Friday, July 29, 2022

 

ජීවිතය 2022-07-29





ගෝඨා ට පැනල දුවන්න වුනේ පෝට්ටු ලෙල්ලන්ට වෙස්වලාගන්න වුනේ ඕකුන්ගෙ සුපුරුදු මර්ධන හස්තයට අල්ලන්න බැරි මානයකින් විරෝධතාවයන් දියත්වුන නිසා සහ විරෝධතාවයන්ට පොදු රැකවරණයක් ලැබුනු නිසා.

මර්ධකයො කලබල වුනේ නෑ. හොඳට කාලය අරගන සැලසුම් කරලා යම් යම් කැපවීම් කරලා මහජන බලය නිද්රාවට පත්කරන්න ක්රියාත්මක වෙලා. කුක්කො ලව්වා බුරවනවා මහජනයව අවුස්සගන භීශනය මවාගන්න.

දශක ගණනක් පුරා කීපවරක් මිනිස් බිලි කුසට පුරවා රුධිර ගංගා මතින් ඔඩම් පුරවා ජයපැන් බී පුරුදු ඔවුන් මහජනයා කුප්පමින් කෝචොක් දමමින් බියට පත්කරමින් පුරුදු පිටියට දක්කගන්නම බලන රඟ හොඳට පේනවා.

පාක්ශිකත්වයේ තෙලිදියෙන් දෑස පොඟවාගත් කුක්කුරයන් සහ තරුපටි ලෝභී වල්ගවංශිකයන් එකට රොදබැඳ අවසන් හුස්මට කැපවූ ලංකාවේ අවසන් සාර බිඳ සූරා තම වහල්බවේ පාරිශුද්ධත්වය පෙන්වමින් චෞරයන්ට පූජාකිරීමේ ජාන තුලින්ම රැගෙන ආ මජරකම ප්රශර්ශනය කරමින් ඉන්නවා.

අපි කවුරුත් සදාකාලික ජීවිත ගතකරන්න ඇවිත් නෑ. අපි කවුරුත් මියයන ජීවිත....
ඉල්ලන්නෙ ඉන්න ටික නිදහස්ව ඉන්න. ඔබට වගේම ජීවිතයක් තමා මහත්තයෝ අනිත් පුරවැසියාටත් තියෙන්නෙ...
අපි ඉවසීමෙන් සහ අවදියෙන්...


Friday, April 26, 2019

කණගාටුවෙන් ලියමි.

කණගාටුවෙන් ලියමි.

අද 26-04-2019 ය. ශ්‍රී ලංකාවට හදිසි මරාගන මැරෙන ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වී සතියක් වත් ගතවී නැත.
ප්‍රහාරය එල කල ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ථ සංවිධාන සාමාජිකයන් රට පුරා විහිද ඇති බවටත් ජනතාව එල්ලකරගත් තවත් ප්‍රහාර මාලාවක් එල්ල වන බවටත් විදෙස් ඔත්තු සේවා පවා තවමත් දිගින් දිගටම අනතුරු අඟවන බව සැල වේ.
ආරක්ශක අංශ හිටිවනම සෝදිසි මෙහෙයුම් දියත් කරයි. නගර ජනශූන්‍ය කලාප බවට පත් කරයි.මහජන ආරක්ශාව සඳහා හැකි උපරිම පියවර ගනියි.

ප්‍රහාරයට  අදාලව බුද්ධි තොරතුරු ලැබී තිබූ බවට පිළිගන්නා රජය බෝල් පාස් කිරීම අරඹා ඇත. ප්‍රහාරයේ හඬ මැකෙන්නත් පෙර රජයේ මාධ්‍ය ඇමති නිවේදනය කලේ මෙය රාජපක්ශ කුමන්ත්‍රණයක් බවටය. නමුත් හානියේ තරම දුටු විට සියලු කටවල් වැසිනි. බුකියේ පවා සියලු කටවල් වැසිනි. හික් ගෑවී ව්‍යවසනයට මුහුණදීමට එක් රොක් වීම ඇරඹින.
බුකිය ඉතා වැදගත් වගකීම් සහගත ලෙස හැසිරීමට පටන් ගැනිනි.

සමාජ මාධ්‍ය අවහිර කෙරින.
රජය විසින් ගත් එකම ක්ශණික පියවර ගැනින.

ප්‍රහාරයට සම්බන්ධ කිසිම සංවිධානයක් තහනම් කෙරී නැත.
ප්‍රහාරකයන් හා සමීප සම්බන්ධතා පවත්වා අභිප්‍රේරණය කල කිසිදු මුස්ලිම් ඇමති කෙනෙකුට විරුද්ධව කටක් අරින්නට වත් කෙනෙක් නැත.

