ගසලා පිලිවෙලට
උම්මා එක්ක තේ එක එයි අත ලඟට
කඩලා නැති උනොත් නිසි කල වෙලාවට
පණ එන්නේ ඇගෙ කටට සහ ලොකු හැඳි මිටට

පැහිලා වැටෙන පොල් ගෙඩි අහුලාපන්නේ
ඔලුවේ ගෙඩි ගැහුනු තැන් ටික තවමින්නේ
කඩමණ්ඩියේ නිරතුරුවම ඇවිදින්නේ
පොල් ටික කඩා දෙන්නට කවුරුද එන්නේ

මේ සතියෙ නම් ඉඩ නෑ නේ මට එන්න
ඕඩර් පොත බලා ඉඩ බුක් කර ගන්න
මම එන වෙලාවට නිවසේ ඔබ ඉන්න
ඇමතූ අංකයෙන් ලැබුනේ පිළිතුරු ඔන්න

නවතා තෙසක් රිය සෙවනැති ගහක් මුල
නළුවෙක් වගේ ඇඳලා හැඩ කොට ඩෙනිම
බලලා පැහුන ඉත්තෙන් තෝරා කඩන
පොල් බිම වැටෙයි කැඳවාගෙන සිත් සහන

නෝනගෙ මල් පෝච්චි පැල හැම බේරනවා
නිසි කාලෙට ඇවිත් පොල් කඩලා දෙනවා
තව පොඩි වැඩත් ඕනෑ නම් කර දෙනවා
පොල් මහතා බිස්නස් කාඩ් එක දෙනවා


   *
නිමිත්ත
තණකොල කපන රත්නේ ගේ බිස්නස් කාඩ් එක.

Saturday, April 9, 2016

සැප ආ..


(ඡායාරූප අන්තර්ජාලයෙනි.)



කශ්ටියට මතකද සන්ෆ්ලවර්ස් සමඟ 'අහවලා' කියලා කැසට් පීස් රැල්ලක් ආවා..? ඩිශ් ටං ටං සංගීතයේ ජනප්‍රියම කාලෙ.කපුගේ ගෙ පීස් එකෙන් තමා වැඩේ නැගලම ආවෙ.ඊට පස්සෙ එච්චර දුර යන්න බය කස්ටිය ගැහුවා 'නව රිද්ම' කියලා පීස් සෙට් එකක්.මේවත් අච්චර ඩිශ් ටං ටං නැති උනාට නොසෑහෙන්න බීල සිහි නැති උනොත් මිසක් අහන්න බෑ.. මේ ඔක්කොගෙම පොදු සීන් එකක් තිබ්බා

ඒ තමා 'රැප්'..

හප්පේ ඉතිං සුභාවිත ගීතය අගයන අහිංසක රසිකයින් කෑ මොර දුන්නෙ මුං සිංදු රැප් කොරනවා නෙමෙයි රේප් කොරනවා කියලා..

ඊට පස්සෙ භාතිය සංතුශ් ඩබල 'සිරි සංඝබෝධි මාලිගාවෙදී' කියන 'ට්‍රැක්' එක (එව්වා සිංදු නෙමෙයිලු.) අවුට් කරා. බැනුම් ඇහුවා.. කොහොමද කියන්නෙ..අන්න බැනුම්. හැබැයි උන් ඒව අහගෙන ටිකෙන් ටික වෙනස් ආරකට ඇවිත් 'රන් කුරහන් මල' එහෙම කියලා දැන් එක විදිහකට ඉන්නවා..
ඔය කාලෙම තමයි රනිඳුගෙ එල්ලිලා ඉරාජ් මාමා එන්නෙ.රංග ඩී. එක්ක එහෙම. ඔය කට්ටියම පොඩ්ඩක් අවධානෙට ලක් වෙන්නෙ 'රැප්' කියල සීන් එකක් සිංදු අස්සෙ දාන නිසා..

අපේ පරණ දේශීය සංගීත කරුවො කියන විදිහට නම් මේ රැප් එක අපට අළුත් දෙයක් අරුමයක් නෙමෙයි ලු.උදාහරණත් ඕසෙට.
හෑලි.. යාදිනි.. තව එක එක ඒවා.
ඔය දේවාල අස්සෙන් එහෙම ඇහෙනවා නියම හෙල රැප් කෑලි.

