Monday, March 30, 2015

ඉන්නද?... යන්නද?



අවනත හදෙක
සහකම්පනය
මහඟු රැකවරණයකි
දිවියට ලැබෙන
දින සති මාස
ගෙවී කල් ගතවත්ම
තත් සුසර නූවාද?
'ටියුන්' මදි වූවාද?
වෙස්මුහුණු පැලඳ නැති
වැට කඩුලු බැඳ නොමැති
ඉඩ හසර එමට ඇති
දිවිය බර වූවාද?
සරා සඳ නුඹ ගැබත
සිටින තුරු සැනසෙන්න
තරු පොකුරු සෑමදා
දුරින් හිඳ මඟ කියාවි..




(චිත්තරේ ගූගල් විසිනි)

Wednesday, March 25, 2015

වැස්ස තව දුරයි ද?


ගිණි ගහන අව් පූටකේ අස්සෙන් කැරකි කැරකි හමාගෙන ආපු දූවිල්ල කමල ටීචගෙ නහය අස්සට රිංගන එක වලක්වන්න එයා ඔසරි පොටෙන් නහය තදින් වහ ගත්තා.ඉස්කෝලෙ ඇරුනා විතරයි.ස්පෝට් මීට් ඉවර උනාට හට් සරසන්න ගෙනාපු පිදුරු පරඬැල් වියලි හුළඟත් එක්ක ඇවිදින් මිදුල හැඩි කරලා.
'හෙට උදේ අතුගාන ළමයි ටිකක් එක්ක ගිහින් පිට්ටනිය සුද්ධ කරන්න ඕනෑ'.
 කමල ටීච හිතා ගත්තා.

පාසල ඇරුනත් ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල වටේ රවුමක් ඇවිදලා බලන එක කමල ටීචගෙ පුරුද්දක්...
ගොඩනැගිල්ලෙ එහා කොනේ අඹ ගහ යට ළමයි දෙනෙක් ඉන්නවා දැකපු ටීච ඒ පැත්තට ඇවිදගෙන ගියා.
ළඟට යනකොට තමයි දැක්කෙ මේ සති දෙකකට කලින් භාරදීපු අයිය මලෝ දෙන්නනෙ.
අයිය පහේ පන්තියෙ.මල්ලි දෙකේ පන්තියෙ.
අයියගෙ පපුවට ඔලුව තෙරපගෙන මල්ලි හොඳටම අඬනවා..
අයියා මල්ලිව සනසනවා.

'ඇයි පුතා?'

ලොකු ළමය අහිංසක විදිහට හිනා උනත් පොඩි ළමයා අයියව තවත් හයියෙන් අල්ලගත්තා..

'ඇයි පුතේ මල්ලි අඬන්නෙ?'

'මේ... චීච.. මේ... යන්න බෑ.. කකුල් රිදෙනවා කියනවා.. දැං යනව චීච...'

'ඉතින් පුතා බස් එකේ නෙමෙයිද යන්නෙ?'

'නෑ චීච.. පාරෙන් ටිකක් ගිහින් වතු පැනලා යන්න පුලුවන්.ටිකක් වෙලා යනවා... ඊයෙ මෙයාගෙ කට්ටක් ඇනුනා.ඒ....ඒ හිංදා බය වෙලා..'

'එන්න පුතා.. යාලුවො ඔක්කොම ගිහිං.. අපිත් යමු... බඩගිනියිද?' 

කමල ටීච කරුණාවෙන් පොඩි එකාගෙ ඔලුව අතගාල අහපු හැටියට උගෙ ඇඬිල්ල නැවතිල්ලත් එක අතකින් කමල ටීචගෙ ඔසරි පොටේ කොනක් අල්ල ගැනිල්ලත් එකටම වගේ උනා.


ගෙදරට වෙලා විවේකීව තේ බිඳක් තොල ගාන කමල ටීචට මැවිලා පෙනෙන්නෙ බස් එකේ යන්න රුපියල් දහයක් ලැබුනම පොඩි එකාගෙ මූණට ආපු සිරියාව.

ඒත් ටීචට සැනසිල්ලක් ලැබුනෙ නැත්තෙ ළමයින්ට බඩගින්නට මුකුත් දෙන්න ගිය වෙලාවෙ ඉස්කෝලෙ ලඟ කඩේකට කියල තියෙන එකම කඩේ, ආච්චිගෙ පෙට්ටිකඩේ එකම එක බනිස් ගෙඩියක් විතරක් ඉතිරි වෙලා තිබුනෙ කාගෙ අහේතුවටද කියලා තේරුනේ නැති නිසා..

හරිම සන්තෝසෙන් ඒක බෙදාගෙන කාල 'බස්' එකේ සැපට යන්න කොර ගගහ ටිකිරි හිනා පපා අයියගෙ අතින් අල්ලගෙන ගිය පොඩි එකා මොනවා දන්නවද?


මීට සතිදෙකකට කලින් මේ දරුවො දෙන්නව ගෙනල්ල භාර දුන්නෙ දරුවන්ගෙ ආච්චි.
පාසලට ටිකක් දුරින් වෙන්න තියෙන පොල් වත්තක තිබුනු පාලු මඬුවක පදිංචියට අලුතෙන්ම ආපු පවුල තමයි මේ.

'කෝ මේ දරුවන්ගෙ අම්ම?'

'මීට මාස හයකට විතර කලින් එල්ලිල මලා නෝනෙ'

'එතකොට තාත්ත?'

'වත්තට ආපු ගමන් ගස් ඔක්කොම සුද්ධ කරන්න කියලා වත්තෙ මහත්තයා කිව්වා...
උදේ ඉඳන් රෑ වෙනකන් ගස් බඩගාල මහන්සි වෙන එක තමයි මගෙ කොල්ල කොරන්නෙ...
මහන්සි අරින්න වත් ඉන්න දෙන්නෙ නෑ ගස් යැව්ව එක දිගට... 
අනේ නෝනෙ මගෙ කොල්ල ගහක් පල්ලෙ පත බෑ වෙලා දැං ඉස්පිටිතාලෙ.
කකුල කැඩිල යකඩ කූරක් ඇණ ගහල ඉන්නෙ දැං.. 
පපුව වාවන්නෙ නෑ...'

