Thursday, December 7, 2017

කැරට්




වැඩිය ගෙදරින් එලියට බහින්න අකමැති සෝමවීර කාලෙකින් නුවර ආවෙ ලෙඩෙක් බලන්න.ඉස්සර එකට වැඩ කරපු මුණේ අසනීප වෙලා කියල ආරංචි උන ගමන් මිනිහව බලන්න ඕන කියල සෝමවීර තීරණය කලා.වැඩ ඇරිල යන ගමන් හවසට පොඩි අඩියක් කාරිය ගහලා කයියක් ගහල හිටපු මනුස්සයානෙ.

සීනි අමාරුව කියන්නෙ නම් කාලකණ්නි ලෙඩක්. කකුල් හිරිවැටිල හිටපු මුණේ ගෙ කකුලෙ කටුවක් ඇනිලා වෙච්ච තුවාලෙන් ඇරඹුනු ගමන නම් එච්චර සුභ නැති බව මිනිහා එක්ක හිටපු පැය තුන හතරෙදි සෝමවීරට තේරුනත්, බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන උන්නු මුණේට මුකුත් නොකියා ආයෙ එන්නම් කියල පිටත් උනේ මිනිහා මියැදෙන්න කලින් තව එකපාරක් හරි එනවමයි කියල හිතාගෙන.

'මහත්තයා එනකොට කැරට් කිලෝ එකක් අරන් එන්න.. නුවරින් අළුත් එව්වා ගතහැකියි නෙ'
නෝනගෙ කෝල් එක අමතක උනොත් ආයෙ ගෙදර ගිහින් හමාරයි. නිස්සද්දව පැත්තකට වෙලා ඉන්න කැමති සෝමවීර අකමැතිම නෝනගෙ කට අවුස්සගන්න එක. ඉස්සර නම් හිතලම මොනව හරි කරලා අවුස්සගත්තත් දැන් නම් ඒකත් කංකරච්චලයක් කියල දැනෙන බව හංගන්න සෝමවීර උත්සාහ කලේ නෑ.

නුවර එළවලු මාකට් එක වටේ රවුමක් ඇවිදලා බැලුවත් හොඳ කැරට් ටිකක් හොයාගන්න එක නම් ලේසි නෑ.. ඔක්කොම ඇඟිලි සයිස් කූරු කූරු අල. කොහෙ බැලුවත් එච්චරයි.. ආයෙ මක්කරන්නද මීට වඩා.. කියල හිතපු සෝමවීර වෙළෙන්දෙක් ලඟට කිට්ටු කරා.
'මුදලාලි මට කැරට් කිලෝ එකක් දෙන්න'
'මල්ලක්.. මල්ලක්... මල්ල දෙන්න..'
මල්ලක් නෑ නෙ.
'සොපින් නෑ.. සොපින් නෑ... පණහක් දීල මල්ලක් අරන් එන්න'

මුදලාලි කෑ ගැහුවෙ එතන මලු විකුණන පැත්තට අතක් දික් කරලා ජේලර් කෙනෙක් හිරකාරයෙක් එලවන ස්වරේකින්..
රජයේ සේවකයෙක් වෙලා උන්නු සෝමවීරට තරහක් දැනුනු නිසාම වෙන අතක් බලාගෙන ගියා..
'හහ්.. මූ ලඟ විතරද කැරට් තියෙන්නෙ..'

ඊලඟ වෙළෙන්දා ලඟට ගියපු සෝමවීර කෝකටත් කියලා කැරට් ගොඩෙන් ටිකක් ලොකු ලොකු ඒවා බල බල අතට එකතු කරන ගමන් කිලෝ එකක් කියල කිව්වා.
'මහත්තයා..' මුදලාලි බොහොම හිතවත් කමට කතා කරලා ලං වෙන්න අතින් සංඥාවක් දුන්නා...
වටේ කාටවත් ඇහෙන්නෙ නැතිව මුදලාලි මෙහෙම කිව්වා..
' මහත්තයා.. ඔයයි මායි මෙතන බොරුවට රණ්ඩු වෙලා තරහ වෙන්න ඕන නෑනෙ. කැරට් තෝරන්න දෙන්නෙ නෑ.. ඔයා යන්න.. යන්න.. ඔයා යන්න'
තෝරපු කැරට් ටික මුදලාලිගෙ අතට ම දීලා මුදලාලි වගේම හිතවත් හිනාවක් හිනාවෙලා එතනින් හෙමින් හෙමින් පියනඟන සෝමවීරට 'කැරට් ලාභායි... බෝංචි ලාභා...යි' සද්දෙ හරි සංගීතයක් ඇහෙනවා වගේ දැනෙන්න උනා..

