Thursday, February 26, 2015

කිති කැවුනා කිති කැවුනා... (ඉවරයි )



දන්නෙම නැතිව තව ඩිංගෙන් මෙගාවක් වෙන්න ගිය කිති කැවුනු කතාවෙ අන්තිම කොටසයි මේ..

(1 මෙතන )
(2 මෙතන )

මගෙ පාට පාට හීන ලෝකෙ ලස්සනම කාලෙ ගැන නෙ කිය කිය හිටියෙ.

මේ තමා මම මතක හිටින කාලෙකින් සතුටින්ම හිටපු කාලෙ... මොන ප්‍රශ්නෙ ආවත් සැහැල්ලුවෙන් මූණ දුන්නා.
ඉස්කොලෙදි උනත් වෙනද ඔරව ඔරව හිටපු එවුන්ටත් 'යන්නං මචං' කියාගෙන හරිම සැහැල්ලුවෙන් හිටියෙ.


ඔන්න විභාගෙට තව සති දෙකයි.ඇත්තම කියනවා නම් තාම මම අච්චු පොත් ටික වත් කියවලා නෑ..
ඒත් ඉතින් අවුලකුත් නෑ..
දැං මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි හිතේ තෙරපෙන හැඟීම ප්‍රකාශ කොරන එක.
'වහෙන් ඔරෝ' කිව්වට මට තේරුණ දෙයක් තමා කෙලිං කතා කරන එකට එයා කැමතියි කියන එක.
ඒත් මේ විභාග අස්සෙ....?
ඒ ළමයා දුර ඉඳන් ඇවිත් බෝඩ් වෙලා ඉන්නෙ ලබු ඇට ගනින්න නෙමෙයි නෙව.

ඉතිං මේක ඔෆීශියලි නොකිව්වට දැං දැං ටිකක් විතර නෝණ්ඩි වෙලත් තියෙන්නෙ.ඔව්වා මෙව්වා කල්පනා කර කර දැං මම ක්ලාස් එකට ගියා.
අදයි තව එක දවසකුයි තමා මේ විදිහට ගියොත් අපි හම්බවෙන්නෙ.
මම සුපුරුදු ගහ යටට ගිහින් බලන් හිටියා එයා පාවෙලා එනකං...

මට පොඩ්ඩක් එහා පැත්තෙ පාරෙන් අනිත් පැත්තෙ දැකලම නැති කොල්ලො සෙට් එකක් ඇවිත් හිටියා.
අපේ ක්ලාස් එකේ උනුත් ගිහින් කතා කර කර හිටියට මට උංගෙ ඇක්ශන් එච්චර ඇල්ලුවෙත් නෑ..
ඒ අතරෙ ක්ලාස් එකේ එකෙක් ඇවිත් වරෙං මචං පාටිය සෙට් කරන්න කියලා මාව ඇතුලට එක්කන් ගියා.

'සීන් එක මොකක්ද බං?'   කියල අහපුවාම
'අල්ලලා දාපං බං.. පිස්සු -ත්තලා'

 කිව්ව නිසා මාත් ඉතිං  අපිට මොටෝ අනුන්ගෙ පොටෝ කියලා අල්ලලා දැම්මා.


මෙච්චර කල් බැන ගත්ත.. බයිට් කර ගත්ත කෙල්ලො කොල්ලො සෙට් වෙලා පුංචි පාටියක් සෙට් කලා.
මේ එකකට වත් එයා සම්බන්ධ නොවුනෙ එදා ටිකක් පමා වෙලා ආපු නිසා කියලයි මතක.

හැබැයි සුපුරුදු කවි පූජාව එදත් කළා.ඒ අතරෙ මම ඇහුවා

'ඔයා කියවනවා නේද? මොකද හිතෙන්නෙ ' කියලා.

ලස්සනට හිනා උනා ඇරෙන්න මුකුත්ම කිව්වෙත් නෑ.හැබැයි මොකක්දෝ නොසන්සුන් ගතියක් නම් තිබුනා.
විපරම් කලාට හේතුවක් දැනුනෙ නෑ...


එදත් ඔන්න ක්ලාස් ඉවර වෙන්නයි යන්නෙ... 
මට දැං කං දෙකත් කූං ගානවා වගේ.. 
මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව.
එතකොටම සර් කිවුවා

'අන්තිම දවසෙ අපි පාටි දාන්න ඕන නෑ.. මෙතන එහා පැත්තෙ පංසලට ගිහිං බෝධි පූජාවක් කරමු' කියලා.

අපි ඔක්කොම එක හඬින් ඒක අනුමත කරන අතරෙ මම හිත්හ ගත්තා 
'අන්න මගෙ වෙලාව' කියලා.

ආ... එදා රෑ පියතුමා එනකන් කොල්ලො හතර පස් දෙනෙක්ම පාටිය ගැන කතා කර කර මගෙ ලඟටම වෙලා හිටපු එකත් වෙනසක් දැනුනෙ නෑ අන්තිම දවස් නිසා.ඇත්තටම අපි සහෝදරයො තරම් කිට්ටු වෙලා හිටියෙ ඒ වෙනකොට.

දවසින් දවස කාලෙ ගෙවිලා ගියා.
පොත් පත් වලට වැඩි අවධානයක් මම දෙන අතරෙ මම ගැන වැඩි අවධානයක් ගෙදරින් ලැබෙන බව මට දැනුනා.
විභාගෙ නිසා කියලයි මට හිතුනෙ.