ආච්චි එක හුස්මට අඳෝනාවක් වගේ නාහෙයි කටයි අතර තැනකින් අමුතු හඬකින් කියාගෙන ගිහිං කඳුලු බිංදුවක් පිහදැම්ම.

මේ ආච්චිටත් ළඟ ගෙදරක 'පොඩි බේබි' කෙනෙක් බලා ගන්න රස්සවක් ලැබුන නිසා දරුවො දෙන්න ඉස්කෝලෙට භාර දුන්න.


කියන දේ හොඳට අහගෙන කලබලයක් නැතිව මැසිවිල්ලක් නැතිව ආසාවෙන් අකුරු හොයන මේ දරු දෙන්න දිහා කමල ටීච පොඩ්ඩක් විතර විමසිලිමත් උනේ පුංචි වයසට දරාගන්න බැරි තරම් දුකක් විඳින බව ඇස්පනාපිට පෙනෙන නිසාම වෙන්න ඇති.ඉස්පිරිතාලෙ හිටපු තාත්තා ගෙදර ආපු නිසාද කොහෙදෝ අයිය මලෝ සංතෝසෙන් ඉස්කෝලෙ ආවා.


ලස්සන හුරතල් හිනාවකට උරුම කියන පොඩ්ඩගෙ ඇඳුම් පැලඳුම් බොහොම කිලුටු වෙන්නත් හොටු නාවර පෙරන එක,ඔලුව කහන එක වැඩි උනේ එක පාරටම.

'ඇයි පුතේ මේ ඇඳුම..? සෝදලා නෑ නෙ..'

කමල ටීච පොඩි එකා එක්ක දොඩමලු වෙන්න උත්සාහ කලා..

'ම්ම්ම්ම්ම්ම්ම්.........'මේ... අයියා සේදුවා... ඊයෙත්...'

'ඇයි ආච්චි?'

පොඩි එකා ඇඹරෙනව විතරයි... 
උත්තරයක් ගලපගන්නවත් තේරුමක් නෑ තාම...

'ආච්චි වත්තෙ වැඩ කරන්නැතිව ගෙවල් වල ළමයි බලන්න යනව කියල වත්තෙ මහත්තයා ආච්චිව එලෙව්වා....
තාත්තා කිල්නික් යනකොට ඉස්පිරිතාලෙ ඉස්සරහින් මෝටර් බයිසිකලයක් ඇවිල්ල කැඩුන කකුලෙම හැප්පුනා... යකඩ කූර එලියට පැන්නා.. දැං ආයෙ ඉස්පිරිතාලෙ'

ලොකු ළමයයි මේ කියන්නෙ.

'එතකොට කොහෙද පුතේ හිටියෙ?'

'වත්තෙ ගෙදරමයි'

'කාත් එක්කද හිටියෙ? කෑවෙ කොහොමද? එතකොට රෑ..?'

'නැන්ද කෙනෙක් බත් පිඟානක් හවසට ගෙනත් දීල යනවා.
මමයි මල්ලියි ඒක කනව චීච.. 
රෑට බය හිංද පැදුර ගාව කුප්පි ලාම්පුව පත්තු කරගෙන නිදා ගන්නව.'



ගුරු සේවයෙ දශක දෙකකට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ වෙලා හිටියත් කමල ටීචගෙ ඇස් දෙක පෙරලගෙන එන කඳුලු බිංදු නවත්තගන්න බැරිව අසරණව වටපිට බලන ගමන් උගුර පාදලා වත් පපුවයි උගුරයි අතරෙ හිරවුනු ලොකු ගුලිය ගිලගන්න කියලා කමල ටීච අසාර්ථක උත්සාහයක් දැරුවා.

හැමදාම උදේට ප්‍රාථමික අංශයේ ළමයින්ට දෙන ආහාර වේල කොච්චර වටිනවාද කියලා කමල ටීච කල්පනා කලා.. 

මාසෙකට සැරයක් ඉස්කෝලෙට ඇවිල්ල ළමයි බලන වයිද්‍ය සායනේ නිසා ළමයි කීදෙනෙක් සේවයක් ලබනවාද කියලා කමල ටීච කල්පනා කලා...

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නැත්තන් මිනිස්සු කීදෙනෙක් අසරණ වෙනවද කියලා කමල ටීච කල්පනා කලා... 

සීසන් එකෙන්.. නොමිලේ ලැබෙන පොතෙන්.. රෙදි කෑල්ලෙන් පුංචි හදවත් කීයක ලේ ගලන තුවාල සනීප වෙනවද කියලා කමල ටීච කල්පනා කලා..


ඒත් මේ තවත් එක පවුලක කතාවක් විතරයි නේද කියලා කමල ටීචට කල්පනා උනේ තමුන් ඉන්න පැත්තට යාලුවන්ට හොරෙන් එන දහය වසරෙ ළමය දැක්කම.
ටීචගෙ බෑක්කෙකේ දාගෙන හිටපු පුතාගෙ කලිසමකුයි කමිසෙයි දාපු ඉටිකවරෙ ඒ ළමයට දීල කමල ටීච මූණ පසෙකට හරව ගත්තෙ ඒත් එක්කම ගිණියම් හුළඟත් එක්ක හමාගෙන ආපු දූවිලි පාරෙන් බේරෙන්න.

වැහි පොදක සේයාවක් වත් නෑ.... අහස දිහා බලපු ටීචට හිතුනා...


(ප්‍රබන්ධයක් නොවෙයි.)

Friday, March 20, 2015

'ලඹේ හොඳයිද මිස්?'

