Friday, May 27, 2016

අවසානේ...


උඩතට්ටුවේ ගෙදර කවුරුවත් නැති බව කෝකටත් තහවුරු කරගන්න ජයවීර සෙකුරිටි ට කෝල් එකක් ගත්තා.දවස් දෙකකට ඔවුන් නැති බව දැනගැනීම ම ජයවීරට ලොකු සහනයක් උනා.. කෝපි කෝප්පෙකුත් හදාගන හුලං වදින තැනකට වෙලා පයිප්පෙ උරන එක ජයවීරගෙ පුරුද්දක් උනත්,මේ අළුත් ෆ්ලැට් එකට මාරු උන එකෙන් ඒ පුරුද්දත් සීමා කරන්න උනා.දරුවෙක් ලැබෙන්න ඉන්න උඩතට්ටුවේ ගෙදර ශෙරින් දුව සැමියා මාලකත් එක්ක ඇවිල්ලා බොහොම කාරුණිකව කරපු ඉල්ලීම නිසා බැල්කනියට වෙලා පයිප්පය දල්වන්න ජයවීරට හිත එකඟ කරගන්න බැරි උනා.. ඒත් අද නම් නිදහස්...

හැන්දෑව එලඹිලා..නයි වගේ දඟර ගැහුනු පාරවල් දිගේ වාහන පෝලිම් ගැහිලා.. ලොකු ලේලන්ඩ් බස් හබරණ අලියන්ට ගහන හෝන් එකටත් වඩා සැර හෝන් ගහලා පොඩි ත්රීවීල් කාරයො බය කරන් යන්න දඟලන ගෝරනාඩුව තට්ටු පහක් උඩ බැල්කනියට වෙලා ජයවීර අහගෙන හිටියා.
දවසේ මහන්සිය කරේ තියගෙන දුම් දූවිලි පිරුන පාරෙ ඉක්මනට ගෙදර යන්න අස්සෙන් දාන බයික් කාරයෙකුට ලොකු කාර් එකක හිටපු නෝන කෙනෙක් සීතල ඒ.සී එක එලියට යන්නැතිවෙන්න වීදුරුව බාගෙට ඇරලා ඉංග්රීසියෙන් බනින හැටි ජයවීරට මැවිල පෙනුනා..

හ්ම්ම්ම්ම්... ඔය ඔක්කොම කලබල ටික නිස්කලංකෙන් හාන්සි පුටුවකට වෙලා බලාගෙන ජයවීර කල්පනා ලෝකෙ සැරිසරන්න පටන් ගත්තා..

නව යොවුන් වියේ ඉඳන් තමුන්ගෙ දිවිය ගෙවුන හැටි හීනයක් දකිනවා වගේ දෑස් ඉදිරිපිට සැර දුම්ගුලි අතරින් ජයවීරට පෙනෙන්න පටන් ගත්තා.

රැකියා.... උසස්වීම්.... අසනීප.... විවාහ.... දරුවන්.... දරුවන්ගේ දරුවන්....

මේ ඔක්කොම මතකයන් විතරයි.කොටින්ම ලොකු දුවගෙ දරුව ලැබුනායින් මෙතුවක් කල් තමුන් ලඟ උන්නු බිරිඳටත් විදෙස්ගත වෙන්න උනා..

කොල්ල නම් අරාබියට වෙලා ඌ කියන විදිහටම ඔටුවන්ගෙ දත් මැද මැද ඉන්නවා.අප්පච්චිට සලකන්න ඕනෙ කියලා මේ ෆ්ලැට් එකට එක්කගෙන ආවට කොහෙ හිටියත් හම්බවෙන්නෙ ඉන්ටනෙට් එකෙන් විතරයිනෙ කියන එක උට ගානක් නෑ..

ඒත් කාගෙවත් හිත රිදවන්න අකමැති ජයවීර පුතාගෙ තීරණේට එරෙහි උනේ නෑ.