ජාත්‍යන්තරය හමුවේ රජයේ ඇමති වරුන් සහ අගමැති දිගින් දිගටම රට හෑල්ලු කරමින් පවතී.

මහින්ද මහතා ප්‍රමුඛ පොහොට්ටු පාර්ශවය තමන් විපක්ශය කියා පසකට වීගන ය.එය තේරුම් ගත හැකි ය.
ජවිපෙය කොහේදෝ සිට මතු වී සුපුරුදු පරිදි රාජපක්ශ විරෝධී මත පලකරමින් රනිල් රැකෙන සේ හැසිරෙයි. එය පහසුවෙන්ම තේරුම් ගත හැකිය.
රනිල්,රාජිත ප්‍රමුඛ රජය නීති පොතක් උස්සාගන එහෙ මෙහෙ දුවන අතර විහිළු සපයමින් ඇත.ඒවාට හිනා යන්නේද නැත... නමුත් ඒ හැසිරීම ද තේරුම් ගත හැක.
මයිත්‍රී මහතා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී.. එයින් එහා දෙයක් බලාපොරොත්තු නොවන නිසා එයද තෙරුම් ගත හැක..

මා හට තේරුම් ගත නොහැක්කේ මේවා ය..

ඊයෙ හවස හිටි හැටියේ රජ්‍ය අංශ පිට පිට වැරදි ගණනාවක් කිරීම.
තහවුරු වී ඇති තොරතුරු මත හෝ ජනතාවට නිවරදි චිත්‍රය සැඟවීම.
තොරතුරු කප්පාදුව.

ඊටත් වඩා....

ඊයේ සවස සිට බුකියේ සිදුවූ හදිසි වෙනස..
ඊයේ සවස සිට ආරක්ශාව පසකින් තබා තම පක්ශය බේරා ගැනීම සඳහා බුකි සටහන් වැපිරීම.
පාක්ශික වහලුන් ගේ ලැජ්ජා සහගත හැසිරීම් ඉතා කණගාටුවෙන් බලා සිටිමි. තර්ජිත තත්වයන් පහව ගොස් නැති අවස්ථාවකදී උවත් පොදු ජනතාවට වඩා තමාගේ පක්ශයේ ලිහී ඇති රෙද්ද වෙනුවෙන් අනෙකෙකුට මඩ ගැසීමට ඇති උනන්දුව දෙස කණගාටුවෙන් බලා සිටිමි.
ජනවාර්ගික පදනමින් පක්ශ සාදා ශක්තිමත් කරමින් බෙදා වෙන්වී මිනී මරණා තැනට රට තල්ලු කරගන යන දිහා නොබලා සිටින්නන් දෙස කණගාටුවෙන් බලා සිටිමි.
පුරවැසියාට පොදු නීති පද්ධතියක් වෙනුවෙන් නොව, පක්ශයයට රෙද්දක් අන්දන්නවුන් දෙස කණගාටුවෙන් බලා සිටිමි.
රිදුනු ජනතාවට කෝචොක් දමන්නන් හා එකත්පස්ව ඔවුන් රකිනා දීන වහල්ලුන් දෙස කණගාටුවෙන් බලා සිටිමි..

දිය බොර වී ඇත... අප විසින් තව තවත් දිය බොර කරමින් ඇත...
ඇම සමඟ පැමිණෙන්නනි....
ඔබගේ ඇම ආදරයෙන් ගිලින්න්නට සූදානම් වූවන් දෙස කණගාටුවෙන් බලා සිටින්නෙමි.

Tuesday, September 25, 2018

-තාත්තා-


හිත පුරා හෙමින් කොඳුර කොඳුර මොනව කියනවද
පොඩි හුස්ම හුස්ම එකතුවෙලා හුළං හැදෙනවද
හීං හුළං සැරේ හමායන්න අවසර දෙනවද
මගෙ හුස්ම පොදත් ඒ හුළඟට එකතුකරනවද

ඇල් හාල් බතින් ගුලි හදාන ගෙනත් කවනවද
පොඩි ඇලේ දණ්ඩිපැටව් එක්ක කතා කරනවද
පොඩි බමරපෙත්ත බිම තවමත් රවුම් ගහනවද
හීං හුළංසැරට ගතේ සුවඳ එකතුකරනවද

මුවපුරා ටිකිරි හිනා හලං බලං ඉන්නවද
සීපදේ නදට තාල තියන් පාද සලනවද
පපුතුරේ උණුහුමට ගුලිවී ඉන්නට දෙනවද
මයෙ අප්පොච්චියෙ එකපාරක් පුතේ කියනවද


(තාත්තා ටෙලිය කරපු හැමෝටම ජයවේවා)