අළුත් මිස් කෙනෙක් සයිට් එකට එනවා කියන්නෙ PM ලොක්කගෙ ඉඳන් ලේබර් දක්වා හැමෝම සංතෝස වෙන දෙයක් කියල කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ගෑවිලා ඉන්න කෙනෙක් උනත් දන්න සුන්දර සත්‍යක්.
ස්ටාෆ් ඉන්න අය ගොඩක්ම ගණිත අංශයෙන් ඉගන ගත්ත අය නිසා කාන්තා ඇසුර සීමා උන පිරිසක් තමයි සයිට් එකක ඉන්නෙ.අනික උදේ ඉඳං රෑ වෙනකන් වැඩ කරලා රෑටත් අඩියක් ගහල එකමඩේශන් එකේ ඉන්නවා මිසක් ගෙදර යන්න ලැබෙන්නෙ මාසෙකට දවස් දෙක තුනක් නිසා මේවා පුරුෂ ගුහා වගේ වෙලා තියෙන්නෙ.
ඉතින් ට්‍රේනිං හරි ජොබ් එකට හරි අලුතෙන් 'මිස්' කෙනෙක් එනවා කියන්නෙ ඊටත් ලස්සන හැඩ කෙනෙක් එනවා කියන්නෙ සයිට් එකක් රී ෆ්‍රෙශ් වෙන අවස්ථාවක්.

එන 'මිස්' හොඳටම දන්නවා තමන් ට හෙන තැනක් මෙතන තියෙනවා කියලා.ඒක ඉතින් ඉගෙන ගන්න කාලෙම ඉඳන් අත්විඳින දේ නෙ.ඔය එන 'මිස්' ලගෙ ප්‍රධාන සෙට් දෙකක් ඉන්නවා.ඔෆිස් එකේ ගල් වෙන සහ සයිට් බහින තමයි ඒ.
ලොක්කො කැමති ඔෆිස් එකේ ගල් වෙන අයට.සොක්කො කැමති සයිට් බහින අයට.
හැබැයි ගොඩක් වෙලාවට සයිට් බහින්න වෙන්නෙ ට්‍රේනිං අයට තමයි.ජොබ් එකට එන අය ගොඩක් එන්නෙ ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉඳලා කොහොම හරි ඔෆිස් එකේ ගල් වෙන සූත්තර ටික දැනගෙන.

අළුතෙන් කෙනෙක් ආව ගමන් මෙච්චර කල් හිටපු 'මිස්' ලගෙ අවුල් පේන්න ගන්නවා.ඇත්තටම ඔය එන ගොඩ දෙනෙක් යක්කු.ඒත් ගස් නැති රටේ එඬරු ගහත් ගහක් නෙ කියලා කිසි දුකක් නැතිව කටුස්සගෙ කරේ රත්තරන් බඳින්න අපේ අයියලා පැකිලෙන්නෙ නෑ.
ඉතිං මිස් රඟන්න ගන්නවා... එතකොට කස්ටියට එපා වෙනවා.. සිඹින්නො නම් සිඹිනවා.. උන් වත් බයිට් වෙනවා.. අන්තිමට මිස් පච වෙනවා.. අලුත් කෙනෙක් එනවා.. රත්තරන් බඳිනවා...
ඕක තමයි සාමාන්‍යෙන් සිල්ලරට වෙන තත්වෙ.
හොඳ ඩීසන් අය ඉන්නවා බොහොම කලාතුරකින්.එතකොට එයාලට ප්‍රස්න වැඩියි.ඔලුව ලොකු අය කියලා.හෙහ් හෙ...

සමහර මිස් ලා ඇවිත් කාට හරි හේත්තු වෙනවා තමුන්ගෙ ආරක්ශාවට.එයාල දන්නෙම නැතිව ගොදුරු වෙන්නෙ හොඳ බඩුකාර ඉන්ජෙකුට තමයි ගොඩක් වෙලාවට.ටික දවසකින් දෙන්න සයිට් එකේ අහු මුලු වල දඟලන එක සාමාන්‍ය වෙනවා.ඊට පස්සෙ ඉතින් සමහරු සබා (සබ් කන්ට්‍රැක්ටර්) ලගෙ අතින් අතටත් යන්න මැලි වෙන්නෙ නෑ...
දැං ඔන්න කට්ටියම පොලු උස්සගෙන එන්න එපා මඩ ගහනවා කියලා.මේ කියන්නෙ බොහොම සුළුතරයක් කරන නරක වැඩක්.
නමුත් හැමෝගෙම සායම යන කුජීත වැඩක්.
එහෙම අය හිතාගෙන ඉන්නෙ මේවා හෙන රහස් කියලා.
නමුත් හවස බෝතල් කැඩෙන වෙලාවට තමන් රස මවන කතාවක් වෙන බව ඒ සමහර 'මිස්' ලා දන්නෙ නෑ...
ඇයි මම මේවා කියන්නෙ?
කියන්න හේතුවක් තමයි වැටුප දිහා බලාගෙන විතරක් සිවිල් ෆීල්ඩ් එකට එන කෙල්ලො කෙලින පිස්සු දැක්කම මඤ්ඤං වීම.
මේ සයිට් යන අයගෙ ඉන්නව හොඳ මෝඩ අල.පඩියක් නැග ගන්න බැරි,උඩට ගියාම ඔලුව කැරකෙන,දූවිලි සිමෙන්ති දැක්කම ඊයා කියන සෝමාරි එවුන්.. උං නම් වැඩිකල් රැඳෙන්නෙ නෑ..
තමුංගෙ ගරුත්වයත් තියාගෙන වෘත්තියත් බොහොම අගේට කරන 'මිස්' ලා ඉන්න බව මම නැවත නැවතත් කියන්න පැකිලෙන්නෙ නෑ.ඒත් මේ විකාර කරන එවුන් නිසා කට වහගෙන ඉන්නත් බෑ..

මේ කියන්නෙ මමත් හිටපු සයිට් එකක වෙච්ච සිද්ධියක්.