මම මේ වෙනකොට ප්ලෑන් එකක් හදාගෙන හිටියෙ.
තීරනය කලා විභාගෙ ඉවර වෙනකන් හිටපු විදිහටම ඉන්න.
මොකද එයාටත් විභගෙ අමාරු නොවෙන බව මම තේරුම් අරන් හිටියෙ.
අනිවාර්යෙන් ඒ ලෙවල් ක්ලාස් එන්නෙ මම උදේ හවා යන එන තැනටනෙ.
ඉතිං බොරුවට කලබල වෙන්න ඕන නෑ.


ඔන්න ඉතිං ජීවිතේ ටෙන්ශන් වැඩිම දවස ලං උනා.

සර් එපා කිව්වට හැමෝම සල්ලි දාල කෑම බීම,සර්ට ගිෆ්ටෙකක් එහෙම අරගෙන ක්ලාස් එක පටන් ගත්තා.
සාමාන්‍ය උපදෙස් ටිකක් දීල මොරාල් අප් කරලා සර් පාටියට වෙලාවක් දුන්නා.. 
වැඩේ අහිංසක විදිහට නැගලම ගියා... 

බෝධිපූජාවට යන්න වෙලාවත් ලං වෙනකොට සර් එයාට කිවුවා.. 

'පුතා සිංදුවකුත් කිව්වනම් වැඩේ හරියටම හරි'

අඩේ.... එතකොටයි මම දන්නෙ එයාට සිංදු කියන්න පුලුවං කියලා... 

දේවාලෙ දෙවියන්ට භජන් ගායනා වෙනකොට බැතිමතෙක් ඒක දිහා බලන් ඉන්නවා වගේ මම එයා දියා බලන් හිටියා...

බොහොම ලස්සනට මධුර හඬකින් එයා ගායනා කරනකොට මම ඇත්තටම අමුතු ලෝකෙකට ගියා.

'අප්පච්චී මට තැලුවට දිගට හරහට..
සන්තකටම මට තිබුනේ ඔබගෙ දයාව...'

මොකක් බොල.... 

මේක මේ කිංස්ලි පීරිස්ගෙ බස් සිංදුවක් නෙව.
මොන සික් එක තිබුනත් මේකට නම් කිණ්ඩියක් නොදා බෑ කියලා එයාගෙ මූණ දිහා බලපුවාම.. 
ඒ ලාවට තෙත් උන ඇස් දෙක අමුතු කතාවක් කියන්න හදනවා කියලා හිතුනා...

හ්ම්ම්ම්.... 
'කමක් නෑ.. තව ටික දවසකින් ඔයාට ලෝකයේ ලොකුම සතුට මම දෙනවනෙ' 
කියලා මගෙ හිත හදා ගන්න ට්‍රයි කලත් ලොකු ගලක් හිත උඩට අතෑරියා වගේ බරක් දැනෙන්න ගත්තා.

පුරුදු විදිහටම ඉර අවරට ගිහින් තිබුනා.

බෝධි පූජාව පටන් ගන්න නොහිතූ තරම් වෙලා ගියා.
ඒ අතරෙ එයාව හොයාගන්න කොච්චර බැලුවත් එයා හිටියෙ නෑ... 
මට මිස් උනා වත් ද?
මගෙ ලඟින්ම හිටපු ශුවර්ම කොල්ලට කතා කරලා මම ඇහුවා 

'එයාව දැක්කද?'කියලා. 

ටිකක් මගෙ මූණ දිහා බලන් ඉඳලා ඌ කියපි 

'මාත් දැක්කෙ නම් නෑ..පණිවිඩයක් තියෙනවා නම් කියන්න .. මම කියන්නම්'  කියලා.

'විභාගෙ ඉවර වෙන දවසෙ අහවල් බස් හෝල්ට් එකට මම එනවා.ලොකු දෙයක් කියන්න තියෙනවා කියන්න.'

කියලා කියපු මම ඒ වෙනකොටත් ඇවිත් හිටපු පියතුමා එක්ක ගෙදර ආවෙ ඇවිදින මළමිනියක් වගේ.
වෙනසට හේතුව ක්ලාස් ඉවර උනු එක කියලා ශේප් උනු මම දවසෙ උන දේවල් කොච්චර කල්පනා කලත් පැහැදිලි උනේ නෑ..

හැමෝම මොනව හරි හංගනවා කියලමයි හිතුනෙ.

ඒ මොනවත් ගැන වැඩිය හිතන්න වෙලාවක් ඉතුරු වෙලා තිබුනෙ නෑ ඒ වෙනකොට.
සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න නැහෙනවා මිසක...  

මොනවා උනත් මම ඒ අස්සෙ ෆ්ලෑශ් බෑක් දෙහි මලක් පීස් එක හොයාගෙන අසාමාන්‍ය විදිහට අහන්න පටන් අරන් හිටියෙ.

ඔන්න විභගෙ ඉවර වෙන දවස ආවා.

මම ඉගෙන ගත් පාසලේම විනය අංශයේ මගේ පියතුමා කැපී පෙනෙන චරිතයක් නිසා එදා එයත් ආවා...
මොකද මහා බරක් බිමින් තියන එදා කොල්ලො කස්ටිය සෙට් වෙන්න යොදා ගන්න බව අත් දැකීමෙන් එතුමා දන්න හින්ද වෙන ඕනෙ.

විභාගෙ ඉවර වෙන වෙලාව වෙනකොට මෙන්න පියා ශාලාව ලඟ.

කාල වරෙන්කො බුල්ටො දැං..

මම දැං යන්න ඕනෙ එයාව හම්බ වෙන්න.. 
මගෙ හිතේ තියෙන දේ කියන්න... 
ඒත් දැං මේ මොකද වෙන්න යන්නෙ.. 

හපෝයි... 

විය යුතු නරකම දේ උනා...

