Friday, June 2, 2017

සුපෙම් හැඟුම් ඔබෙන් එපා....

(අඳුරේ යහන මත ටැබ් එකක තිරය දෙස බලා සිටින දැරියක්)

දිව්‍යා ෆෝන් ස්ක්‍රීන් එක ඕෆ් කලා... ගොඩක් වෙලා තමුන් බලන් හිටිය ඒ රූපය තාමත් හිතේ ඇඳිලා.. ඇස් ඇරල පොඩි කරගෙන ආයෙ පියාගත්තත් පාට පාට බෝල අස්සෙන් මතුවෙන්නෙම ඒ මූණ.
ඔන්න ඔහෙ ඕනදෙයක් වෙන්න කියල රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්නත් හිතෙනවා.. ඒත්... ඒත් ඒකෙන් මොනවගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියල හිතෙනකොට ඒ අදහස ආයෙ අතෑරෙනවා... තමුන්ට නෙමෙයි... මේ රූපෙ හිමිකරුට ප්‍රශ්නයක් වෙයිද කියන එකයි දිව්‍යට තියන ගැටළුව.

අවුරුදු ගාණකට කලින් තමුන් ම සෙල්ලමට වගේ රික්වෙස්ට් එකක් යවපු මේ හාදයා තමුන්ගෙ ජීවිතේට මේ විදිහටම බලපෑමක් වෙයි කියල දිව්‍යා ඒ දවස්වල නම් නිකමටවත් හිතුවෙ නෑ.
කැම්පස් එකෙන් අවුට් වෙලා ගෙදරට වෙලා හිටපු කාලෙ පාළුව යන්නත් එක්ක ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවට... ඕකෙ උඩ පාත ගියාට දන්නෙ නැති මනුස්සයෙකුට රික්වෙස්ට් එකක් දාන්න හිතුනෙ මෙයාට තමයි මුලින්ම.
දැක්ක ගමන්ම ඇහැ නැවතුනා.
ලස්සන කොල්ලෙකුත් නෙමෙයි.
නිකමට හොයල බලන්න හිතුනා..
ප්‍රොෆයිල් එක බලන ගමන්ම රික්වෙස්ට් එක දැම්මා.දවස් කීපයක් ගියා හැබැයි ඇපෲව් වෙන්න.

කොල්ලා පරිස්සං කෙනෙක් වගේම අමුතු කෙනෙක් කියල තේරුනේ තමුන් ෆේක්ද නැද්ද කියල දන්නෙ නැති බව කියලම ඒත් නිදහසේ චැට් එකට ආපු නිසා.

මුල අල්ලලා දීපු ගමන් මුලින් කතා කලේ තමුන්ද එයාද කියලවත් මතක නැතුව මිනිහ බැට්න් එක ගත්තු හැටි... පස්සෙ දිව්‍යම ගනන් උස්සලා ලයින් අල්ලපු හැටි මතක් වෙලා දිව්‍යට පොඩි හිනාවක් ගියා.
මෝඩයා....

ආයෙත් ෆෝන් එක අතට අරන් ඒ මූණ බලන්න ආසාවක් ආවා.
නෑ... බලන්නෑ... එයා... එයා.... ඕන නෑ.
ඇඳ හෙල්ලෙන්නම තරම් හයියෙන් අනිත්පැත්තට හැරිලා වකුටුවෙලා අඳුරෙම ඇස් ඇරගෙන දිව්‍යා වටපිට බැලුවා.කණාමැදිරියො කීප දෙනෙක් එහෙ මෙහෙ පියාඹනවා... මදුරුවො කූං... ගාගෙන යනව ඇහෙනවා.මදුරුවාගෙත් ගෑණු සතාලු මිනිස්සුන්ගෙ ලේ බොන්නෙ.පිරිමි මදුරුවා ගස්වල යුෂ ලු බොන්නෙ.මිනිස්සු වගේම තමා.මිනිස්සුත් මොකක් හරි ගහකින් පෙරාගන්න යුෂකට පුදුම පෙරේතකමක් නෙ තියෙන්නෙ.ගස්වල යුෂ බොයි.කොල පුච්චන් දුම අදියි... පිරිමි ඔක්කොම එකයි.මොලේ ටිකක් කචල්.. හිකිස් ගාල හිනාවක් ආයෙත් කටෙන් පනිනකන්ම දිව්‍යා දන්නෙත් නෑ.