ඔන්න අලුතෙන් 'මිස්' කෙනෙක් ආවා..
මෙයා ටිකක් වෙනස්,හිර ඩෙනිම ගහලා හැඩ පෙනෙන ඇඳලා ඇවිත් හැමෝටම සද්දෙ දානවා.හොඳට පොත් පාඩම් කරගෙන සයිට් එන්නෙ.බී එස් කෝඩ් කට පාඩම්.ලොක්කගෙ ඉඳන් සොක්කව දක්වා හොල්ලන්නයි මෙයා හදන්නෙ.හැමෝම කෙල හැලුවට ගනන් ගන්නෙ වත් නැතුව අමුතුම ලයින් එකක් අල්ලන නිසා කාටවත් මෙයාව සෙට් උනේ නෑ..මෙයාගෙ ලොකුම අවුල තමයි ඕන එකටයි එපා එකටයි හැම එකටම අත දාන්න යන එක.කේලම් මල්ලක් උනා අන්තිමේට.

දවසක් බාසෙකුට කියල බිත්තියක් කපරාදු කරවනවා.. ලඟට වෙලා බනිනවා බල්ලෙකුට වගේ.අරූට කන්න යන්න වත් නෑ වැඩ.
හවස අපිටත් කිණ්ඩිය දැම්මා ඕගොල්ලන්ට වත් කරන්න බැරි වැඩ මම කරන්නෙ.කොහොමද මගෙ වැඩ.. අනං මනං කියලා.
ගෙවන පඩියට වැඩ කලා නම් ඊට වඩා කරවන්න යන්නෙ නෑ මම නම්.මෙයා කොම්පැණියෙන් හොඳ නම ගන්න මිනිස්සු මරවන සීන් එකක් යන්නෙ දැන්.
ඔන්න පහුවදාත් මෙයා ගියා හෙන ලොකු සීන් එකෙන් සයිට් එකට.
මම ඒ වෙලාවෙ ඔෆිස් එකේ..
මෙන්න මේකි එක පාරටම අඬාගෙන දුවගෙන ආවා.. මේසෙකට ඔලුව ගහගෙන අඬනවා වැලහින්න වගේ... මට දැනුනා මොකක් හරි ටොපියක් සෙට් වෙලා තමයි කියලා.QS සෙක්ශන් එකෙන් මිස් කෙනෙක් ගෙනල්ලා මෙයා ලඟින් තියලා මම ගියා අන් ඔෆීශිඅලි සීන් එක හොයන්න..

මෙන්න මේකයි වෙලා තියෙන්නෙ..

කලින් දවසෙ කන්නවත් නැතිව වැඩ කරපු බාස් එදත් වැඩට අහුවෙලා.හැබැයි මිනිහා සූදානමින් ඇවිල්ල තියෙන්නෙ.පලංචිය උඩ වැඩ කරන බාස්ට මේකි බැනලා 'ලඹ නෑ ලඹ නෑ.. කෝ ගන්න.. තියල බලන්න' කියලා. අරුත් ඉතින් පලංචිය උඩ කෙලිං කටිං ඉඳගෙන 'මිස්'ට මූණ දාගෙන

  'ලඹේ හොඳයිද මිස්?'

කියල අහලා.

හැබැයි පොර ඇඳගෙන ඉඳල තියෙන්නෙ ගොල්ෆිය ඉරුණු කලිසමක්.. යටටත් මුකුත් නැතිව..



Friday, March 13, 2015

කොකුන් පිටින් ඈ කිරට ගොසින්නේ





අම්මා සොයනා මා පුතුනේ
නාඬන් මා පුත රත්තරනේ
කොකුන් පිටින් ඈ කිරට ගොසින්නේ
කිරි එරවාගෙන එන්න ගොසින්නේ


පුංචි පැලක පුතු රජකරවන්නට
මැවූ සිහින පොදි බැඳගෙන හදතුල
ඉගිල්ලුනේ දුරු කතරට තනිවී
වැලි කතරේ රන් මසු ඇහිඳින්නට


මව් පිය සෙනෙහේ අයදින පුතු ලොව
මවු සෙනෙහේ නැති අඩුව මකන්නට
මව් වෙන්නම් පුතුනේ මින් මතුවට
පිතු වෙන්නම් පුතුනේ ඔබෙ තනියට


ගස්ලබ්බා ඕලෙවල් කාලෙ ඉස්කෝලෙ තරඟෙකට ලියපු ගීතයක්.පරණ පොත් පත් අවුස්සනකොට හම්බුනේ.. 

Sunday, March 8, 2015

උෂ්ණ ශිරෝමි




අද කොච්චර වතුර බිව්වත් උගුර කට වේලෙන එක නම් අඩු නෑ.වතුර බෝතලයෙන් භාගයකටත් වඩා ආසන්න පැය තුල අඩුවූ බව දකිත්දියි ගීත්ට එහෙම හිතුනෙ.
බෝඩිමට ගිහින් සිගරට් එකක් වත් බිව්ව නම්....
අත්දෙකට හොඳටම දාඩිය දාලා... කකුල් වලටත් එහෙමමයි... සෙරෙප්පු දෙකත් දැං ලිස්සන ගාන...
තව කොච්චර වෙලා මෙහෙම ඉන්නද?..
ඇවිද ඇවිද හිටියා...
ෆෝන් එක ඔහේ... එබුවා...
නර්ස් කෙනෙක් ලඟට ඇවිල්ල කියනකන් දන්නෙ නෑ තහඩු පුටුවට තට්ටු කරමින් හිටපු බව..
ශෙහ්..කොච්චර වෙලාද දන්නෑ..
මොනව උනත් අද නම් මඟින් යන්නෙ නෑ නෑ නෑ................මයි...