පැය දෙක තුනක්ම ඔෆිස් එකේ අස්පස් කිරිලි අනං මනං වලට ගෙවලා දාලා පියාණන්ගේ අත්ඩංගුවේම ගෙදර බලා ඇදුනා.

මේ තත්වෙ පාලනය කොර  ගන්න... 
අඩු ගානෙ එයාට පණිවිඩයක් යවා ගන්න මට බැරි උනා ඔන්න... 

'කොහොමද අපේ පියාණන් ගෙ මොලේ..?'
හැසිරීමෙන් වෙනස දැනෙන්න ඇති.කලබල කලේ නෑ.. 
කිසිම දෙයක් වෙන්න ඉඩක් නම් දුන්නෙ නෑ.

අන්න එදා තමා මගෙ වටේ තියෙන බැමි විලංගු අවබෝධ වෙලා මම ගෙදරින් නිදහස් සටන ආරම්භ කළේ.



නිවාඩු කාලයක් ලැබුනා.. 

ජංගම දුරකථන තිබුනෙත් නෑ.. 
කගෙ වත් අංකයක් තිබුනෙත් නෑ..
එයගෙ බෝඩිම පැත්තෙ හොයල බලපුවාම ගෙදර ගිහිං කියලා ආරංචි උනා.
සීන් එක දැනගෙන හිටියෙ එකම එකයි... ඌත් අතුරු දහන් වෙලා වගේ.. 

දින සති ගෙවිල ගියා... 
මාත් ඔහේ කල් ගත කලා.. 


ඔන්න දවසක් ටවුන් එකෙං අර මිත්‍රයා හම්බ උනා.. 

'උඹෙ අම්** ...' කියල පටං අරන් සෑ හෙන වෙලාවක් මූ මට බැන්නා. 
මමත් අහගෙන හිටියා... 
අන්තිමේදි මම ඇහුවා කෝ එයා කියලා.. 

මෙන්න මෙහෙමයි මූ මට කියපුවාගෙ අදහස.
.............................................................................

'යකෝ ගස් ලබ්බො,උඹ ඕකිට ට්‍රයි කියලා අපිට ටික දවසකින්ම දැනුනා.
ඒත් අපි කවුරුත් ඒ ගැන වචනයක් වත් නොකිව්වෙ ඒ වෙනකොට ඒකිට 'අහවලා' බැහැලම ට්‍රයි නිසා. 

{'අහවලා' යනු ඉතාමත් දරුණු මිනිසුන් සඳහාම ප්‍රසිද්ධ ගමක කෙරුමාගේ.. කොරන පුතා ය.ගමේ එකෙකුට කේස් එකක් නම් බහින්නේ බස් පිටින් ය.ගුණක් අගුණක් නැත.වතු සංස්කෘතියටත් වඩා චාටර් ය}

එයත් සද්ද නැතිව හිටියෙ ඒකයි.
උඹට ගේම දෙන්න 'අහවලා' කීප සැරයක් ආවත් අපි උඹට නොදැනෙන්න ශේප් කලේ උඹ අහිංසකයෙක් හිංදයි.
එහෙම එකෙක් පැටලුනොත් අපිත් මැදිවෙන නිසා එයාත් ගොඩක් පරිස්සමින් හිටියෙ.
ඒත් අන්තිමේදි එයා තීරණයක් අරන් තිබුනා.
මාත් එක්කම උඹ කියපු තැනට ඇවිල්ලා පැය දෙකක් බලන් හිටියා මචං.
'අතක් පයක් කැඩුවොත් උඹේ අනාගතේ අඳුරු වෙනව කියලලු හිටියෙ.දැං බයක් නෑ ලු... ඉතුරු ටික උඹ බලාගනියි කියලා විශ්වාසයි ලු...' 
ඔව්වා කිය කිය ඉඳලා... 

'මම යනවා.. මම බලන් හිටියා.තවත් බෑ' කියල ගියා බං.. 

දැං ඉතිං උඹ පරක්කුයි.ආයෙ විස්තර හොයන්නත් එපා.කරදර කරන්නත් එපා බං... එයාට කරදර වෙන එක ශුවර්. 
මම කියන දේ අහල අමතක කරපන්'

................................................................................................


මේ වන විට එයා ටීච කෙනෙක් ලු. මට කිව්වෙත් පස්සෙ බොක්කෙ ෆිට් එකක් උනු 'අහවලා' ගෙ යාලුවෙක්.හැබැහි එතනින් එහාට කිසිම තොරතුරක් හොයන්න බැරි වෙන්නම එයා අතුරුදහන්.




දැං අවුරුදු පහලවක් විතර ඇති වෙලා.ඒත් තාම මට අමතක කරන්න බෑ... 

ඒක ආදරයක්ද? නැත්තම් ආකර්ශනයක් විතරද?

ආදරයක් නෙමෙයි නිසාද ඒ දවස් වල මගෙ උනන්දුව මදි කියලා හිතෙන්නෙ?

ආකර්ශනයක් විතරක් නම් ඇයි අදටත් මගෙ පපුවෙ ඇමිනිනු කට්ටක් වගේ සැරින් සැරේ කෙවෙන්නෙ?

ඇත්තටම එයා මාව මඟ ඇරියේ මම වෙනුවෙන් ද? 

හැබැයි මම අදටත් කැමතියි එයාව එක මොහොතකට හරි හම්බවෙලා කතා කරන්න.. 
එතකොට වත් කිංස්ලිගෙ ගී හඬ, චූටි ටීචලාගෙ රූප මාව ගල් කරන එක නවතියි...

(එයා ටිකක් අනුෂ්කා ශර්මා වගේ.Rab ne bana di jodi බලන්න ගිහිං මට ෆිල්ම් එක බලන්නත් බැරි උනා.)