කාලෙකට කලින්....
ගොඩා...ක් කාලෙකට කලින් තමුන් හීන මැව්ව ජීවිතේ මේකමද කියන සැකේ හිතේ කොනක ඉඳන් වරින් වර වතුර යට තිබුන රබර් බෝලයක් වගෙ උඩ ආපු හැටිත් බිරිඳ,දරුවන් ගැන තියෙන හැඟීමේ බර වැඩිකම නිසා ආයෙත් හිතේ කොනකට තල්ලු කරපු හැටිත් මතක් උනේ අද ඒ කවුරුත් ලඟ නැති වෙලාවෙ වඩාත් තදින් ඒ හැඟීම හිත වහගත්තු නිසා වෙන්න ඕන..

'මම ආදරය කලා ද?'
'මේ ජීවිතේ ආදරය මම ස්පර්ශ කලා ද?'
ජයවීර තමුන්ගෙන්ම ප්රශ්න කරගත්තා..

අහවර උනු කෝපි මග් එක නොසෝදාම අයිස් කැට කීපෙකුත් එක්ක බ්රැන්ඩි බෝතලය ලංකරගත්තු ජයවීර බැල්කනියට වෙලා පියාඹගෙන යන කාක්කො රංචු දිහා බලන් හිටියා.

හැමෝගෙම මල්ලෙන් කාක්ක කෑවත් කාක්කගෙ මල්ලෙන් කන්න කවුරුත් නෑ නෙ කියල මතක් වෙලා පොඩි හිනාවක් ගියා..

තමුන්ගෙ යාළුවන්ගෙ..,  උන්ගෙ බිරින්දෑ වරුන්ගෙ..,  දුවගෙ පුතාගෙ යාළුවන්ගෙ පවා හිතේ බර හෑල්ලු කරපු තමුන්ට,  තමුන්ගෙ හිතේ බර හෑල්ලු වෙන්න චැටක් දාන කෙනෙක් නැතිවීම හිංදා තමුනුත් කපුටෙක් විදිහටයි ජයවීරට දැනුනෙ..

උත්පලා එක්ක ඇත්තටම සම්බන්ධතාවක් තිබුනද?
ක්ලාස් යන දවස් වල බලන් හිටියට, කවි ලීවට අඩුම ගානෙ අතින් අල්ලලා කතා කරලවත් නෑ කියල මතක් වෙනකොට දැනුන හැඟීම ජයවීර සැර බ්‍රැණ්ඩි උගුරකින් පුච්චලා දැම්මා.
තමුන්ගේ වරද නිසා එදා මඟඇරුනු ඈ ආයෙ කිසි දිනක නොදුටු බව තොරතුරක් නොලද බව මෙච්චර තාක්ශනේ දියුණු ලෝකෙ කවුරුත් පිලිගන්න එකක් නෑ.
ඇත්තටම හිතේ කොණක සඟවගත්තු ඒ අපූරු හැඟීම් පැලෑටිය කිසිම ආකාරයකින් හානියක් වෙන්න නොදී වරින් වර කල්පනා පොහොර දමා සෙනෙහස් තෙතමනයකින් මාත්තු කරමින් දිගින් දිගටම නඩත්තු කරපු බව ජයවීරට අද පිළිගන්න උනා..
තමුන්ගෙ ජීවිතේ වසන්ත කාලය පුරාම උත්පලා සිහින මල් අතරින් මැවුනු හැටි කොච්චර නම් සුන්දරද...?
ඒ හීන මල් නෙලාගෙන එනකන් බලාගෙන උන්නු අතීතය කොච්චරම රසවත් ද..?

කාලය කියන්නෙ මහ අමුතු දෙයක්.. අද මේ පුටුවක් උඩට වෙලා ඉඳගෙන ඉන්නෙ තමුන්මද කියලා ජයවීරට සැකයක් උපන්නා.. 'මම' කියනකොට මතක් වෙන්නෙ අර උත්පලා ගැන කිරිකෝඩු හීන මවපු කොළුගැටයව වෙන්නෙ කොහොමද දරු මුණුබුරන් ඉන්න ජයවීර නොවී කියන කාරනේ තේරුම් ගන්න බැරිවම ජයවීර පයිප්පෙ දුම්කොළ මාරු කලා..