පොඩ්ඩක් සංසුන් වෙන්න හිතගෙන දිග හුස්මක් ගත්තු ගීත්ට තමංගෙ ලස්සන පාසල් කාලෙ මතක් උනා.
දෙමවුපියො කොච්චර ආසාවෙන්ද ගීත්ව ඒ කොලෙජ් එකට දැම්මෙ..
නිළ ඇඳුම ඇඳගෙන පාරෙ ඇවිද්දෙ උනත් ටිකක් ආඩම්බරෙන් කියලා පිළිගන්න ගීත් ලැජ්ජ වෙන්නෙ නෑ... දීප්තිමත් අධ්‍යාපන දිවියක් එක්ක හත අට පංති වලට එනකොට ගීත් හැමෝම දන්න අඳුනන චරිතයක්..
අනේ ඒ කාලෙ ඇත්තට...
ගීත්ට චූටියට හිනාවක් ගියා.. ඒත් එක්කම මූණ අඳුරු වෙලා අතින් මූණ පිහගෙනම හිනාව විසිකරලා දැම්මෙ මේ හිනාව හිංද මොනතරම් දේවල් උනාද කියලා මතක් උන නිසා වෙන්න ඇති.



පොතෙ පතේ වැඩ වලට අමතරව කොලෙජ්ජෙකේ අනිත් වැඩ වලටත් සම්බන්ධ වෙන්න ගීත්ට ආරාධනා ගලාගෙන ආවෙ ගීත් බොහොම සමාජශීලී වගේම හුරුබුහුටියට සකසුරුවමට වැඩ කරන නිසා කියලා තමයි එයාල කිව්වෙ.
ඒක ඉතින් බොරුවකුත් නෙමෙයි..
මොකද ගීත් මුල් උන හැම වැඩසටහනක්ම හරිම සාර්ථක උන නිසා.
මේ වගේ කරුණු නිසා ගීත්ට නිතරම ඉන්න උනේ තමන්ට වඩා වයසින් වැඩි පිරිසක් එක්ක.නමුත් අත්දැකීමෙන් වගේම ශරීරයෙනුත් ගීත් වයසට වඩා මෝරලයි හිටියෙ.
සම වයස් කණ්ඩායම් අතර ඉරිසියාවට ලක් වෙන්නත් මේක හේතුවක් උනා.නමුත් ගීත්ට පංතියේ යාලුවො ගැන්සිය එපාම වෙන්න හේතු උනේ එයා නමය වසරෙදි උපන්දිනේ දවසෙ සිද්දවුන දෙයක්.

චොක්ලට් අයිසිං කේක් එක කපලා විශ් කරලා හග් කරලා.. කේක් කාලා කට්ටියම එකතුවෙලා ලස්සනට ඔතපු ගිෆ්ට් එකක් දුන්න හැටි...
සංතොසෙන් ඇස් වල කඳුලු පුරෝගෙන රැපින් කඩපු හැටි...
මුළු ඔක්කොම කෙල්ලො හිනා උනා.....
යස්සනියො...
ගීත් අත් මිටි මෙලවුනා...
එතන තිබුනෙ කාගෙදෝ ඇඳලම පරණ උන ලොකුම ලොකු පෑන්ටියකුයි පරණ ලොකුම ලොකු බ්‍රා එකකුයි..
36 කියල මාකර් පෙන් එකකින් සුදු ගවුමෙ පිටිපස්සෙ එතකොටම එක යස්සනියක් ලිව්වා..

එදා තමයි ගීත් අන්තිමටම ඇඬුවෙ...

ටොයිලට් පැත්තට ගිහිං හිතේ හැටියට අඬලා බෑග් එකෙන් ගවුමෙ ලියපුවා වහගෙන ගෙදර ගිහිං දොර වහගත්තා මතකයි.
රෑ අම්මට උන දේවල් කියනකොටත් ඇඬුනා..
ඒත් එයාල කිව්වෙ මේක පොඩි විහිලුවක් ගණන් ගන්න එපා කියලා.
ඒත් ඒක විහිලුවක් විතරක් නෙමෙයි කියන්න නං ගීත් ට තේරුණා.
කොන්දෙ බලි ඇන්ද කෙල්ලට පපුවකුත් නෑ පස්සකුත් නෑ..
ඒත් ගීත් ගෙ ඇඟ හැඩයි කියල හැමෝම කියනවා...

පංතියෙන් ඈත් වෙන්න ඕන නිසාම ගීත් බෑන්ඩ් එකට සම්බන්ධ උනා...
බොහොම උද්යෝගෙන් පුහුණුවීම් වලට සහභාගී උනා.ඇත්තටම ඒකෙං ඇඟට වගේම හිතටත් ලොකු සහනයක් දැනුනෙ..



උදේ පාන්දර කාටත් කලිං කොලේජ් ඇවිල්ලා එක්සයිස් ටිකක් කරලා ප්‍රැක්ටිස් කරලා වොශ් එකක් දාගෙන පංතියට ගියාම කම්මැලි දැනෙන්නෑ ටිකක් වත්.
මොනවා කළත් පොතේ පතේ වැඩ නං ගීත් අමතක කලේ නෑ.
බෑන්ඩ් එකට කොච්චර ආස උනත් එපා වෙන වෙලාවල් නම් නැත්තෙ නෑ.
පොඩ්ඩක් වැරදුනත් කුණුහරපෙන් බණින ශිරෝමි අක්ක තමයි සැරම.
අනෙක් අයත් එහෙම තමයි.. බෑන්ඩ් එක වෙනුවෙන් නිසා ඉවසලා ඉන්නවා..
ඒත් ශිරෝමි අක්ක මොනව හරි වැරැද්දක් හොයාගෙන ගීත්ට කුණුහරපෙන් බනින එක දැං පුරුද්දක් වෙලාද මංද..
එයාගෙ ෆේවරිට් ස්වීට් ජාතිය තමයි ලොලිපොප්.කොයි වෙලෙත් එකක් කටේ...
ශිරොමි අක්ක පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව.
කාන්තා විමුක්තිය තමයි ආසම මාතෘකාව..
කතාකරන්නෙ දුං විසිවෙන්න.. කොල්ලො කියන්නෙ උෂ්ණ ශිරෝමි කියලා.. ගීත් ල උනත් නැති තැන කිව්වෙ එහෙම.