ඔය අස්සෙම තමයි එක පාරටම 'සෙල්ෆි රැප්' කියල සීන් එකක් එන්ටර් වෙන්නෙ.දැං හැමෝගෙම අතේ ස්මාට් ෆෝන් කෑලි එහෙම තියෙන එකේ සෙල්ෆි රැප් වැඩේ නැගලම ගියා.. ෆිල් ටී කියන හාදයා තමයි මේක ලංකාවෙ නග්ගලා ගත්තයි කියලා කියන්නෙ.


ආ.. කියන්න බැරි උනා.. මේක මේ ලංකාවෙ සංගීතය ගැන ගවේශණාත්මක විවරණයක් හරි ශාස්ත්‍රීය ලියමනක් හෙම නෙමෙයි.. බුකියෙන් අහපු හෙල රැපක් (?) නිසා ඇවිස්සිච්ච හිතුවිලි ටිකක් ලියල දැමිල්ලක් විතරයි... තරහා අවසර.


රැප් එහෙම නැත්තම් (RAP) රිදම් ඇන්ඩ් පොයට්‍රි කියන සංගීත ශයිලිය ගොඩ දෙනෙකුට සෙට් වෙන්නෙ නෑ.ඇත්තටම ඕක හෙන අමුතුයි.අප්‍රිකානු වහල්ලු තමුන්ගෙ දුක වේදනාව පිට කරන්න හොයාගත්තු විදිහක් ලුනෙ මේක.එයාල කොහොමත් නැව ගිලුනත් බෑන් චූන්.. තව ගිලුනත් ඒත් චූන් සැට් එකක් නෙ.හැබැයි කළු ජාතිකයන්ගෙ රැප් ඒකාධිකාරය බිඳහෙලනවා එමිනම්.මනුස්සයත් අමුතු අමුතු කතා ටිකක් කියන්න ඒ සංගීත ශයිලිය යොදා ගන්නවා.

ලංකාවෙ ඉංගිරිස් රැප් එච්චර නැගලා ගියේ නෑ.ඔය කිල බී වගේ උන්දලා බාසා දෙකම දාගෙන කරපු වැඩ නම් ටිකක් හිට් උනා.
ආ.. ආයේ අර සංගීත් (වායෝ.) කරපු මනමේ කිං රැප් පාට් එක නම් නැගලා ගියා.

හැබැයි මේ ඔක්කොගෙම මොකක් හරි තේරුමක් තිබ්බා..

ගස්ලබ්බට මේක ලියන්න හිතුනෙ ඔය එකක් වත්  නෙමෙයි.. මේ කොල්ලයි බල්ලයි ඔක්කොම පට්ට කුණුහරප රැප් කිය කිය වීඩියෝ කරලා බුකියෙ අප්ලෝඩ් කිරිල්ලයි හේතු උනේ.මොකද මේ රැප් කියන්නෙ යමක් කියන්න පුළුවං හොඳ සංගීත ශයිලියක් කියලා ගස්ලබ්බ හිතන නිසා සහ මේ වෙන විකාර දිහා බලනකොට ජුගුප්සාජනක හැඟීමක් ඇතිවෙන නිසා.

තොප්පි කෑල්ලක් දාගෙන ලේන්සු කෑල්ලක් අතේ ඔතාගෙන ගංජා ටිකක් උර උර පාතාලෙයක් ගැනයි කුණුහරපයි තමුන් ගැන මහා ලොන්ත පෝල් කයිවාරුවකුයි ගහන එක තමා මුන්ට හෙන කලාව වෙලා තියෙන්නෙ.
ඇත්තටම ලංකාවෙ හරි හමං පාතාලෙකුත් නෑ නෙ.. එහෙං මෙහෙං මිනීමරුවො,කුඩ්ඩො,මන්ත්‍රීල ටිකක් රංචු ගැහිලා උන්නට.
ඒක වෙනම කතාවක්.
මේ රැප් වල කුණුහරප කීම තමා හෙණ රැඩිකල් වැඩේ දැං.
කොච්චර නැගල ගියාද කියනවා නං 'පැරා' තමුංගෙ බ්ලොග් ලිපියක් පවා වෙන්කරා කුණුහරප රැප් වෙනුවෙන්.
ඒක නිදහස් අදහස් ප්‍රකාශන විදිහක් කියලා පැරාත් හිතන්න ඇති.