ජීවිතයේ කටුක බව අඩු නැතිව අත්දකින්න ලැබුනු කාලය මැවී පෙනෙනවා... මුදල් හදල් ගැටලු.. අසනීප.. දරුවන්ගෙ කටයුතු.. ඔය ඔක්කොම එක්ක  තමුන්ට හොඳටම ආදරය කරන බිරිඳක් එක්ක  ගිම්හාන කාලයක් වගේ ඒ කාලෙට මූණ දුන්නත් හිතේ කොණක කොකියන හැඟීම් එහෙමම තිබිල නේද කියලා අද මේ කල්පනා කරන වෙලාවෙ ජයවීරට හිතෙනවා..
ඒ මොනවත් හින්දා නොදැනුනු කටුක බවක් ගිණියම් බවක් උත්පලා මතක්වෙනකොට ජයවීරට දැනුනු බව තර්කයක් නැතුවම ජයවීර පිළිගත්තා..

ඒත් අන්තිමට......

අද උදේ පාන්දරම ජයවීර අවදි උන හැටි... වැව අයිනට ගිහින් එලිය වැටෙනවා බලන් හිටපු හැටි කාලෙකට කලින් උනා වගේ දැනෙන්නෙ..
උදේ අට නමය වෙනකන්ම බංකුවකට බර වෙලා පිරිසිදු වාතාශ්‍රයේ සනීපය විඳගෙන එන්න හදනකොටම 'ජයේ.. ඔය ජයේ නේද?' කියලා වයසක මිනිහෙක් කතා නොකරා නම් මුළු ජීවිතේම මීට වෙනස් වෙන්න තිබුනා..
තමුන් එක්කම එකට පොඩි කාලෙ පිස්සු කෙලපු පෙරේර අඳුනගන්න ජයවීරට කොහොමත්ම පුළුවන් කමක් තිබුනෙ නෑ පෙරේරම තමුන්ව අඳුන්වලා දෙනකන්.හොඳ වෙලාවට පෙරේරා ජයවීරව ෆේස්බුක් එකෙන් දැකලා තිබුන.
අතීත කතා අතුරින් උත්පලාවත් මාතෘකාවක් උනේ නොදැනීම..

දශක ගණනකින් දැකල නැති උත්පලා තමුන්ව අඳුනගනීද කියන දෙගිඩියාවත් එක්කම ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන් උදාසීන කමක් තියෙන නිසා ජයවීර පෙරේරත් එක්ක උත්පලා හමුවෙන්න යන්න කැමති උනා.....

..............................................

පොල්තෙල් පිච්චෙන සුවඳත් එක්ක එකතු උන ෆෝමලීන් සැර අස්සෙන් උත්පලා සුදෝසුදු සාරියක් ඇඳගෙන නිදාගෙන හිටියා.
ශෝකයෙන් භරිතවෙලා තමුන්ට ආචාර කරපු උත්පලාගෙ සැමියව වත් ඉකි ගසමින් දෙණට බර වෙලා හිටපු දූල දෙන්න වත් ජයවීරට පෙනුනෙ නෑ..
ඒත්....
දුවගෙ ඉකියත් එක්කම හෙමි හෙමින් තාලයට ගැස්සෙන උඩුවියනෙන් එල්ලෙන මල් වැල්.... 

මලානිකව එල්ලිලා ලතාවකට සෙලවෙන මල් වැල්.......


වසන්තකාලෙ උත්පලත් එක්ක නෙලාගත් හීන මල්.........


ඔව්.... ජයවීරට උත්පලා හමු උනා..


වසන්තයේ මල් කැකුලක් සේ
හිනැහී හිනැහී ඔබ සිටියා...

වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොලොව ගිණියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ.....
ඔබ ආවා.....