දවස් ගනන් චැට් කරපු හැටි ටිකෙන් ටික මතක් කරනකොටත් ආයෙත් ඒ කාලෙට ගියා වගේයි දිව්‍යට දැනෙන්නෙ.කිසි කලබලයක් නැතුව තමුන්ගෙ හිත ආක්‍රමණය කරලා මාලිගාවකුත් හදාගත්තට ඒ මනුස්සයා හැසිරුනේ මාලිගාවෙ සැප විඳින ගමන්ම තමුන් ඉන්නෙ මාලිගාවෙ නෙමෙයි වගේ විදිහකට නේද කියන එක තවමත් ප්‍රශ්නයක්..
මේ ගතිය නිසාම දිව්‍යා නිතර නිතරම උත්සාහ කලේ එයාට ආගන්තුකයෙකුට වගේ කතා කරන්න.. සලකන්න.. ඒවා එයාගෙ හිත රිදවන කාරණා කියල දැනදැනත් මොකද්දෝ හේතුවකට එයා හිත රිදවගන තරහින් මැසෙජ් එවන දිහා බලන් ඉන්න තමුන් පුරුදු උනා නේද කියලත් දිව්‍යට මතක් උනා.චැට් එකෙන් එහාට හිහින් රෑට කෝල් කරපු කාලෙ හිටපු ගමන්ම බැට්‍රි ලෝ කියල කෝල් කට් කරන එකෙන් දිව්‍යා අමුතු වින්දනයක් ලැබුවා.බොහොම වෙලාවට ඒ කෝල් එකේ තියන හැඟීම්බරම උච්ඡතම මොහොතක...
බොහොම හැඟීම්බර මනුස්සයෙක් උනු එයා එක්ක විනාඩි කීපයක් කතා කරත් තමුන්ගෙ හදගැස්ම වැඩි වෙලා මූණත් රත් වෙලා පිබිදෙන හැටි... ඒත් එක්කම කෝල් කට් කරන එක සිද්ධ උනේ අනාගතේ ගැන දැනුන ඉවකින්වත්ද කියලා ආයෙ ආයෙත් සිහි කරන එක ඔලුවට මහ වදයක් වෙලා තියෙන්නෙ දැන් නම්..

මොනව උනත් දැන් ඒ දේවල් වැඩක් නෑ... යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න පටන්ගත්තෙ දේවල් මේ විදිහට වෙයි කියල හීනෙන් වත් හිතාගෙන නෙමෙයි.යාළු කමින් එහාට යන්න උවමනාවක් නොපෙන්වාම හිටපු නිසා එයත් එහෙම්මම හිටිය වත්ද?
අද දිව්‍යට කොච්චර එයාව මතක් උනත් එයාගෙ ලඟට යන්න බෑනෙ කියල මතක් වෙලා දිග හුස්මක් හෙලුනා.
අවුරුදු ගාණක් කොච්චර කෝල් කලත්,කොච්චර චැට් කලත් ඇත්තටම හම්බවෙලා කතා කලේ එකම එක දවසක් කියන එක විශ්වාස කරන්නෙ මේ ලෝකෙන්ම දෙන්නයි.ඒ දිව්‍යයි එයයි විතරමයි.එච්චරකට අභව්‍ය උනත් ඒ සිදුවීම ඇත්තටම සිද්ධවුනේ එහෙම.
නිදහසේ හම්බවුනු දවසෙත් ඔහේ විකාර කිය කිය හිටිය මිසක් වැදගත් දෙයක් කතා කලේම නෑ... පැය දෙකතුනක් කතා කරනකොට දිව්‍යව ඕන තැනකට ලේසියෙන්ම එක්කගෙන යන්න පුළුවන්කම තිබිලත්,ඒ බව ඇඟවිලත් නොතේරුණා වගේ අතින් විතරක් යන්තන් අල්ලලා වල් කතා ගොඩක් කියලා හිනා වෙවී යන්න ගිය හැටි දිව්‍යා ආසාවෙන් මතක් කලා. ෆෝන් එකේදි තියන දඟකාරකම හැබෑවට හම්බුනාම එලියට දැම්මෙ බොහොම පරිස්සමින්.තමුන්ගෙ ගෞරවේට හානි වන මුකුත් නොවෙන්න හැසිරෙන්න එයා කොච්චර පරිස්සම් උනාද? හැමෝටම පේන ප්‍රසිද්ධ තැනක හමු වෙලා ඒ විදිහටම වෙන් වෙලා ගිය ෆේස් බුක් එකෙන් හම්බුනු එකම ජෝඩුව අපිද?
හැබැයි ගිය වෙලාවෙ ඉඳන් දැකපු දේවල් නොදැකපු දේවල් ඔක්කොම එක්ක කියපු කතා ටික නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි... ඒ කතා මතක්වෙනකොට තමුන්ගෙ කම්මුල් රත් වෙනවා දිව්‍යට දැනුනා.