ඔව්.. රැප් නිදහස් තමයි.ඒක 'ගරු සරු නැති අවකාශයක්'.
 හෝව්..... ඒක මගෙ වචනයක් නෙමෙයි.
සිව්මංසල කොලු ගැටයා නාලක ගෙ අදහසක්.ඒත් එයා ඒ අදහස් කලේ බ්ලොග් ගැන.
බ්ලොග් වගේම ගරු සරු සීමා නැති අවකාශයක් විදිහට සංගීත ක්ශේත්‍රේ නැගලා යන ආට් එකක් තමා සෙල්ෆි රැප්.
හොඳම උදාහරණෙ පොලිසිය ගැන 'මනඃකල්පිත' කියන සිංහල රැප් ගොයියා ගහපු රැප.ගිණි විසිවෙන්න සැරයි.ඒත් තේරුමක් තියෙනවා.

වහලවල් උඩ,බෝක්කු යට,අම්මලාට ඇහෙන්නැතුව කාමර වල දොරවල් වහගෙන 'හෙල රැප්' කියලා කුණුහරප දෙකක් විදින පොර ටෝක් දෙන ඇච්චො තේරුම් නොගන්න ලොකුම දේ මේක වැඩක් ඇති කලාවක් කියන එක.පට්ට තාක්ශනයක් තියෙන සංගීත ශයිලියක් කියන එක.
උංට ලොකු නිගා නිගා කියල කෑ ගහලා ජොයින්ට් එකක් එහෙන් මෙහෙන් අල්ලලා පාතාලෙ පාතාලෙ කියල හූ තියන එක උනාට... කවුරු හරි මේකත් කලාවක් විදිහට උස්සලා ගනියි කියල ගස්ලබ්බ බලාගෙන ඉන්නවා.

මොකද විකල්ප හැඟීම් ප්‍රකාශන මාධ්‍ය තරුණයන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙන නිසා.
යමක් කමක් තේරෙන්න තේරෙන්න..
පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න..
ඒක පිටවිය යුතු නිසා..
රැල්ලට යන උන් පිස්සු නැටුවට  අදහස් සමාජ ගත කරන්න සුදුසු මාධ්‍යක් නිසා..

ඇත්තටම කියන්න ඕනෙ අහන්න පුළුවං මට්ටමේ සිංහල රැප් ටිකෙන් ටික ජාලගත වෙන්න පටං අරන් තියෙන්නෙ.කල්පනා කරලා වැඩ කරන උං ටිකක් ඉන්න හින්දා බලමු තව ටික කාලෙකින් ලංකාවෙත් අමුතු අමුතු දේවල් ඇහෙයි.




විශේෂ දැනුම් දීමයි : පාසල් නිවාඩු කාලය ඇරඹී ඇත.පාතාල ගැන්ස්ටර් රැප් කරුවන් බුරුතු පිටින් එලිබැස ඇති බැවින් අන්තර්ජාලය ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.
(හොඳම ආතල් එක කියන්නෙ පැත්තකට වෙලා මේ 'හෙල රැප් සීන් එක' (!) දිහා බලං ඉන්නකොට තව ටික දවසකින් මෙයාල ඡන්දෙ දෙනවනේ නේද කියල හිතෙන එක..)


අපි සැපේ ඉන්නෙ බ්‍රෝ.. සාමය...!! ජාති ජාති.

Saturday, March 19, 2016

හිස්තැනක්






සතෙන් සතේ රුපියල හැදෙද්දී
ඇලෙන් දොලෙන් ගඟ හැදෙද්දී
කුටීරයෙන් කුටීරය මී වදය සෑදෙද්දී
ගලෙන් ගල පර්වතය සෑදෙද්දී
දිනෙන් සතියෙන් මාස ගෙවෙද්දී
ග්‍රෑමෙන් කිලෝවෙන් ටොන් හැදෙද්දී
එකකින්.. තවකකින්..තවත් එකකින්.....
................................








ඔව්.. ඔබ හරි.කිසිම තේරුමක් නැත.