ඔබ අත වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල අතරින්
ඔබගේ හද මා දුටුවා

පද : මහගම සේකර
හඬ සහ සංගීතය : අමරදේව



ප.ලි
දිනේශ් ගෙ බ්ලොග් එකේ අරූ දාපු කොමෙන්ට් එකක් ආපු දුර.තැන්කූ අරූ අයියෙ.

65 comments:

  1. Replies
    1. තනි වෙනකොට තමයි ඉතිං හැමදේම මතක් වෙන්නෙ.
      කොහොම උනත් අර කෙහෙල් කොට්ට කියල තියෙනව වගේ උත්පලා එක්ක තියෙන බැඳීම මෙතනින් වත් ඉවර කරගන්න පුලුවන් උනොත් හොඳයි.

      Delete
    2. ඊට පස්සෙ පොල්පලා ?

      Delete
    3. බ්‍රැන්ඩි වලටනං ඉරමුසු උනත් අවුලක් නෑ. හැක්..

      Delete
    4. @ප්‍රස්
      ඈ.. කෙහෙල් කොට්ටගෙ සීන් එක මීටරේට වැටෙන්නෙ නෑ නෙව..
      අවසානෙ හොයන එක තමයි ගේම

      @ප්‍රා
      ගල් & ඉරමුසු කොක්ටේල් එකක් ගැන නන් බුකියෙ දැක්කා..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
    5. http://cyberyaya.blogspot.com/2016/05/blog-post_26.html

      Delete
  2. වරින් වර හිත පාරවන අතීතයක් ජයවීරට තිබිල තියෙන්නේ. සංවේදී ලස්සන පොස්ට් එකක්. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙකුගෙ හරියට බැලුවොත් රබර් බෝල තියෙනවා කවිඳු.. ඉස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  3. සමහර බැදීම් තියෙනවා ජීවිත කාලයටම අමතක කරන්න බැරි. කරපු කියපු දේවල් නිතරම මතක් වෙන කොටින්ම කියනවානම් වැඩක් නැති වුනත් එයා ගැන හොයලා බලන්න සිතෙන.
    මටත් තියෙනවා ඒ වගේ අමතක කරන්න බැරි මතකයක් විශේෂයෙන්ම කටුබැද්ද හන්දියෙන් යනකොට මතක් වෙනවා වැඩියි

    ReplyDelete
    Replies
    1. හහ්........
      මටත්.............................

      Delete
    2. ඔව් පූසො.. සමහර තැන්.,සුවඳවල් මතකයන් ඇදල ගන්නෙ..
      ජයවේවා..!!

      Delete
  4. ඔය ටොප් එකටම ලියල තියෙන්නෙ, බොහොම ඉහළයි.

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ හැලපයියෙ.. බොහොම තැන්කූ
      ජයවේවා..!!

      Delete
  5. සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා....!

    ReplyDelete
    Replies
    1. අන්න අහු උනා නේද ඒක..?
      ඕක ගස්ලබ්බත් ඔහොම තමා අහල තියෙන්නෙ.ඒත් මේ දාල තියෙන රෙකෝඩින් එකේ ගයන්නෙ ඔබගේ 'හද' මා දුටුවා කියලා.විවිධ අවස්ථා වල ඔය දෙක මාරු කරලා ගයලා තියෙනවා.ඔරිජිනල් එක දල්ලෑ..
      ජයවේවා..!!

      Delete
  6. good one (phone eken baluve,sinhala type karanda amarui.)

    ReplyDelete
    Replies
    1. තැන්කූ ලලිත්...
      ජයවේවා..!!

      Delete
  7. මම උඹට පොඩි දෙයක් කියන්නම්. මම දිනේෂ්ට ඒ කමෙන්ට් එක දැම්මාම උඹ ඒකට තව කමෙන්ට් එකක් දැම්මා. මට හිතුනා උඹ ඒ ගීතයත් එක්ක එතන නැවතිලා ඉන්න බවක්. ඒකයි උඹව අවුස්සගන්න මම තව කමෙන්ට් එකක් දැම්මේ. ඒ වැඩේ හරි ගියා එහෙනම්.කමෙන්ට් එකක් ගිය දුර.