දැන් ඉතිං කැරට් නැතුව මාකට් එකෙන් එලියට යන්න බෑ.. කොහොම හරි අරන් තමයි යන්නෙ කියලා සෝමවීර පොඩි තරුණ පහේ ගැටයෙකුගෙ එළවළු තට්ටුවට කිට්ටු කරා...
'පුතා.. කැරට් කිලෝ එකක් දෙන්න'
'බෝංචි... ලීස් වැටකොළු එහෙම..???' අහන ගමන් කොල්ලා බොහොම සුරුවමට කැරට් අහුරක් අරන් ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් තිබ්බා.. ග්‍රෑම් පන්සිය ගානක්..

'ක්‍රැට් දෙසිය පණහයි'..
එක පාරටම සුවඳ පතුරගන ආපු පැඟිරි කෙල්ලක් තාලෙට කිව්ව පමාවට කොල්ල තරාදියෙන් කැරට් ටිකක් එලියට දාලා දෙසිය පණහ හදන්න පටන් ගත්තා..
'යකෝ මට දාපු කිලෝ එක අතෑරලා පස්සෙ ආපු එකීගෙ දෙසිය පණහ දානවා.. මූ...'
සෝමවීරට ක්ශණිකව ආපු තරහට කන් දෙකත් රතු උනා..
එහෙම්මම ආපහු හැරුනු සෝමවීර දිග අඩි තියමින් එතනින් අයින් වෙනකොට වරද වටහ ගත්තු කොළුවා 'සර්.. සර්...' කියනවා ඇහුනත් පස්ස වත් බැලුවෙ නෑ..

මාකට් එකේ දෝංකාර දෙන සද්ද මැද්දෙන්පාට පාට එළවළු තට්ටු අස්සෙන් කැරට් ගොඩවල් තැඹිලි පාටට හිනාවෙන හැටි සෝමවීරට පෙනෙනකොටම එක කැරට් ගොඩකට විරිත්තලා ගාණ අහන්නෙවත් නැතුව කිලෝ එකක් අරන් එලියට බැහැලා බස් එකට ඇවිල්ලා වාඩි වෙලා නලලට දාපු දාඩිය ටික පිහගත්තට පස්සෙ.. ලොකු හුස්මක් පිට කලා..

තදට අල්ලගත්තු කැරට් පාර්සලේ සෝමවීරගෙ අතින් අතෑරුණේ කිලෝමීටර් ගාණක් බස් එකේ ගිහින් බැහැලා ආයෙ පයිනුත් ගිහින් ගෙදරටත් ගිහින් ගේ ඇතුලට යනකොට නෝනා ' වීරේ, කැරට් ගෙනාවා නේද?' කියල අහනකොටයි. එතකොට ඔන්න දෙවනි දිග සුසුමත් පිට කරලා ශර්ට් එකේ බොත්තං ලිහිල් කලේ හරිම මහන්සියක් දැනෙන්න ගත්තු නිසා..
කාලෙකින් නෙ එලියට බැස්සෙත්...

'මොනවද මනුස්සයෝ... මේ උස්සගෙන ඇවිත් තියෙන්නෙ..? මම කිව්වෙ කැරට් ගේන්න කියලා.. මේ මොනවද මේ නූල් නූල් වගේ...????'