පුටුවෙ වාඩි වෙලා ඉන්න එක එපාඋන ගීත් ජනේලය ලඟට ගියා.උඩ තට්ටුවෙ ඉඳන් බලනකොට පල්ලෙහා පාර ලස්සනට පේනවා.
හැන්ඩි කොල්ලො දෙන්නෙක් පාරෙන් එහාපැත්තෙ මොකක්දෝ ලොකු කතාවක්..
කෙල්ලෙක් ගැන වෙන්න ඇති.ඔය මෝඩ ජාතියට කෙල්ලෙක්ගෙන් එහා දෙයක් හිතාගන්න පුලුවනැයි..
එකෙකුට මල පැනල වගේ.ඔර්ලෝසුව බල බල දඟලනවා.
උගෙ විකාර දකිනකොට ගීත්ට ආයෙත් පරණ සිද්ධි මතක් වෙන්න පටංගත්තා.



දවසක් ශිරොමි අක්ක ගීත්ට දුන්න නොටේශන් වගයක් හදාගෙන එන්න කියලා..
නරක වෙලාවට පාන්දර ප්‍රැක්ටිස් යනකොට ඒ ටික අරං යන්න ගීත්ට අමතක උනා.
ශිරොමි අක්ක ඒක ගැන අහනකොටයි මතක් උනේ...
ගීත්ට හීන් දාඩිය දැම්මා..
එතෙක් මෙතෙක් අහපු නරකම කතා ටිකක් ශිරොමි අක්කා ඇතුලු පිරිසගෙන් අහගත්තෙ දණ ගහගෙන අත් උස්සගෙන ඉන්න ගමන්.
සෑහෙන වෙලාවක් එහෙම හිටියට පස්සෙ ගීත්ට දඬුවම් කිරීම ශිරොමි අක්ක භාර ගත්තා.
දඬුවම තමයි නොටේශන් ඔක්කොම ලියල දීල ඉවර වෙලා පංතියට යන එක.

බෙල් ගහන්නත් ටික වෙලාවයි..
ඉක්මනට ඉක්මනට ලියන්න පටන්ගත්තත් හිතෙන් නෝට්ස් දාන්න තරම් හැකියාවක් ගීත් ට තිබුනෙ නෑ.
ඒ මදිවට අද මිසුත් නිවාඩු.
මිස් හිටිය නම් කොහොම හරි පංතියට යන්න තිබුනා.
මිස් නැති දවසට බෑන්ඩ් කාමරේ යතුර තිබුනෙ ශිරෝමි අක්ක ලඟ.
අන්තිමට සිද්ධවුනේ ගීත් වයි ශිරෝමි අක්කවයි බෑන්ඩ් රූම් එකට දාල එලියෙන් වහලා අනිත් අය පංති වලට ගිය එක.
මොකද හවසට අනිවාර්යෙන් අලුත් නෝට්ස් ඕන නිසා.

කරන්න දෙයක් නැති තැන පාඩම් වැඩ අමතක කරලා ගීත් නොටේශන් හදන්න ගත්තා.
ශිරෝමි අක්කා ලොලිපොප් එකක් කටේ දාගෙන ගීත් වැඩ කරන දිහා බලන් හිටියා.
දණ ගහගෙන හිටපු නිසා රිදෙන දණිස් අතගගා වැඩ කරනකොට..........
බාම් එකක් අරගෙන ශිරොමි අක්ක ලඟට ආවා.

"කෝ ඉන්න.. මේක ගාපුවාම හරි."

අමුතු කරුණාවන්ත හඬකින් එයා කිව්වා.
අමාරුවෙන් බොටමෙ කකුල් උස්සගෙන ගීත් ඒක ගාන කොට එයා අමුතු විදිහට බලන් හිටියා.
එක පාරටම
"ඔහොම ගාල හරියන්නෑ.. කෝ ඉන්න"
 කියලා එයා ගාන්න පටං ගත්තා...
රටාවකට...
වැරැද්දකුත් කරලා තව පණ්ඩිතකම් කියවන්න බැරි නිසා ගීත් ඔහෙ බලන් හිටියා.

ඒත් ටිකෙන් ටික ශිරෝමි අක්ක වෙනස් වන බවක් ගීත් ට දැනුනා..

කරුණාවෙන් යාලුවෙක් වගේ කතා කරන්න පටංගත්තු එයා අමුතුම සෙල්ලමක් පටන් අරන් හිටියෙ....

ගීත්ට මොනවත් හිතාගන්න වෙලාවක් තිබුනෙ නෑ...

අඩවන් දෑසින් ශිරොමි අක්ක දිහා බලන් ඉන්න එක විතරයි එයාට කරන්න ඉතිරිවුනේ..




'ගුඩුස් ගුඩුස් ගුඩුස්..'
බෝතලේ තිබුන වතුර ටික ඔක්කොම බීගෙන බීගෙන ගිය ගීත් ඔලුව දෑතින්ම බදාගත්තා...
කොච්චර අමතක කරන්න උත්සාහ කළත් අමතක නෙවෙන අත්දැකීම් ගොන්නක ආරම්භයට එදා දවසෙ මුල් ගල් තැබුනා.


ලෝකෙට හොරෙන් අමුතුම රසයක් ගීත්ගෙ ලෝකෙට එකතු උනා...
ශිරොමි අක්කගෙ පෞර්ශයට... ඒ හඬට...
අදහස් වලට ගීත් වශී උනා...
ඊට අමතරව කොහොම හරි දෙන්නා තනි වෙලා මිහිරි මොහොතකට ඉඩ කඩ හදා ගන්නත් අමතක කලේ නෑ.
බෑන්ඩ් එකට අමතරව නිවේදන කටයුතු,කථික,විවාද කටයුතු නිසා ගීත් ටයි ශිරොමි අක්කටයි එකිනෙකාගේ නිවෙස් වලට ගිහින් රාත්‍රී ගත කිරීම පවා පහසුවෙන්ම කර ගන්න ලැබුනා.