    ගස්ලබ්බෝ මේක නියම රහ ලියවිල්ලක්. කෝපි කෝප්පයක්, සුරුට්ටු උගුරක්, බ්‍රැන්ඩි ශොට් එකක් හරහා ජයවීරව බොහෝ දුර ගමනක් අරන් ගිහින්, අවසානයේ ඇස් තෙත් කරන අවසානයකට ගෙනත් ඉද්ද ගැහුවා වගේ හිටවලා තියනවා. මම මේ අවසාන කරපු විදිහට හරිම කැමතියි. ඒ එක්කම ගීතයට සවන් දෙන කොට ඒ රසය මිහිරක් වුනා. ජීවිතය කියන්නේ බං සිහින්ව හීනියට වටහා ගන්න ඕන පුංචි කතා පොතක් විතරයි. එහෙම නැතුව මහා පතරංග ජාතක පොතක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඈ බං අරූ අයියෙ.. ඔහොම කොරන එක හරිද මං අහන්නෙ? ගිල්ලෙව්වනේද ගුලිය? ඒක හරි රහ ගුලියක්. ගස්ලබ්බ අම්මයි අප්පච්චියි එක්ක පැයක් විතර නිදහසේ කතා කර කර හිටියා කාලෙකට පස්සෙ.ඒ කතාවල් ගොඩ නැඟුනෙ මේ ගීය හරහා කරපු ඇවිස්සීමත් එක්ක.
      ජයවේවා..!!

      Delete
    2. අරූ මේ ලිපිය මතකයේ තබා ගනින් ඔන්න.

      Delete
    3. ////මේ අරූද ?////

      ඔව් සිරෝ...

      Delete
  8. කෝපි කෝප්පයක්, සුරුට්ටු උගුරක්, බ්‍රැන්ඩි ශොට් එකක් හරහා ජයවීරව බොහෝ දුර ගමනක් අරන් ගිහින්////// mmmmmmm

    ReplyDelete
    Replies
    1. ඔක්කොගෙන්ම මත්වෙනවා නේද හැබෑට..? ජිවිතේම මත් බවක් නෙ ඩොක්.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  9. හරිම අගේ ඇති ලිවිල්ලක් සහෝදරයා...මිනිසෙකුගේ ආත්ම විවරණයක් බොහොම අගේට ගලපලා...වෙහෙස මහන්සියෙන් පිම්මේ දුවන ජිවිත බොහොමයකට නැවතිලා හෙමින් සීරුවේ හිතන්න මේ වගේ දවසක් එනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම නැවතිල්ලේ හිතන්න වාසනාව හැමෝටම ලැබේවා කියල පතමු නේද පොකුරු වැහි..? තැන්කූ
      ජයවේවා..!!

      Delete
  10. අපුරු ලියවිල්ලක්...
    හිතින් අතීත මතක පොත් ගොඩක් අතරට ගියා...

    ReplyDelete
    Replies
    1. හිතින් ගිහිල්ල ගියේ නෑ වගේ ඇවිල්ල ඉන්න එක තමයි සුන්දරම වැඩේ..තැන්කූ
      ජයවේවා..!!

      Delete
    2. හිතින් ගිහිල්ල ගියේ නෑ වගේ ඇවිල්ල ඉන්න එක තමයි සුන්දරම වැඩේ..තැන්කූ
      ජයවේවා..!!

      Delete
  11. සාර්ථක ප්‍රබන්ධයක්. සාහිත්‍යමය ගුණය රැකී තිබෙනවා. සැලසුමක් ඇතිව ලිවීමෙන් නිර්මානාත්මක අගය ඉස්මතුවී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමන්ගේ විචාරය සම්මානයක් තරම්ම වටිනවා..!
      තැන්කූ
      ජයවේවා..!!

      Delete
  12. බොහොම අපූරුයි ගස් ලබ්බ. හරි ලස්සනට ගලපලා තියෙනවා.