Wednesday, March 9, 2016

දුම (4)



දුම
දුම (2)
දුම (3)

ඔබට අතීතය වන දෙය තවකෙකුට වර්තමානය විය හැක.වෙනකෙකුගේ අනාගතය ඔබගේ වර්තමානය විය හැක.කාලය යනු අරුමයක් පමණි.
                                                                             -කෙවින්-

'උඹ අහල තියෙනවාද නැස්කා චිත්‍ර?' පොලා ඇහුවා

'ඔව්.. අර පොලොවෙ කානු වගේ හාරලා තියෙන ඒවනෙ.. උඩින් බැලුවොත් විතරයි පෙනෙන්නෙ.මොනවද බං ඒ?'

යන්තං මූ මම අහල වත් තිබුන දෙයක් ගැන කියවන්න පටංගත්තා..

අපේ නුවර එළිය පැත්තෙ කන්දක ගලක තියෙන ද්වාර ලක්ශණයි පේරූ රටේ ඒ වගේම කන්දක ගලක තියෙන ද්වාර ලක්ශණයි එකම ගණිතමය අනුපාතයක් කියල උඹල දන්නවාද?

ලංකාව ගුරුත්වාකර්ශණය අඩුම රට බවයි පේරූ වල සාපේක්ශව ලොකු ගුරුත්වයක් තියෙන බවයි උඹලා දන්නවාද?

'මොනවද බං කියන්නෙ? හා එහෙනං  අනුරාධපුරයෙ විශාලම චයිත්‍ය තුනයි, ඊජිප්තුවෙ ලොකුම පිරමීඩ තුනයි, අහසෙ තරු තුනකුයි එකම හැඩේකට පිහිටලා තියෙන්නෙ කොහොමද?' ඔන්න කිරා ආතල් ගන්නයි හදන්නෙ..

'නිකමට හිතල බලපං... ඔව්වගෙ සම්බන්ධ තියෙන්න පුළුවං.. වැඩිය කියෙව්වොත් උඹල හිතයි මට පිස්සු කියලා'

පොලා කලකිරුණු හඬකින් කියවන්න ගත්තා..

'අඩේ උඹට පිස්සු කියල අපි දන්නවානෙ.. ආයෙ මොනවයි අමුතුවෙන් හිතන්නෙ..'

'ආතල් කුඩු කරගන්නැතුව ඉඳහන්.. '

කියලා මම හෙමින් සින්දුවක් දාගන දැහැන්ගත උනා..



පහුවදා කැලෙන් එලියට ආවත්,ඉතුරු දවස් තුන එහෙ මෙහෙ ගියත් අපි අතර අමුතු නොසන්සුන් කමක් ගොඩ නැගුනා.කොයිවෙලෙත් බුම්මගෙන කල්පන කර කර හිටපු පොලාම අන්තිමට මහ බලු කතා ගොඩක් කියලා උගෙ බෑග් එකත් අරන් ඒ වෙනකොට නැවතිලා හිටපු හෝටලෙන් යන්න ගියේ ආපහු අපේ මූණවත් බලන්නෙ නැතිව.
කිරයි මායි අතරෙත් ආයෙ කතා නොකරන මට්ටමේ වචන හුවමාරුවක් උනේ හිතාගන්න බැරි විදිහට..

ඒ පිටම තමයි මම විදෙස් ගත උනේ.

..............................................

මධුවිතයි කතා බහයි එක්ක ටිකෙන් ටික කල් ගෙවෙන ගමන් මගෙ මේ ලිවිල්ල කිරා දැක්කා.හදිසියෙන්ම මට අතීත කතා මතක් උන හැටි.. ලියන්න හිතුන හැටි.. දැං ඇබ්බැහියෙන් වගේ දින පොත වගේ ලියන හැටි මම උට කිව්වා.. ඇත්තටම පහුගිය කොල කෑලි ටික මිනිහට කියවන්නත් දුන්නා.

'උඹට පොඩි දේත් මතකයිනෙ..' ඔන්න ඔච්චරයි මේ හරකා කිව්වෙ..

වේගෙන් ආපු ජීප් එකක් නවත්තපු සද්දෙට අපි දෙන්නම බැල්කනියෙන් පහලට එබුනෙ මේ මොකදෑ මේ කියල බලන්න.
විනාඩියෙන් අපේ දොරට තට්ටු කරපු වේටරයෙක් ආයෙත් දුන්න කොල කෑල්ලක්.