Tuesday, February 24, 2015

කිති කැවුනා කිති කැවුනා (2)



(1 මෙතන )


කිය කිය හිටියෙ නයිට් ක්ලාස් එකේ පලවෙනි දවස ගැන නෙ.
මම හිටපු හරිය ටිකක් කලුවර ගතියකුත් තිබුනා.
මම තාම පස්ස බලාගෙන.

"කලුවරේ ඉඳලා නින්ද යයි.. එන්න මේ එලිය තියෙන තැනකට"

සර් ගෙ හඬ ඇහෙන්නෙ.මම තාමත් පස්ස බලාගෙන.හෙමින් සැරේ ඉස්සරහ බලනකොට ආයෙත් හැමෝම මහ හයියෙන් හිනා උනා.හුඟක්ම මගෙන් බයිට් උන කෙල්ලො...

එතකොටම දැක්කෙ ලයිට් එක තියෙන්නෙත් එයා ඉන්න තැනමයි.
කොහොමත් මගෙ එලිය තිබුනෙ එතන විතරයි.
පළඟැටියා පහනට ඇදෙනවා වගේ මමත් ගිහින් එයාගෙ පිටිපස්සෙන්ම බංකුවට බර දුන්නා...

ම්ම්ම්.... සුවඳ......

අමුතු සුවඳක් තියෙන ෂැම්පු එකක් ගාල තියෙන්නෙ..
තාම මතකයි ඒ සුවඳ..

මේ ක්ලාස් එකේ කරන්නෙ පේපර් වලට වෙලාවට උත්තර ලියලා,බලලා,සාකච්ඡා කරන එක.
නැගල යන වැඩේ.ඔන්න පේපරේට උත්තර ලියල වෙලාව ඉවර උනා නෙ.
සර් කියපි "දැං ඉස්සරහ බංකුවයි පිටිපස්සෙ බංකුවයි උත්තර පත්තර මාරු කර ගන්න" කියලා.
ආයෙ මට ඉතිං.... සංතෝසෙ කං දෙකෙං බේරෙනවා..
දැං කොහොමත් කතා කරන්න පුලුවං නෙ.
ඇත්තටම එයා ලස්සනයි.
හරිම ලස්සන හිනාවක් තියෙන්නෙ.
පේපර් එක මාරු කරගෙන මූණට වැටුනු කෙස් රොදක් දකුණු අතින් කන අස්සට යවන ගමන් ලාවට හිනා උනා...........
මම ගල් උනා..
එයා කතා කරන හැම මොහොතකම හිනා උනා..
මම ගල් උනා..


කොහොම හරි එදා ක්ලාස් ඉවර උනා.ඉවර වෙලා කථා කරන්නත් හිතුනා.. ඒත්...
එහෙම හරි නෑ නෙ.මගෙ රැස් වලල්ලට මොකද වෙන්නෙ එතකොට.. හ්ම්ම්...
අනිත් දවසෙම කතා කරනවා..කියලා ලොකු සීන් එකේ එලියට බහින කොටම මෙන්න මගෙ පියතුමා ඇවිල්ලා.
මහ රෑ නිසා දක්කං යන්න ඇවිත්.
දැං ඉතින් මක් කොරන්නද... විස්තර ටිකක් හොයා ගන්නම් කියල හිටියා ඒකටත් කෙල උනා නෙව.
පුදුම තරහක් ආවෙ.ගෙදර යනකල්ම කතාවත් කලේ නැද්ද කොහොද මම.
පවු ඉතින්... පියතුමා මක් කොරන්නද කොල්ල තිරිහං උනාට.


රායිට්.....
අන්න නිදි නැති රාත්‍රිය අංක එක.
මේකි පුදුම වදයක් නෙව දුන්නෙ.
නින්ද යාගෙන එනකොට හිනා වෙලා මගෙ දිහා බලනවා.පපුව ගැහෙන හිටු කියලා.
බැරිම තැන ගත්තා කොලයක්.
රැක් එකේ තිබුනු කලිසමේ සාක්කුවට අත දාල ගත්ත පෑනත්.
හිතට ආපු හැඟීම් දැම්ම කොලේට..
හැබැයි පට්ට කලුවර.ලයිට් දැම්මෙත් නෑ..කලුවර දැනුනෙත් නෑ..
මේ විදිහට හැම රැයකම කවි ලියැවුනා.. උදේ පාංදරත් ලියැවුනා..
ඔක්කොම පොත් අස්සෙ හංගලා පස්සෙ තනියම කියවනවා.අන්න එහෙම තමයි කොල්ලා පාඩම් කලේ.

ඇඟිලි ගැන ගැන හිටියෙ ඊලඟට ක්ලාස් යන දවස වෙනකං..
ඔන්න හෙට යන්නෙ කියලා ගියා අක්කගෙ කාමරේට.පාට පාට පෑං දෙකතුනකුයි කැපිලා අහක් උන පාට පාට ඒෆෝ කොල කෑලි ටිකකුයි අරන් ඇවිත් හැංගුවා.
ඊයෙ පෙරේද ඉඳං රෑට ඇහැරගෙන පාඩං කරන කොල්ලට අම්ම කෝපි එකකුත් උණුවතුර බෝත්ලේකට දාල දුන්නා.
අම්ම දන්නවැයි මම මක්ක කොරනවාද කියලා.
මුලු රෑම කරපු එකම වැඩේ තමයි අර කවි කෑලි කොල කෑලි වලට අරන් මගෙ නුහුරු නුපුරුදු පාට පාට හීනෙ හැඩ කරපු එක....
ම්ම්ම්ම්..... ඇස් වහගෙන.... තනියම හිනා වෙවී....
කවුරු හරි දැක්කනං අංගොඩින් මෙහා නවතිනෑ.. සුවර්..!