මොනවද මේ කල්පනා කරන විකාර....

මොනවා උනත් එයා දැන් ගිහිල්ලා ඉවරයි...

හම්බවෙලා ගියාට පස්සෙ උනත් කොච්චර ලංවෙන්න හැදුවත් තමුන් විහින්ම හදාගත්තු බාධක එකක් වත් ලිහිල් කරන්න දිව්‍යා ලෑස්ති උනේ නෑ.එදා මොන දේ වෙන්න ගියත් පාලනය උනේ එයා.දැන් පාලනය වෙන්නෙ මම.ඒ දිව්‍යා හිතපු හැටි.හිටි ගමන් දවස් ගණන් චැට් නොකර ඉන්න පවා තමන් පෙළඹුනේ ඇයි..??

හදිසියෙන්ම දැනුම් දුන්නු එයාගෙ විවාහය ගැන පණිවිඩේ දිව්‍යාව ආයෙ මහ පොළොවට ගෙනාවා.තමුන් වටේ කැරකුනු මංගල යෝජනා අතර එයාවත් කෙනෙක් විදිහට තමුන් තියාගත්තා වගේම එයාටත් ඒක කරන්න සිද්ධවෙන්න ඇති..
හරි ලස්සන කපල් එක..
වෙලාවකට හිත ඉරිසියාවෙන් බර උනත්.... මේ වෙනකොට ගැඹුරට කල්පනා කරන හැකියාවක් දිව්‍යට පුරුදු වෙලා තිබුනෙ ඉලක්කම් ලොකු වෙවී වයසට යන නිසාද නැත්තම් ලැබෙන අත්දැකීම් ප්‍රමාණයත් එක්කද කොහොමද මන්දා ඒ සියළු දේවල් උපේක්ශාවෙන් විඳගන්න දැන් පුළුවන්.

එදා දිව්‍යා පහන්ටැඹක් වෙලා ඈත ඉඳන් නැවකට පාර කියනවා වගේ එයාව ආශ්‍රය කල විදිහ ඒ විදිහටම පිළි අරන් එයා නෞකා චරිතය බාරගත්තා.

නෑ... දිව්‍යා භාර දුන්නා..
නොදැනම.


පහන්ටැඹට ඕනවාට වඩා ලංවෙන මොන නෞකාවටත් වෙන්නෙ ගල්පර වල හැපිලා විනාස වෙන්න.ඒත්.... ආසාවෙන් පාර කියපු ඒ ලස්සනට ගමන් කරන නැව විනාස වෙනව දකින්න දිව්‍යා කැමති උනේ නෑ.
රික්වෙස්ට් එක ඔහේ තිබුනාවෙ.බ්ලොක් නොකර ඉන්නතාක් ඈත ඉඳන් ඒ රූපෙ බලල සැනසෙන්නම්. දිව්‍යට හොඳටම විශ්වාසයි එයත් මේ වෙලාවෙ තමුන් දිහා බලාගෙන ඉන්න බව.


හිත හදාගෙන ඇස් පියාගන්නකොටම බෝඩින් නංගිව නයිට් ශිෆ්ට් එකෙන් පස්සෙ ගෙදරට දාන්න ආපු වාහනේ වාදනය වුනු ගීතය දිව්‍යගෙ දැවෙන හිතට සිසිලසක් දනවන ආලේපයක් උනා..


සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි 'ඔබ' ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම්..

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරුවේ පාළුවෙන්
පිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකිනතුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි 'මා' ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