'මචං.. මේ පල්ලෙහා වාහනේට වරෙන්'

යකෝ මෙච්චර දුරක් ගෙවාගෙන ඇවිත් මුට බැරිද මෙතෙන්ට එන්න..?

'බෑ' කියල ලියලා මම කොලේ ආයෙ වේටරයට දුන්නා.

'ඒ සර් කිව්වා බෑ කියයි කියලා.සමාවෙලා එන්න කියන්න කිව්ව බෑ කිව්වොතින්.බෑග් ටිකත් අරන්ම යමු සර්'

'බෑ.. උට ඕන නං උඩට එන්න කියන්න.අපි එන්නෙ නෑ.එච්චරයි'
කියල කට ගන්න හම්බුනේ නෑ එතකොටම..

'මට සමාවෙයං..'

ගාම්භීර සද්දෙන්,තෙත් උන ඇස් වලින් අපි දිහා බලාගෙන පොලා..


කණට ගහන්න තරම් ආවේගයක් ආවත් අපි වැලඳගෙන හිටිය සෑහෙන වෙලාවක්.

රවුල කොණ්ඩෙ කපලා... ලස්සන ඇඳුමක් පිලිවෙලට ඇඳලා... මූ ලස්සන වෙලා..

'ඇයි මේ....?' කුතුහලය ඉවසගෙන ඉන්න බැරිම තැන මම ඇහුවා.

'ඒක තමා.. ඇයි උඹලා ආවෙ.. හ්ම්ම්ම්ම්ම්..... ඇයි මේ....... කොහොමද කියන්නෙ..
හරි.. මම ගිහින් කියන්නම්.'

'කොහෙ ගිහිං ද?' කිරා ටිකක් තදින් ඇහුවා.

'වැඩි දුරක් නෑ..'

එහෙම කිව්වට තව පැය දෙකක්ම කිසි කතාවක් නැතුව නුවර එළියට යන පාරෙ අපි වාහනේ ගියා.
හදිසියෙන්ම පාර අයිනෙ තිබුනු හෝටලේකින් වාහනේ නවත්තනකොට මම පිටිපස්සෙ සීට් එකේ තිබුනු ෆයිල් දෙකක් තුනක් කියවලා ඉවරයි.එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති කොල අස්සෙ මැණික් ගැන,කැසීනෝ ගැන විස්තර පත්‍රිකා ගොඩක් තිබුනා.. මූ මොනවා කරනවාද මන්දා..

..............................................................

'ලෝකෙ ගොඩක්ම විකිරණශීලී මැණික් ජාතියක් ඒකනයිට් කියන්නෙ.බොහොම දුර්ලභයි.
ඒත්....ඒක ලංකාවෙ දුර්ලභ නෑ.... දැනට ලෝකෙ ලොකුම සයිස් ඒකනයිට් ලැබෙන්නෙ ලංකාවෙන්.ඊට අමතරව  තෝරියනයිට්,මෙටාමික්ට්,ඇලනයිට් වගේ මැණික් ජාතිත් අපිට හම්බෙනවා.'

සිසිල් බීර බඳුනෙන් තොල් තෙමාගෙන පොලා කතාව පටන් ගත්තා.

'උඹ දැන් මැණික් බිස්නස් ද කරන්නෙ? බොට හරි ගිහින් වගේ නේද? සංතෝසයි කොල්ලෝ' මම බොක්කෙන්ම ආපු හැඟීම කිව්වෙ.

කිරා මුකුත් නොකියා බලාගෙනම හිටියා.. ඌ මොකක් හරි ඉව වැටුනු ගානට හිටියෙ.
'උඹ බිස්නස් වලට අමතර දේවලුත් කරනවා නේ?'
හදිසියේම පොලා දිහා බලාගෙන ඌ ඇහුවා.

'ඔව් බං.. කැසිනෝ.. මට සල්ලි හදිස්සියක් උනාම කොරන්නෙ ඒක.'
'මම දිනන හැටි මට දැනෙනවා..මම හිතල කරන දෙයක් නෙමෙයි.පස්සෙයි හොයාගත්තෙ.'
පොලා බොහොම සැහැල්ලුවෙන් කියන්න ගත්තා..
මගෙ බඩ සීතල උනා.. මේක මොනව කලත් සූදුවට පට්ට විරුද්ධවනෙ හිටියෙ..