කොහොමිං කොහොමිං හරි දෙවනි දවසෙත් ක්ලාස් යනකොට මම පරක්කුයි.
හැබැයි අනං මනං නෑ පැණිහැලිය හොයාගෙනම ඇඹලයා ගියා.
කොතෙන්ට ගියත් ඉඩක් ලැබෙන නිසා (ඒ කාලෙ ) අවුලක් උනෙත් නෑ..

එයා හිටපු බංකුවෙ හිටියෙ එයාගෙ යාලුවො විතරයි.
පිටිපස්සෙ බංකුවෙ.. ඒ කියන්නෙ මම දැං ඉන්න එකේ ඉන්නෙ යාලුවන්ගෙ යාලුවෝ විතරයි.ආයෙ වෙන මොනවද ඉතිං... දෙන දෙයියො බන්දේසියෙ තියලම දීලා..
ඔන්න පේපර් මාරු කරන වෙලාව..
කවි ටික මේකට දාල දෙනවද... නැද්ද..දාල දෙනවද... නැද්ද..
නෑ...එහෙම දෙන්නෙ නෑ.. 
මේකි කෑ ගැහුවොතින් හතර විලි ලැජ්ජාවක් වෙන්නෙ..
පෙනුමෙන් ශාන්ත දාන්ත උනාට 'සේෆ්ටි ෆස්ට්' කියනවනෙ.

ක්ලාස් ඉවර වෙන්න මොහොතකට කලින් මම එයාගෙ පෙන්සිල් කේස් එක ඉල්ල ගත්තා.
(ඊට කලින් වතුර ඉල්ලගෙන බීලා.. පෑනක් ඉල්ලගෙන වගේ වට පිට තත්වෙ නෝමල් කරන් හිටියෙ ) කාටවත් පේන්නැතිව ඒකට බඩු ටික දාලා මුකුත් දන්නැති සතා වගේ මම ආවා.
එයාගෙ ගෙවල් ගොඩක් ඈත..බෝඩ් වෙලා තමයි සෙන්ට්‍රල් එකට යන්නෙ කියල එහෙම දැං කොල්ලා දන්නවා.
ඇස් දෙකෙන් පිහදාල එකතු කරගත් එයාගෙ රූප ටිකත් හිතේ ගුලි කරන් ගියා ගෙදර පියතුමා එක්ක.


ඔන්න අමාරුම හරිය... 
සතියක් කල් ගත කරන එක.
අනික කාටවත් කියලත් නෑ නෙ සීන් එක.
හරිම අමාරුයි හිර කරන් ඉන්න.ඉතිං පීඩනේ අඩු කර ගන්න ආයෙත් කවි ම තමයි.


ඊලඟ දවසෙ ක්ලාස් යන්න නිකං මොකද්ද මොකද්ද වගේ.. 
නොගිහිනුත් බෑ.. 
වැඩේ නෝණ්ඩිද දන්නෙත් නෑ..
ඕන එකක් සිලිං දෙකයි කියලා කොල්ල ටිකක් කලිං ගියා.
ගිහිං ඉව අල්ලල බැලුවා.අවුලක් නෑ වගේ.... 

අන්න එනව හෙමිං හෙමිං... 
එනවද පාවෙනවද...
ඒ වගේ සීන් ස්ලෝමෝශන් වෙලා ටාගට් එක විතරක් ෆෝකස් වෙලා අනිත් අය බ්ලොට් වෙලා පේන හේතුව අදටත් මට තේරෙන්නෙ නෑ...
එයා මම හිටගෙන හිටපු ගහ යටින් හැරිලා ක්ලාස් එකට යන ගමං ඇස් කොනෙන් බලලා නහය පුංචි කරලා බලපු බැල්ම..... 

& අලේ..... මම රාත්‍රිය.. උනා නම්...&

අවුලක් නෑ.. හෙහ් හේ.... 

& මගෙ ලෝකේ මං සක්කර දෙයියෝ...සුර ලෝකේ හීන මවන්නේ...&

දැං බොහොම සංතොසෙන් කල් ගත කරන්නෙ... 
හැම සතියෙම කවි දෙනවා... මගෙ පේපරේ එයා බලනවා... 
ඒත් එයාගෙ එක පේපර් එකක් මම බැලුවෙ පලවෙනි දවසෙ විතරයි.ආයෙ මට දුන්නෙ නෑ..
මට ගානකුත් නෑ ඉතිං..
එයා මගෙ ගණනුයි කවියි දෙකම බලනවානෙ..
ඔහොම සති ගානක් ගෙවුනා.... 

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

(3 මෙතන )

තරහා අවසර...
හුම්මක් කටක් අරං හෙම ඉතුරු ටික හෙට කියඤ්ඤං හොඳේ... වැරදි අඩුපාඩු කියාදෙනවනං බොහොම වටිනවා.
(පිංතූරෙ ගූ ගල් අස්සෙන්.)

Monday, February 23, 2015

කිති කැවුනා... කිති කැවුනා...