'හ්ම්ම්... '
ශර්ට් එකේ බොත්තං තුනක් ගලවනකොටම නෝනා වර්ණනාව පටන් ගත්තා.. එහෙම්මම සාලෙ පුටුවක් උඩට 'දඩස්' ගාලා අතෑරලා දාපු කැරට් පාර්සලේ දිහා ඇස් කොණෙන් බලපු සෝමවීර හෙමින් සැරේ ටැප් එක පැත්තට ගියා..

පොඩි වොශ් එකක් දාගෙන ආපු සෝමවීරට උණුසුම් තේ කෝප්පයක් හදල දෙන්න නෝනා පුරුද්දෙන්ම ක්‍රියා කලා.. සන්සුන් විදිහට මුණේ ගැනත් විස්තර ඇහුවා.. ඒ අහන ගමන් කුස්සියට යන්න පිටත් වෙනකොටම අර කැරට් පාර්සලේ දැක්කා..

' මොනවද වීරේ මේ පොඩි දරුවෙක් වගේ කරන වැඩ..? මෙව්ව උස්සන් එනවද මෙහෙම ගෙදරකට? අඩු ගානෙ ගාන වත් අහන්නැතුව ගන්න ඇත්තෙ.. මම දන්නවානෙ ඉතින් කෙනාගෙ හැටි..'
නෝනගෙ කට ආයෙත් මුවහත් වේගන එනකොට සෝමවීර හෙමිහිට වත්ත පහල බණ්ඩක්කා , අමුමිරිස් හදපු පැත්තට පල්ලම් බහින්න පටන් ගත්තා..

රෑට කන්න සූදානම් වෙනකොට ඔන්න තවත් වතාවක් නෝනගෙ ඉවසීම නැති උනා..
'වීරෙ.. ඕන දෙයක් කරල සද්ද නැතුව ඉන්න නම් දන්නවා. ඔයාට වැඩ කියනවාට අකමැතියි කියල දන්නවා.ඒත් ඉතිං මෙහෙං ගිණි ගණන් වලට කැරට් ගන්නවාට වඩා නුවරින් අළුත් පිට හොඳ ඒවා ගන්න පුළුවන් නිසානෙ ඔයාට ගේන්න කිව්වෙ.. ඒත් බලන්න ඔයා කරපු දේ.. මූණට දමල ගැහුවා වගේ වැඩක් නෙ...'

තරහටත් එක්ක ගැම්මට වැඩ කරන ගමන් 'සුරුස්..' ගාල හොටු දල්ලක් ඉහලට අදින ගමන් නෝනා ඇත්තටම හිතේ වේදනාවෙන් කියවන හැටි සෝමවීර බලන් හිටියෙ හැඟීම් විරහිත මනුස්සයෙක් වගේ.. ඇත්තටම කිසිම හැඟීමක් දැනුනෙ නෑ කිව්වනම් හරි තමා..

ඈත ඉස්කෝලෙක වැඩකරන දුවව බස් එකට දාන්න උදේ පාන්දර යන්න වෙන නිසා කලින්ම නිදාගන්න ඇඳට ගිය සෝමවීරට මහන්සියටම නින්ද ගියත්.. හ්දිස්සියෙන්ම ඇහැරුනේ කුස්සියේ වැඩ ඉවරකරලා ඇඳට ආපු නෝනාගෙ ගැස්සිල්ලට..

'ඇත්තටම මට තාම හිතාගන්න බෑ ඔයා ඇයි මෙහෙම දේවල් කරන්නෙ කියලා.. ' ආයෙමත් කුණු කුණු සද්දෙට නෝනගෙ කියවිල්ල පටන් ගත්තා නින්ද නොනින්ද අතරින් සෝමවීරට ඇහුනා.

එදා රෑ හීනෙන් සෝමවීරට ලොකු කැරට් අලයක් පෙනුනා.