'එතකොට උඹ තමයි එදා මරීන එකේ රැඟුවෙ?? හැබැයි කොණ්ඩෙ රැවුල වවාගෙන.. මට සැක හිතුනා.. ඒත් මට උඹට කිට්ටු කරන්න තත්වයක් තිබ්බෙ නෑ'

'හ්ම්ම්ම්ම්..... ඔය ඔක්කොටොම ලොකු හේතුවක් තියෙනවා... මම පැහැදිලි කරන්නම්.

මචං උඹ කියන එව්ව මම ලියනවා.. කැමති උනත් නැතත්..' මම ලියන්න පටන් අරන් කිව්වා..


'හෙහ් හෙහ්... කවදාවත් ඩයරි නොලියපු උඹ මේ කතාව විතරක් ඕනකමෙන් ලියන්න පටන් ගත්තෙ ඇයි? උඹට එකපාරටම දැනුනා නේද? ඇත්ත කියපං'

'ඔව්.. මම දන්නෑ.. මට දැනුනා මේක ලියන්න.ඒත් මම දන්නෙ නෑ මම මොනවද ලියන්නෙ කියල .. තොගෙ මේ අණ්ඩර වැඩ හින්ද මට පිස්සු වගේ යකෝ..'
මගෙ සද්දෙ වැඩි උනාද මන්දා..


උඹට ලියන්න හිතුන වගේ.. මට උඹල එන බව දැනුනා.
ඒත් මහරගමින් හම්බෙනකන් මම දැනගෙන හිටියෙ නෑ උඹල එයි කියලා.
මම එතෙන්ටම ආපුවාම තමා මම දැනගත්තෙ මම තමයි උඹලව ගෙන්නුවෙ කියලා..
දැන් ආපහු හැරෙන්න බෑ...
අපිට වෙලාව තියෙන්නෙ එලිවෙනකන් විතරයි...'

කිරයි මායි මූණෙන් මූණ බලාගත්තා.


'මේ කතාව අද දවසේ මිනිස්සුන්ට පිස්සු කතාවක්.මවා ගැනීමක්....
කවුරුත් විශ්වාස කරන එකක් නෑ..
ඒකයි මම ම වැඩේට බැස්සෙ.'
පොලා රහසින් වගේ කියන්න පටන් ගත්තා..

'මචං ලංකා භූමියේ මේ වෙනකොට ලෝකෙ තියෙන නවීනම පර්යේශනාගාර ස්ථාපිත වෙලා තියෙනවා..ඒවගෙ අති නවීන පරීක්ශන කෙරෙනවා.. හැබැයි බොහොම රහසිගතව.'

'උඹ දන්නවාද හඩ්සන් ඵලය?' පොලා හදිසියෙ මගෙන් ඇහුවා..

'අර ටෙස්ලගෙ පරීක්ශනේ නෙ? '

'ඔව්.....මීට අවුරුද්දකට කලින් ඒක මෙහෙ සාර්ථක උනා..'

'මොකක්...?'

'කලබල වෙන්න එපා...ඒක ආරම්භයක් විතරයි.
මේ වෙනකොට මේ ලෝකෙ තියෙන ලොකුම රහසක්... ඔව්... ලොකුම රහසක් උඹලට මම කියනවා... ලෝකෙට මෙච්චරම ලංකාව වැදගත් ඇයි කියලා මම කියනවා...

මේ වගේ දේවල් කියන අයට කියන්නෙ මානසික රෝගීන් කියලා.
සායනිකව නමකුත් තියෙනවා...
ඒත් උඹ දන්නවාද ඔය ලෙඩ රෝග හොයාගන්න වාර්ථා කොච්චරක්,එව්වට ෆන්ඩ් කරන ඖෂධ කොම්පැණි වලට ඕන විදිහට දත්ත වෙනස් කරනවාද කියලා..?
ඒ කොම්පැණි පිටිපස්සෙ ඉන්න ඔත්තු සේවා කොච්චර තදට විහිදුන ඒවද කියලා...?