Friday, June 29, 2018

X එක්ස්



'මම බඳිනවා... ඔයාට කියන්න හිතුනා ඒ බව..'
සෑහෙන කාලෙකින් x ගෙන් ආපු ඒ එස් එම් එස් එක චරක ආයෙත් බැලුවා.කීවෙනි පාරටද මතක නෑ.. මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් හිතේ තෙරපෙන බව බොහොම තදට චරකට දැනුනා.. ඒත් ඇයි..??
තමුන්ගෙ උණුහුමට ගුලිවෙලා නිදාගන ඉන්න බිරිඳගෙ නින්දට බාධාවක් නොවෙන්න චරක හෙමින් නමුත් මහ ගැඹුරු හුස්මක් පිට කලා... නෑ... කිසි සැහැල්ලුවක් දැනෙන්නෑ...
සිගරට් එකක අවශ්‍යතාවය කොච්චර තදට දැනුනත් නැගිටලා යන්න කම්මැලියි.. ඇඟ හරි බරයි වගේ දැනුන නිසා ඇස් දෙක පියාගන නිදන්න උත්සාහයක් ගන්නකොට තමයි රූප පේලි පේලි මැවෙන්න ගත්තෙ.
නිකන් ආතල් එකට චැට් කරපු X මේ තරම් හිතට දැනෙන්න හේතුව මොකද්ද?

නිකන් ෆේස්බුක් චැට් එකක් මෙච්චර දුරක් යයි කියලා හිනෙන් වත් හිතුවෙ නෑ... ඒ චැට් එක කොච්චර දෙන්නව ලං කලාද? ඒ කියන්නෙ කොච්චර ම නං ලං කලාද? නිකමට වත් එහෙම වෙයි කියල දෙන්නම හිතුවද? ජීවිතේ මහ පුදුම දෙයක්...

කාලයක් තිබුනා දෙන්නම වැඩ ඇරිලා දුවගන එන්නෙ ස්කයිප් කෝල් එක ගැන බලාගෙන.වෙලාව හරියනකන් චරක කෑල්ලට කෝල් එකක් අරන් නලවලා කරලා නිදි. X ආපු ගමන් නිදිමත කොහෙද නැතුව පැය ගානක් ස්කයිප් එකේ මොනවද නොකලෙ..
බීල බීලා වෙරිමරගාතෙ හිටියත් කතාව නැවතුනේ නෑ.. ඒ කියන්නෙ දෙන්නගෙන් කවුරු වෙරිපිට හිටියත්.

අවුරුදු ගණන් වැඩේ ඇදෙනකොට දෙන්නා ගැන නොදන්න දෙයක් දෙන්න අතරම තිබුනෙම නැති තරම්.. චරක නොදැන හිටියෙ X එකපාර චරක වගේම කීදෙනෙක්ව හැන්ඩල් කරනවාද? උන් කවුද කියන එක විතරයි. හැබැයි ඒ කවුද කියල චරක කවදාවත් ඇහුවෙ නෑ... X කාගෙවත් විස්තරයක් චරකට කිව්වෙත් නෑ. හැබැයි පත්තිනි වෙන්න උත්සාහ කලෙත් නෑ... අමුතුයි.. අමුතුම අමුතුයි

කාලෙක් තිබ්බා X පිස්සුවෙන් වාගෙ චරක මත්තෙම නැහුනු.. ඒ කාලෙ අවටියෙල් වැඩත් ඔක්කොම වගේ නවත්තලා පූර්ණව චරක වෙනුවෙන්ම වෙන් වෙලා හිටපු බව දැනගන හිටියත්, X සහ කෑල්ල අතරින් කෑල්ලව නිතරම උඩින් තියාගන්න චරක වෙහෙසුනා... ඇත්තටම නිරායාසයෙන්ම ඒක උනා...
ඒ කාලෙ X ඇඬූ කන්දුලින් චරකට ආදරෙයි කියපු හැටි....
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........
තාමත් ඇහෙනවා වගේ.. පපුව ඇතුලෙ ඇණුනු කටුවක් ගලවන්න වගේ චරක පපුව අතගෑවා.. ඒත් තුවාලෙ පෑරෙනවා විතරයි.
එකපාරටම මහ ඉරිසියාවකින් තමුන්ව රත්වෙලා යනවා ලාවට දාපු දාඩිය පාරක් අස්සෙන්ම චරකට දැණුනා...

'රට වටේ එක එකා එක්ක නිදාගත්තු බැල්ලි..!! කසාද බඳින්න... හෙහ්... පව් අර මිනිහා.. නිකන් කර ගහනවා.. ගොනා.."