ඒ දවස් වල මම ඕ ලෙවල්.පිරිමි පාසලකට ගිය මට ඇත්තටම කෙල්ලො කියන සබ්ජෙක්ට් එක මැජික්.විශය බාහිර කටයුතු කරන්නම ඉස්කෝලෙ ගිය මට ලකුණු අඩු වුනු එක අවුලක් නැතත් ගෙදරට අවුල් උන නිසා වදෙන් පොරෙන් ගණන් පංතියකට යන්න උනා.හැබැයි කි.මී5ක් දුරින් තියෙන පුරුදු නගරෙට නෙමෙයි කි.මී 10ක් විතර ඈතින් තියෙන උප නගරෙකට.ටියුශන් සර් සහ ගුරුවරයෙක් ම උනු මගෙ පියතුමා අතර තිබුනු සුහද බව ඒකට හේතු වෙන්න ඇති.
මේ ක්ලාස් එකට කෙල්ලොත් එනවා කොල්ලොත් එනවා.මම අයිනක් අල්ලන් වාඩි වෙලා ගාණක් දෙකක් එහෙම හැදුවා නිකං හීනෙන් වගේ.ඇයි...ගවුං ඇඳපු අමුතු සත්තු ජාතියක් හැමතැනම නෙ.ඔලුව හොල්ලන්නැතිව වට පිට බලන්න ගිහින්ම ඇස් දෙක රිදෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
ඉන්ටවල් එකේදි රැග් එකට වගේ ටෝක් කරන්න ආපු අයත් විදුහලේ නම ඇහිලා කුතුහලයෙන් මාරු වෙලා ගියා මෙවුං මොකො අපේ ඒවට එන්නෙ කියාගෙන.එහෙං මෙහෙං හිත් හොඳ කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් උන නිසා ලොකු අවුලක් උනෙ නෑ..
දැං ඔන්න ඔය විදිහට හැම සතිඅන්තෙම මම තනියෙං ක්ලාස් යනවා... එනවා.අවුලකට තිබුනෙ කෙල්ලංගෙ කං කරච්චලේ විතරයි.මගෙ කනට කොහොමත් හුරුම නෑ ඒ කච කචේ.වැඩත් හොඳට කරන සහ අඩු කතාබහ නිසා ක්ලාස් එකේ අමුතු තැනක් මට තිබුනෙ.
ඔන්න ඉතිං එක සැරයක් මුලු දවසම ක්ලාස් තිබුන දවසක ඉන්ටවල් එකේ කෙල්ලො විතරක් ඇතුලෙ ඉන්න වෙලාවක මම බෑග් එකෙන් මොනවහරි ගන්න ඇතුලට ගියා.

"අන්න යුනිෆෝම් ඇවිල්ලා."
"පයිතගරස් කියලද දන්නෑ හිතං ඉන්නෙ." 

යකෝ මුං මට නෙවෙ කියන්නෙ මේ.
විලි ලැජ්ජාවයි ආත්මානුකම්පාවකුයි ආවා එකපාරම.
පඩ කෙල්ලන්ට ලොකු රැවිල්ලකින් ප්‍රතිචාර දක්වලා මම ඉක්මනට එලියට පැන ගත්තා.. උං කියපු එක දෙයක් ඇත්ත.මම හැමදාම ඇන්දෙ එකම කමිසෙයි කලිසමයි.
මටත් ඒක ඒ වෙනකන් නිච්චි උනේ නෑ... හැබැයි මාත් අනිත් සතියෙ ඉඳන් වෙනස් උනා.
ගේම නං ගේම.
තෝර ගත්තෙ කට සැරම කෙල්ලව.
දුන්නා රිදෙන බයිට් එක දිගටම...
සමහර වෙලාවට සර්ට පවා මැදිහත් වෙන්න උනා.
දැං ඉතින් මම ක්ලාස් යන්නෙ හෙන ෆිට් එකේ.යාලුවො සෙට් එකකුත් හැදුනා...

විභාගෙත් ලං උනා.ඒ අතරෙ සර් නයිට් ක්ලාස් එකක් පටං ගත්තා විශේෂ පිරිසකට.
ඔව් ඔව්...මමත් ඇතුලත්ව.
ඔන්න ඕක තමයි.... ක්ලාස් එක....

ගං වලිං ආපු ලස්සන ලස්සන කෙල්ලො රංචු අතරෙ කිසිම කෙල්ලෙක් මගෙ ප්‍රතිවාදියා කියන තැනෙන් එහාට යන්න සමත් වෙලා තිබුනෙ නෑ..
ඒත්... ඒත් එදා.. නයිට් ක්ලාස් පටං ගත්ත දවසෙ...

මම ගියේ ටිකක් පමා වෙලා.පස්සෙම බංකුවකට බර වෙලා නිදහසේ වට පිට බැලුවෙ දැං ඉතින් මැජික් දැකලා පුරුදු නිසා...

හෝව්..හෝව්... කවුද බොලේ මේ..
මට පේන්නෙ පිටුපස දර්ශනේ විතරයි.
දිගම දිග කොණ්ඩෙ...
ලාවට ගොතලා...
තාම වතුර බිංදු වැටෙනවා..
දිග වැඩි නිසා කරේ තියාගෙන.
කොල පාට මල් මල් චීත්ත ගවුමක්...
ම්ම්ම්... පැත්තට හැරෙනකොට පෙනෙන අමුතුම මුව මඩල...
කලුවර වැටීගෙන එන හැන්දෑවෙ හීතල හුලඟක් වත් නැතිව ඇඟේ හිරිගඩු පිපුනා...
එක සැරේටම ලොකු හිනාවක් ඇහුනා.
බලනකොට සර් සෑහෙන වෙලාවක් මගෙ දිහා බලන් ඉඳලා....
හුණු කෑල්ලකුත් එවලා.. මට ඒත් දැනිලා නෑ..
හපෝයි....
හිනා උනේ මට නෙමෙයි වගේ මම පස්ස හැරිලා හිස් බිත්තිය දිහා බලන්න පටං ගත්තෙත්......එයා හිනාවට හේතුව හොයන්න පස්ස බලන්න පටං ගත්තෙත් එකම වෙලාවෙ...



හ්ම්... ඉතිරිය තව පෝස්ටුවකින් දාඤ්ඤං හොඳේ...
(2 මෙතන )

Saturday, February 21, 2015

කඩුවෙන් කොටා කුඩු ගැසීම


මේක ටික කාලෙකට කලින් උන වැඩක් ඔන්න.ඒ දවස් වල මම වැඩ කළේ බොරැල්ල වනාතමුල්ල ඇතුලෙ සයිට් එකක.