නෝනා පාන්දර නැගිටලා කුස්සියට ගිහින් වතුර එක රත් කරනකොට නැගිටලා කුස්සිය පැත්තෙ රවුමක් ගහන එක සෝමවීරගෙ පුරුද්ද.. තමන්ගෙ තේ මග් එක අරගන උගුරක් තොල ගාන ගමන් එලියෙන් එන සීතලට පපුව අල්ලපු සෝමවීරට කුරුලු සද්ද අහන්න කලින් නෝනගෙ සද්ද අහන්න උනේ නෝනා කැරට් උයන්න කල්පනා කරපු නිසා..
'බලන්න වීරෙ.. මේවා සුද්ද කරන්නෙ කොහොමද? අල්ලන්නෙ වත් කොහොමද? මේවා කැරට්ද අම්මපා..?? '

'හ්ම්ම්... ඒක තමා'
සෝමවීර කිව්වා.
' කෝ දෙන්න බලන්න..' 

කියලා දෝත පෑවත් නෝනා කුණු කුණු ගාන ගමන් උනත් කැරට් ටික සෝමවීරගෙන් ඉවතට අරන් තිබ්බෙ මේ නම් කැරට් බැලිල්ලට වඩා වත්ත පහල ගෙම්බන්ට කැරට් පෙන්නිල්ලකට සැරසෙන බවක් දැනුනු නිසා වෙන්න ඕනෙ.

එහාට මෙහාට වෙලාව ගතවෙනකොට හිත තැලුනු සෝම වීර කෑම කාමරේ පුටුවකට වෙලා පරණ පත්තරයක් බලන්න පටන් ගත්තා.

දුවත් නැගිටලා කුස්සිය පැත්තට ආවෙ තමන් හා හා පුරා කියල වැඩ භාර අරන් වැඩ කරන අති දුශ්කර පාසලට රෑ කළුවර වෙන්න කලින් යන්න නම් ගෙදරින් පාන්දර කළුවර තුරන් වෙන්න කලින් පිටත් වෙන්න ඕන නිසා.

'ඔන්න බලාගනින් දුවේ උඹේ තාත්තගෙ කැරට්..! මෙව්ව තමයි නල්ල මලෑඉ කැරට්..!! ටිකක් ඔතා ගනින් උඹේ ළමයිටත් පෙන්නන්න .. උනුත් දැකල නැතුව ඇතිනෙ මොනවද කැරට් කියන්නෙ ..කියලා'

නෝනගෙ සද්දෙ කුස්සියෙන් එනකොට නම් සෝමවීරට තවත් උහුලන් ඉන්න බැරි උනා...

අඩි දෙකට කුස්සියට යැවුනු සෝමවීරට තමුන්ගෙ කට පාලනය කරගන්න සෑහෙන වෙලාවක් ගත උනා.. වේගයෙන් ගැහෙන හදවත වෙනම දැනෙන්න පටන් අරන් දාඩියකුත් දාල මහා මහන්සියක් දැනෙනකොට තමා සෝමවීරට තමුන්ට තරහ ඇවිස්සිලා කියල තේරෙන්න පටන් ගත්තෙ..

එහෙම්මම කතා නැතුවා කාමරේට ගිහින් කමිසයක් දාගෙන දුව සූදානම් වෙලා එනකන් ඉස්තෝප්පුවට වෙලා බලන් ගිය සෝමවීර පුටුවක ඉඳගත්තා...

කැරට් අලයක් වගේ හැඩේ තියන ඉස්කූටරේ නංවගන දුවව ගෙනිහින් බස් එකට නග්ගනකොට දුවගෙ මූණ ඉඹිනකොටයි දැක්කෙ දුවගෙ නහයත් නිකන් කැරට් අලයක් වගේ නේද කියලා..

රතුපාට ලයිට් එක්ක පත්තු උන තැඹිලි පාට සිග්නල් ලයිට් එක අඳුරෙ දිලිසුනේ කැරට් අලටක් වගේ... බස් එකත් ඉස්සරහ ලොකු පස්ස පොඩි කැරට් අලයක් වගේ ලොකුවට තිබිලා පොඩි වෙවී ගිහින් නොපෙනීම ගියා..

සෝමවීර එතනම බිම ඉඳගෙන ගෙදර ගෙනියන්න කැරට් ගලවන්න පටන් ගත්තා..