කාන්තා විමුක්තිය,ගෘහස්ත හිංසනයට එරෙහි වීම,සමතැන සඳහා හඬ නැගීම බොහොම ජයට කෙරුන නිසා ගීත් ප්‍රදේශය පුරා රිදී සීනුවක් ලෙසින් නමක් දිනාගත්තෙ කොලේජ් එකට පදක්කම් කුසලාන එකපිට එක ගෙන දෙමින්..

අනිත් කෙල්ලො මොනව කිව්වත්...
පාරෙ යනකොට අවලං කොල්ලො ආප්පෙ කියල කෑ ගැහුවත් ගීත්ට ඒවා ගාණක් තිබුනෙ නෑ.
ඇත්තටම අම්ම තාත්ත කියන දෙයක් වත් වැදගත් නොවන අවවාද කරන්න එන අයවත් තර්කයෙන් පරද්දන්න ගීත් පුරුදු උනා.

කාලය වේගයෙන් ගත උනා
විශ්ව විද්‍යාල කියන්නෙ ගෝත්‍රික මතවාද දරන නොදියුනු මිනිස්සු එන තැනක් ය..
නිදහස් චින්තනය අගයන්න එහෙ ඉන්න දේශපාලන අතකොලු දන්නෙ නැති ය..
පුරුෂ ඒකාධිකාරයට විරුද්ධව හඬනගන එකයි උතුම් කියල ශිරෝමි අක්කා ඒ වෙනකොට ක්‍රියාකාරී වෙලා හිටපු එන්.ජී.ඕ. එකෙන් ලොකු හොටෙල් වල කරපු වැඩමුලු වලින් දීපු අදහස් හිස් මුදුනින් පිලිගත්ත ගීත් ඒ වෙනුවෙන්ම කැප උනා.

සිගරට් එක.. හර්බ්.. මේවා ගීත්ගේ ඇඟිලි වලට වේගෙන් හුරු උනා.

ඒත් එකපාරටම ශිරෝමි අක්ක කාටත් නොකියම රට ගියා.

ශිරෝමි අක්ක රට ගියාට පස්සෙ පාලුව මකා ගන්න ක්ලබ් යන එක පුරුද්දක් උනා.
ගීත්ගෙ ඔලුව යකාගෙ කම්මල වගේ උනා.
එල්.එස්.ඩී. දාපු දවසෙ පරණ කාලෙ සැහැල්ලුව හිතට දැනෙනන් ගත්ත වගේම කාමරේ හිටපු හැම ගෑණු ළමයම ශිරොමි අක්ක වගේත් ගීත්ට පෙනෙන්න පටන් ගත්තා...

මොනව උනත් ලංකාවෙ ඉන්න ගමන් උපාධියක් හදාරන්න පටන් ගත්ත කාලෙ තමයි ශිරෝමි අක්ක වෙනස් උනේ...
එයා ගීත් ටත් නොකියම රට ගියේ ගීත්ව හොඳටම අසරණ කරලා.ඒ හිදැස මකා ගන්න ගීත් නොකරපු දෙයක් නැති තරම්..

මෙහෙම යනකොට දවසක් ගෘහස්ත හිංසනයට ලක්වුනු කාන්තාවන් වෙනුවෙන් ගීත්ගේ සංවිධනයෙන් පැවතුනු වැඩසටහනක් අවසානයෙ ඒ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පැමිණි වයෝවෘද්ධ නීති නිලධාරිනිය ගීත් ගැන හොයල බලුවෙ අම්ම කෙනෙක් වගේ.
ගෙදරින් පිටත් වෙලා සම්බන්ධකම් අතෑරලා හිටපු ගීත්ගෙ  හිස්කම ඇය අඳුන ගත්තා.
ඇයගේ පෙළඹවීමෙන් තමුන්ගෙ මනස නැවත ශක්තිමත් කරගන්න උපදේශන සහය ලබාගන්න ගීත් කැමති උනා..



ඔන්න දැන් නම් බලා හිටියා ඇති...
වෙනස් වෙන්න සූදානම් ගීත්ට පොඩි සහයයි ඕන වෙන්නෙ...
ජනෙල් පඩියට අත් දෙකින්ම බර වෙලා ගීත් ලොකු හුස්මක් හෙලුවා...

"මිස් ඔයාගෙ වෙලාව.."

ලස්සන නර්ස් කිව්වෙ උරහිසට අතක් තියල කල්පනා ලොකෙන් ගීත්ව අවදි කරමින්.


උගුර පාදගෙන හොඳ හුස්මක් අරන් .. බෑගයේ තිබුනු චූටි කණ්නාඩියෙන් බලාගෙන කොණ්ඩයත් සකසගෙන ගීත් කාමරයට ඇතුල් උනා...

තමාට පිටුපස හරවගෙන ෆිල්ටරෙන් වතුර එකක් පුරව ගත්තු උපදේශක වරියට ඇත්තටම ලස්සන හැඩයක් තියෙන බව ගීත්ට පෙනුනා...

පිලිවෙලට අස්කරපු මේසෙ පැත්තකින් ලස්සන පාට පාට ලොලිපොප් පිරුනු දීසියක් තියලා තිබුනා

Monday, March 2, 2015

ඒ වගත් මෙසේම - මේ වගත් එසේම




"ගෙදෙරෙ කවුදේ.....?????"
"ගෙදෙරෙ කවුදේ.....?????..................."

භව් ... භව්....වාආඅව් භව්..