    //ඇත්තටම හිතේ කොණක සඟවගත්තු ඒ අපූරු හැඟීම් පැලෑටිය කිසිම ආකාරයකින් හානියක් වෙන්න නොදී වරින් වර කල්පනා පොහොර දමා සෙනෙහස් තෙතමනයකින් මාත්තු කරමින් දිගින් දිගටම නඩත්තු කරපු බව ජයවීරට අද පිළිගන්න උනා.//

    මේ කොටස වැඩියෙන් හිත් ගත්තා

    ReplyDelete
    Replies
    1. හේයි...මම දාන්න හිටිය කොමෙන්ටුව.....copy කරන් හිටියට paste කරන්න අවකාශය නොලැබුණු....

      Delete
    2. බොහොම ස්තූතියි සඳ වියමන්.. සංතෝසයක් දැනුනා..
      ජයවේවා..!!

      Delete
  13. වසන්තකාලෙ උත්පලත් එක්ක නෙලාගත් හීන මල්.........
    එළ..................

    ReplyDelete
    Replies
    1. තැන්කූ බෙන්සීන්.මම ගිහිල්ල බැලුවා බ්ලොග් එකක් ලියනවාද කියලත්.හොයා ගන්න බැරි උනා..
      ජයවේවා..!!

      Delete
    2. තාම නෑ සහෝ...තව මාස දෙකකින් පටන්ගන්නව..........

      Delete
    3. එල එල.. පටන්ගත්තු ගමන් කියන්න.අපි එනවා ඒ පැත්තේ OH කාණ්ඩෙකුත් අරන්.. හෙහ් හෙහ්

      Delete
  14. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අපට මොටෝ අනුන්නෙ පොටෝ... ඒක මකල දානවා ඇනෝ.සොරි.ගැලපෙන්නෙ නෑ.

      Delete
    3. :D
      ඔන්න අපිත් ඊ කිව්වා
      ජයවේවා..!!

      Delete
  15. ජීවන කතාවකට පද ගැලපීම හරි අමාරු දෙයක්....ඒක ලස්සන්ට කරල තියනව ලබ්ස්.....මටත් උත්පලා කෙනෙක් හිටිය......එක පාරයි හම්බුනෙ....නම්බරෙත් දුන්න....පෝන් එක ගත්ත අලුතනෙ නම්බරේ වැරදියට දීල තියෙන්නෙ....එදායින් පස්සෙ ආය දැක්කෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හපොයි ඔහොම වැඩ නම්... ඇත්තටම මෙතන පද වලට කතාවක් හදපු එකයි උනේ
      ජයවේවා..!!

      Delete
  16. හරි අගෙයි ගස්. අපූරුවට ලියවෙච්ච ලියමනක්. තනි වෙච්ච හිතක්, නොකියපු ආදරයක්, විසිරිච්ච ජීවිතයක් ඔයා හරි අපූරුවට මවනව.
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මහගම සේකර එදා මැව්ව මැවිල්ලෙ ආෆ්ටර් ඉෆෙක්ට්...
      තැන්කූ වේවා
      ජයවේවා..!!

      Delete
  17. මම මේ සිංදුව එදා උඹයි අරූ අයියයි ඇදලා ගත්තමයි මුලින්ම ඇහුවේ. එදා මම හිතන්නේ සෑහෙන වතාවක් මම මේක ඇහුවා. ඇත්තටම ලස්සනයි.

    උඹේ කතාව ගැනත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සිරාවට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්.. එක සැරයක් අහල හැරෙන්න හිතෙන්නෙ නැති අමුතුම කාන්දම් ගතියක් මේ ගීතයේ තියෙනවා..
      ස්තූති වේවා
      ජයවේවා..!!

      Delete
  18. මම වයසට ගියාම බ්‍රැන්ඩි බොන්නෙවත් පයිප්පෙ බොන්නෙවත් නෑ එහෙම උනොත ජයවීරට වගේ මතකයක් එයි.
    උඹ කතා මවන්න සූරය..