එක පාරටම මිනිහෙකුට ක්ලික් වෙන්නැති දේවල් හොයන තමුන්ට පාලනයක් නැති මිනිස්සු කරන සොයාගැනීම් වල වලංගුබව නැති කරන්න විවිධ මත සමාජගත කරන්න මොවුන් කොච්චර සංවිධානාත්මකව දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවාද?

ලෝකෙ එලියට දාන තාක්ශනේ ඇත්තටම හොයාගන තියෙන තාක්ශනේට වඩා කොච්චර පරණ දෙයක්ද?????'

ජනේලයෙන් පෙනෙන අහසෙ ඈත තරුවක් දිහා බලාගෙන පොලා කියන දේවල් මම ලියාගෙන ලියාගෙන ගියා..

'මතකද මම තරහ වෙලා ආව පොඩි එකෙක් වගේ.මේව දරුණු වැඩියි බං..  ඒකයි එදා උඹලව මගෙන් ඈත් කලේ... ඒත් හරි ගියේ නෑ.. අන්තිමේ උඹලවත් එලිදරවු උනා..
පරක්කු වැඩියි මචං මම දැනගන්නකොට...
උඹට ලියන්න හිතුනෙ නිකන් නෙමෙයි.. මේ කොල කෑලි...

...............................................................................................

එතනින් ලියල තියන දේවල් ඉවර වෙලා...


ඩොක්ටර් වීරසිංහ එක දිගටම ෆයිල් එක කියවගෙන ගියා...


මීට කාලෙකට කලින් එයාගෙ ඇස් ඉස්සරහ වෙඩි ප්‍රහාරයකට මූණදීපු තරුණයන් තුන්දෙනාගෙන් දරුණු තුවාල ලබලා ඒත් පණ බේරුනු එකම කෙනා ඩොක්ටර් වීරසිංහ යටතේ මානසික රෝහලේ ඉන්න බව කතාබහෙන් එලිඋන විගසින්ම වගේ නුවර එළිය පැත්තෙ හෝටලේක මැනේජර් උන ඩොක්ටර්ගෙ මිත්‍රයා මේ ෆයිල් එක දුන්නෙ බොහොම රහසිගතව.
එකපාරටම පිටින් ආපු මැරයෝ කොල්ලො තුන්දෙනාට  වෙඩි තියන අස්සෙ මේ ෆයිල් එක තමුන්ගෙ දිහාට ඒ තරුණයෙක් විසිකරපු සිද්ධිය එයා කාටවත් කියල තිබුනෙ නෑ..

ඩොක්ටර්ගෙ ඇස් දෙක පුදුමයෙන් විශාල වෙලා තිබුනා..


?ඇම්බියුලන්ස් හඬට බයවෙලා ඒ ස්ප්ලයි යනව අන්න සප්ලයි යනවා කිය කිය කෑ ගහන කෑ ගැසීම්..

?මිනිස් මනසට විධාන නිකුත් කරලා සිතුවිලි පාලනය කරන යන්ත්‍ර

?ඉවක් බවක් නැතිව මිනි හයිඩ්‍රො ප්ලාන්ට් නාමයෙන් කෑලෑ අස්සෙ හදන රසායනාගාර,පරීක්ශනාගාර ගැන කියන කතා...

?භාවනාවෙන් මානසිකව එකතු වෙලා ශක්ති ප්‍රභව බලාත්මක කරන කතා..

?මැණික් වර්ග භාවිතා කරලා ගුරුත්වය බිඳ හෙලන කතා..

?මුළු ලෝකෙම ශක්තිය පාලනය කරන කතා..

?රෙදි රෝල් අස්සෙ ආයුධ ගේන කතා..

?පරිප්පු අස්සෙ විස එවන කතා..

?විශාල දේවාල හදන.. ඒවගෙ ඇතුලෙ යන්ත්‍ර ස්ථාපනය කරන කතා..



තමුන්ගෙ රෝගියා 100%ක් විශ්වාසෙන් දොඩවන මේ ඔක්කොම ඩොක්ටර්ගෙ කන්දෙක ඇතුලෙ දෝංකාර දෙන්න පටන් ගත්තා.. තමුන්ගෙ ඔලුවෙන් දුම් පිටවෙන ගතියක් ඩොක්ටර්ට දැනෙන්න ගත්තා....


නිමි..