මහත් කම්මැලිකමකින් හිස ඔසවා බලන රංදික ට ගේට්ටුව අසල මල්ලක් තුරුල් කරගත් ගැහැණියක් හඬ නඟනවා පෙනුනි.
බල්ලන්ගේ සැර වැර වලට බියෙන් ඇය, ඇඳ සිටින චීත්තය පොටකින් වැරෙන් අල්ලාගෙන පස්සෙන් පස්සට යනවා දුටු නිසා
'ඔහෙ යන්න යයි' කියා හිස හරවන විටම

"ගෙදෙරෙ කවුද.....?????..........."

හෝන් එක නැවත වාදනය විය.ලේසියෙන් යන පාටක් නෑ...

රංදික අමාරුවෙන් ඉස්තෝප්පුවට පිය මැන්නේ, ලාබ හවුස්කෝට් එකක්,පරණ චීත්තයක් ඇඳගෙන බැගෑපත් බැල්මෙන් තමාවෙත් නෙත් යොමන ස්ත්‍රිය දිටීය.

'මහත්.....' භව්..භව්...

බල්ලන්ගේ කන්දොස්කිරියාව නිසා කී දේ අපැහිදිලි මුත් පුරුද්ද විසින් මෙහෙය වූ රංදික කාමරයට ගොසින් යම් මුදලක් රැගෙන ආවේ ඇය කෙරෙහි අනුකම්පාවක් ඉපදුන නිසාවෙනි.

'කෝ..??? ගිහින්ද?'
තමන්ටම කොඳුරමින් වට පිට බලන විට බල්ලන්ට නොපෙනෙන්නට මාවතේ අයිනක එකෙල මෙකෙල වෙමින් සිටින ඇය ඔහුගේ නෙතට හසු වින..
සෙමෙන් සෙමෙන් ඇය වෙතටම ගොස් මුදල පිරිනැමූ විට ඇය රංදිකට මහත් යටහත් පහත් බවක් පාමින් දසන් දක්වා දෝතින්ම එය පිලිගත්තාය.

ඒ අතරම..

'අනේ මහත්තයෝ.. අනතුරක් වෙලා පුතා එකතැන් වෙලා... අහක දාන ඇඳුමක් එහෙම ලැබෙනව නම් ලොකු දෙයක්...'
කීවේ හිස පැත්තට ඇලකරමින් බයාදු හඬිනි.

'හ්ම්.. හ්ම්.. ඔහොම ඉමුකෝ..'

රංදික නැවතත් නිවසට විත් පෙරදා සෝදා දැමූ තමාගේ හා පියාගේ ඇඳුම් කීපයක් ගෙන ආවේ කල්පනාවෙන් බරවූ සිතිනි.

මේ වනතුරුත් තම දැඩි මුර කාවල් බිඳකට වත් ලිහිල් කිරීමට අකමැති වූ සුනඛ සේනා තම දේපල අන්සතු කිරීමට නම් තම තදබල විරෝධය පල කළේ නොනවතින බිරුම් කෙඳිරුම් හඬිනි.
එය නොතැකූ රංදික...,

'පුතාට මොකද උනේ..?'

'අනේ මහත්තයෝ බස් එකකට අහුවෙලා.. සුසුම්නාව කැඩිලලු.'

'දැන් ඇවිදින්න බැරිද? රෝද පුටුවකද?'

'නෑ මහත්තයො... ඇඳක වැතිරිලා ඉන්නෙ... දැං ඉතින් බෙහෙත් හේත් කරනෙත් නෑ... කිරිපිටි එකක් බොන එක තමයි කරන්නෙ.'

'මේ ඇඳුම් ඔක්කොම දැනටත් අඳින ඒවා..
ආ.... මෙන්න මේකත් ගන්න..' යි පවසමින් තවත් සුලු මුදලක් ඇය අත තැබීය..

'අනේ ඉස්සර මෙහෙම ඉල්ලන්න ගියේ නෑ... දැං වෙන කරන්න දෙයක් නෑ මහත්තයො..'
බැගෑපත් හඬින් ඇය කෙඳිරීය.

ඇය නොකීවත් ඇගේ තෙත්වූ දෙනෙතින්.. ආත්මානුකම්පාවෙන් මැඩීගිය වතින් ඒ බැව් මොනවට පිලිබිඹු විය.

'මහත්තයා....ම්ම්... ම.. ම්....'

තමන්ගෙ දෙපය දෙස බලනා ඇය අසන කාරණය පැහැදිලිය..

'ඔවු....
මාත් බස් එකකටම තමයි අහු උනේ.. තාම කකුල් ඩැමේජ්.. 
ඇවිදිනකොට කොර ගහන්නෙ ඒකයි..'

කාන්තාව තමන්ට සෙත් පතමින් මොනවදෝ කීවත් ආපසු නිවසට කොර අනින රංදිකට ඒවා ඇසුනේ නැත...

අනතුරෙන් පසු කාලයේ ප්‍රතිකාර කළ සැටි.. 
ගණන් හිලවු නොබලා... උදයක් රැයක් නොබලා... 
වෙහෙසුනු අයුරු...
රැකියාවෙන් රංදික ඉතිරිකරගත් සොච්චමත් වියදම් කිරීමට සිදුවීම නිසා තව තවත් තැවුනු අයුරු...
අදටත් රංදිකට නොපෙනෙන්නට තෙත්වූ නෙතින් ඔහු දෙස බලමින් සුසුම් හෙලන අයුරු...


'අම්මා...'


ගතින් පමණක්ම වෙනස් වන................,නොසිඳෙන නෙතින් යුතු ලොවේ වෙසෙනා සහසක් මව්වරුන් සිහි වී රංදිකගේ රත්වූ නෙත් කෙවෙනි තුලින් කලකට පසු උණු කඳුලක් මෝදුවනු දුටු නිසාදෝ සුනඛ පෝතකයින් නැගූ කූක් කූක් කෙඳිරිය මැකීයන්න සෑහෙන වේලාවක් ගතවූයේ....


(පින්තූරය ගූගල් වෙතිනි)