එදා= ඉරිදා දවසක්
වෙලාව= රෑ 8.00 ට විතර

 සති අන්තය නිවඩුවක් විදිහට අරගෙන සඳුදා උදේ ඉඳන් වැඩ කරන්න සයිට් එකට යන ගමන් මම හිටියෙ.බොරැල්ලෙන්ම හම්බුනා සයිට් එකේම වැඩ කරන ටයිල් බාස් ල දෙන්නෙක්.මොනව උනත් යුතුකම් දන්න මිනිස්සු.මගෙ බෑග් එකට බියර් කෑන්1යි එයාලට කාල් දෙකයි. මම ගානෙ වඩෙයි රන්පත්‍රයි.

                                            පට්ට පාලු වනාතෙ පාරවල් දිගේ සන්නද්ධ අපි ඉවසිල්ලක් නැතිව ස්යිට් එකට යනවා.ඔය යන පාරෙ තියෙනවා ලොකු ඉඩ කඩ තියෙන වංගුවක්.. ඔව්..ඔව්.. වන් බම්ප් ගහන්නයි වාහන යන්නයි එකපාරෙම පුලුවන්.
මෙන්න යකෝ මෙතන ලොකු ප්‍රාඩෝ එකක්..
අර මක්කෙයි ඒ කියලා ඇතුලට බැල්මට් එකක් දැම්මා..
ඇතුලෙ මොනව හරී......
හික් හික්.. කැත හිත නෙමෙයි..හුදෙක් කුතුහලය මෙයා..හුදෙක් කුතුහලය.

                                මෙන්න  මේකෙ හොර හරක් පටවලා වගේ මිනිස්සු පුරවලා..
අඩුම දහයක් පහලවක් වත් හිටිය ඔන්න..
 "මේ බලහං"
 කියලා බාසට කියන්න හදන කොටම අත අහුවුනා දඬු අඬුවකට..

දැං නම් වැඩේ අවුල්...

හයේ හතරෙ ඩයල් සෙට් එකක් කොහෙන්දෝ මතුවෙලා අපිව අල්ලගෙන..
දැං මේ යෝධයෝ දාහක් ප්‍රස්න...

ඇඟ සීතල වෙලා උගුර කට වේලිලා..
කලුවරේ පැත්තක හිටපු එකෙක් කියපි
"දා ගනින් මුං ටිකත් ඇතුලට" කියලා.

ඒ පාර නං කොල්ලට තද උනා..
සාමයට කැමතියි කියන්නෙ යුද්ධ කරන්නෑ කියන එක නෙමෙයිනෙ..
හොඳ හුස්මක් ගත්තා..
කීප සැරයක් ඇහිපිය ගැහුවා...
එල්ලි එලිලි තිබුන පුරුස ධහිරිය (පුරුස සක්තිය නෙමෙයි ) ඇඟට අරගෙන..
මරාගෙන මැරෙමි කියලා.. පහර දුන්නා....
කටිං තමයි අයුබොවං...

මොකො මුංගෙ ටී ෂර්ට් අස්සෙන් කට පුංචලත් එබිලා බලනවානෙ..

එදා ඒ වෙලාවෙ අපේ යුද්ධෙ ඇහුන නං රැජිනට, අද එංගලංතෙ රජ කොරන්නෙ රැජින නෙමෙයි...
මෙන්න කැට..

දෙක කියනකොට යෝධයො ඇඹරුනා... ඔව්..ඔව්... ඇඹරුනා..

සුද්දාගෙ කඩ්ඩෙ අගේ හරියටම මට තෙරුනෙ එදා...
හ්ම්.............

මෙයාලා වලාන ඇක්සයිස් නාකොටික්කොලු...

ඒක අහලා බෑග් එකේ බියර් එකත් උණු උනා ඔන්න..
කටට ආපු හදවත ආපහු ගිලල එහෙම අනිත් අය කෝ කියල බැලුවා.

බාස්ලා දෙන්නා ඒ අස්සෙ වැඩේ අනාගෙන.
බොරු කියලා මාට්ටු වෙලා. 
අයි ඩී එකේ එක නමක්.. මුන් කියන්නෙ වෙන නමක්..
හත්පොලේ ගා ගෙන..

දැං මෙයාලව දාලා යන්නත් බෑ..
මම ආයෙ ටෝක්ස් ඉශූ කරනව.. 
ඔන්න ඉතින් කරුමේ පැටවු ගහනවා කියන්නෙ එක යෝධයෙකුට ආයෙ මල පැන්නනෙ.. 
"සර්.."
"දාමු මුං තුන්දෙනා දොස්තරට" කිවුවා.

මාත් හරි එහෙනං කිව්වා.. මොකෝ අපි බීලත් නෑ.. ගංජ ගහලත් නෑ.. (ඒ වෙලාවෙ )
මෙයාල හොයන්නෙත් කුඩු විතරයි කිව්වනෙ.
දැං ඔන්න 

"දොස්තර වරෙං..??" කිව්වා.