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්... ඔව් ඔව්.. ඔය රබර් බෝල හැමදාම වතුර යට තියෙන්නෑ ලු නෙ..
      ඉස්තූතියි කම්මලේ
      ජයවේවා..!!

      Delete
    2. //උඹ කතා මවන්න සූරය..// හරියටම කිව්වා මම හිතන්නෙ....

      Delete
  19. කථාව බොහොම ලස්සනට සංයමයෙන් ලියවිලා තියෙනවා..මෙය කියවන කී දෙනෙකුගෙ මේ වගේ සැගවුන ආදර කථා තියේවිද...ගස් ලබ්බො...මේ කථාව ප්‍ර‍බන්දයක් උනාට බොලා කැමතිද මීට සුට්ටක් විතර වෙනස් තේමාවක් තියෙන ඇත්ත කථාවක් කියවන්න...එහෙනං මේ ලින්කුවෙන් ගොඩ වෙන්න...

    http://www.telegraph.co.uk/news/worldnews/1575382/Russian-couple-reunited-after-60-years-apart.html

    ReplyDelete
    Replies
    1. හම්මේ.. හැම ප්‍රබන්ධයක්ම ඇත්තක්ද? ඇත්ත කියන්නෙ ප්‍රබන්ධයක්ද කියල හිතෙනවා..
      තැන්කූ සිරා..
      ජයවේවා..!!

      Delete
  20. අපූරුයි ගස්.. අන්තිමට සංවේදි උනා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ නිර්මාණි
      ජයවේවා..!!

      Delete
  21. උඹ මාර දේවල් නොවැ ලියන්නේ බං.......... යකෝ ළගදි නේද බැන්දේ......... හැක්

    ReplyDelete
    Replies
    1. පොතේ අස්සන් කරේ නම් ලඟදි... හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  22. අපූරු කතාවක් ගස්. මටත් හිතෙනවා කාලෙකට පස්සේ දූලා දෙන්නත් වැඩිහිටි වුනාට පස්සේ මොනවා වෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. මොනව වෙන්නද? පයිප්ප, බ්‍රැණ්ඩි ඇහේ කොණකටවත් නොපෙනෙන්න ඉන්න වෙනවා.. මොනවා මතක්වෙයිද දල්ලෑ ලෙ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  23. පට්ට ගස් අය්යේ .... නමුත් මට තෙරන්නේ නැත්තේ මිනිස්සු හුදකලා වෙන්ඩ වෙන්ඩ පයිප්ප, බ්‍රැණ්ඩිම ලං වෙන්නේ ඇයි කියල.....
    මමත් පට්ට හුදකලාවට ආස මිනිහෙක්නේ,
    කාලයක් පයිප්ප, බ්‍රැණ්ඩි (පයිප්පම නෙවේ ) එක්ක ගොඩක් යාලු උනා. නමුත් ඒවා මගේ හුදකලාව කාල දැම්මා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ හරියට 'සෙට්' වෙන විදිහටම සෙට් වෙන්න ඕනෙ කියන්නෙ.උඹ නම් මුහුද මැද ආතල් එකත් අරන් තියනවානෙ.. දවසක යන්නම ඕනෙ මුහුද මැදට.. තරු එළියෙ...
      ජයවේවා..!!

      Delete
  24. සින්දුවේ තේරුම එන්න ලස්සනට ලියලා..ගස්.. මේ මදුවිත එක්ක යාලු නැති ගැහැනු පාර්ශවය මේ වගේ ගලපගන්නේ කොහොමද කියලා මම කල්පනා කලේ...

    ReplyDelete
    Replies
    1. කඳුළුත්,අතොරක් නැති අවලාදත් එක්ක ගෙවෙනවා වෙන්නත් පුළුවන්.ඊටත් වඩා කාන්තා පාර්ශවය මේ වගේ තත්ව දරාගන්න අමුතු අයෝමය ශක්තියකින් හෙබියි කියල ගස්ලබ්බට නිකමට හිතෙනවා...
      ස්තූතියි නිම්නි.
      ජයවේවා..!!

      Delete