හපෝයි දෙයියනේ දොස්තර දැක්කම ඇස් දෙක දොට්ට පැන්නා.නිල් පාට ගල් ශෝටකුයි හඩු ඉස්කිනියකුයි ගහපු එකෙක් ආවා කාණුව අයිනෙ ඉඳං.
දැං මුට දිව දික් කොරලා පෙන්නන්න ඕනෙ.
මම නේද.. හෙහ්....මම ආපහු කෙටුවා.. රැජිනගෙ රස්නෙට මුවා වෙලා මගෙ ශ්‍රී දිව පෙන්නන්නැතිව ගොඩගියා.
ඒත් එක බාසෙක් කොටු උනා.. 
ඌ කුඩු ගහන්න තියා දැකලත් නෑ කියලා මට සුවර්.. 
ඒත් දොස්තර බිල්ලා ඔලුව වැනුවා.
බාසා ප්‍රාඩෝවට පැටවුනා..  
එතන හිටපු ලොක්කා වගේ යෝධයා කියපි 

"හෙට අලුත්කඩේ උසාවියේ පහේ කාමරේට ඇවිත් යාලුවා අරන් යන්න."
"දොස්තරයට වරදින්නෙ නෑ.. උ අවුරුදු අටක් කුඩු ගහන එකෙක්" කියලා... 

ඒ වෙලාවෙ තවත් කරන්න දෙයක් නෑ කියලා තේරුනු බාසත් කියපි 
"මහත්තයා දැං යන්න.. හෙට එන්න" කියලා.
වාහනේ අංකෙත් හිතේ කොටාගෙන හොටේ එල්ලගෙන මම සයිට් එකට ගියා.


ඊට පස්සෙ උන දේවල් කියන්න ගියොත් තව පෝස්ට් දෙකකට වත් කතාව දික් වෙනවා.. දණගාලා දණිසුත් රිදෙනවා.ඒවා පස්සෙ කියන්නම්...

ආරක්ශක අංශ දැනුම්දුන්නෙ ඒ අංකෙ දරණ වාහනයක් යොදවලා නෑ කියලා.ඒත්
බාසව කියපු විදිහටම උසාවි දාලා තිබුනා ගංජා ලඟ තබාගැනීම කියලා.
ඔන්න ඔහොමයි මගේ පලවෙනි නාකොටික් අත්දැකීම...


( ගූ ගල් අස්සෙන් පින්තූරෙ ඉස්සුවා)

Thursday, February 19, 2015

ඩිස්නිලන්තය

                                අවුරුදු 12-16 වගේ කාලය කොලුවෙකුගේ දිවියේ සුන්දරතම කාලයකි.තමන් තුලට සිතිවිලි නැමීම... වීරයින්.. සතුරන් බිහිකර ගැනීම..අභියෝග සඳහා නොසිඳෙන ආශාව.. අත්හදාබැලීම්.. ඈ මෙකී නොකී සන්තෑසි සිදුවේ.මාක් ට්වේන් නම් අද්විතීය රචකයාගේ ටොම් සෝයර්,හෙළයේ මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව නැමැති කෘතීන් කියවා ඇතැයි සිතමි.ඒවා මතක් වූවා නම් දැන් ඔබගේ කට කොනෙක සිනහවක් ඇතිවා සැක නැත. 

  එකල දෙමවුපියන් හා කොලුවන් අතර අඬ දබර/දඬුවම් බහුලය.නිදහස් සුන්දර සතුටින් පිරුනු ලොවට අසතුට කැඳවන්නේ දෙමවුපියෝ මය.කකුලෙන් අදින්නෝ දෙමවුපියෝම ය. කොටින්ම "හැරමිටියෙන් ඇවිදින්නෝ.අපට එරෙහි වී එන්නෝ"..ම ය.ඉතිං මැරෙන්න හිතෙන්නේ ය.එය සිතින් මවා ගන්නේය..මැරුනාම  දෙමවුපියන් අඬන්නේ ය.ඔවුන්ට දුක හිතෙන්නේ ය.බලු බැනුම් අසා මිය පරලොව ගිය චූටි පුතා ගැන දුක් වන්නේය.හතුරුකම් කල ඊනියා වැඩිහිටියන් මෘත දේහයෙන් සමාව ඉල්ලමින් හඬන්නේ ය...            

 "චටාස්..!!!!"

""රට වටේ රස්තියාදු ගහල... ජරා ගඳ.. නාල,කෑම කාල පාඩම් කරනවා.රටට වැඩක් ඇති මිනිහෙක් වෙන්න බලනවා.අඩුම ගානෙ ලෝකෙට බරක් නැතිව ජීවත් වෙන්න දෙයක් ඉගෙන ගන්නවා..."බ්ලා....බ්ලා...

  පුරුදු බයිලා ඇහෙන ගමන් සිහින ලොවෙන් අවදි වෙනකොට අසූ හාරදාහට මල පැනලා ය. කොල්ල කෑ ගහනව....


"මේ කාලකන්නි ඩිස්නිලන්තෙට මාව බිහිකරපු තොපි ඇයි මාව මරන්නැත්තෙ???   මාව මරපල්ලා.....!!!!"

..............................................................................................................................................

ඒත් පහුවදා ඇඳෙන් බහිනකොටත් කිරි එක නම් වරදින්නෙ නැත...


ප.ලි. ඩිස්නිලන්තය අයිති ළමාවියටය.යතාර්ථ ලෝකය අයිති වැඩිහිටි ලොවටය.ඔය දෙක අතර ගන්දබ්බ කාලයේ පිස්සු කෙලීම සාමාන්‍ය සිරිතය.දැනුම් තේරුම් ඇති වැඩිහිටියා කට කොනෙක සිනාවක් සහිතව උපේක්ශවෙන් බලා හිඳී.

ගස් ලබ්බ





ලබ්බෙ තොවිල් නටන්න උපන්දා ඉඳන් දඟලන ගමන් අටවගත්ත බොග..
නිකම්ම නිකං ලබ්බ නෙමෙයි මෙයා... ගස් ලබ්බ.ගස්ලබු ගහ හදන හැටි බලාගත්තෙ මාතලං තුමාට පිං අයිතිවෙන්න ඕං.