මේ සිතුවිලි වලින් තව තවත් බර වැඩිවෙන බවක් චරකට තදින්ම දැණුනා.. එක පාරටම බිරිඳ නින්දෙන්ම අතක් තමන්ගෙ බඩ උඩින් දානකොට චරක ආයෙත් පියවි ලෝකෙට ආවා...
අඳුර අතරින් කණාමැදිරියො පියාඹනවා... වහලෙ මකුළුදැල් වල පැටලුණු කණාමැදිරියො එක තැන දඟලනවා... හැබැ‍යි එතනම මිය යනවා.. දැල කඩාගන යන්න හයියක් තියන කණාමැදිරියා වේගෙන් වේගෙන් ඉවතට පියාඹනවා..

'මම තීරණය කලා මැරි කරන්න' චරක කියපු වෙලාවෙ X නිකමට වත් කාවද කියලා ඇහුවෙ නෑ.. එයා දැනගන හිටියා ඒ එයා නෙමෙයි කියන්න. ලස්සනට හිනාවෙලා සුබ පැතුවා. ඒත් එක්කම වෙඩින් එකෙන් පස්සෙ අනන් මනන් ඔක්කොම නවත්තලා 'ඔයා දැන් බැඳපු මිනිහෙක්' කියලා චරකට කිව්වෙ මොනතරම් සෙනෙහසින්ද?
X තවමත් මට ආදරෙයි.. චරකට හිතුනෙ එහෙම.
ජීවිතේ අමාරු තැන් ආපුවාම තාත්තට කතා කරනවා වගේ චරකත් එක්ක ඒ දේවල් කතා කරන්න විතරක් X පුරුදු වෙලා හිටියා. ඒ කතා බහත් ටික ටික අඩුවෙනකොට X කාත් එක්ක හරි සිරියස් සම්බන්ධයක් තියනවා කියලා දැණුනු වෙලෙත් චරකට ඉරිසියාවක් දැනුනා.
තමුන්ට අයිති නැති උනත් වෙනකෙනෙකුට අයිති වෙන්න දෙන්න අමාරු ගතියක් දැණුනා...
දවසක් හදිසියෙන්ම කතාකරපු වෙලාවක චරක මේ බව කෙලින්ම කිව්වා...
'මෝඩයා..'

X කිව්වෙ එච්චරයි.

හ්ම්ම්... මෝඩයා.... එයාට යන්න දෙන්න.. ආදරේ කරපු කිසිම දෙයක් බලෙන් අයිති කරගන්න හිතුවෙ නැති... තමන් වෙනුවෙන් කිසිමදාක පෙනී හිටියෙ නැති බොහොම විවෘත්තව තුරුම්පු කොල ඔක්කොම තියාගෙනත් සෙල්ලම විහින් පරාදවෙන්න තීරණය කරපු ඒ කෙල්ලට ඉරිසියා කරපු උඹ මෝඩයා තමා...

එයාට යන්න දෙන්න... ජීවිතේ පටන් ගන්න දෙන්න... ජීවිතේ රශ්මියෙන් පිච්චෙන වෙලාවක සිහිලැල් හෙවනක් වෙන්න... නිමක් නැති පාරදිගේ හෙමින් හෙමින් ජීවිතේ අහුලගෙන එයා යන හැටි බලාන ඉන්න.... සුබ මංගලම්..!!

චරකට පොඩි සැහැල්ලු හුස්මක් පිට වුනා..

බිරිඳට තුරුල් වුනු චරකගෙ සියුම් ගෙරවිලි නාදයක් හෙමින් හෙමින් වා තලයට එකතු වුනා....

Wednesday, May 9, 2018

ඒ විජය මම වෙමි



කුවේණිය නුඹ දන්නැතුව ඇති
සාප ලත්
ලාට රට සිටු මැදුරු බිඳ දා
දිළින්දන් කුසගින්න නිව්වෙමි
නොරිසි රජ සැප තියාගත්දෙන්
ද්‍රෝහියා මං පිටුවහල් විම්
නුඹයි ජීවය
නුඹයි ප්‍රාණය
රැක ගන්න නම් දීප වාසින්
තමයි මම කැපකලා ඔබ
තමයි මම කැපකලා දරුවන්
පසුපසින් ආ මගේ පාපය
නොගිලගනු වස් ඔබේ දීපය
ලදිමි සාපය ලදිමි මම
මුවින් නොදොඩා එකදු වදනක්..

Thursday, December 7, 2017

කැරට්




වැඩිය ගෙදරින් එලියට බහින්න අකමැති සෝමවීර කාලෙකින් නුවර ආවෙ ලෙඩෙක් බලන්න.ඉස්සර එකට වැඩ කරපු මුණේ අසනීප වෙලා කියල ආරංචි උන ගමන් මිනිහව බලන්න ඕන කියල සෝමවීර තීරණය කලා.වැඩ ඇරිල යන ගමන් හවසට පොඩි අඩියක් කාරිය ගහලා කයියක් ගහල හිටපු මනුස්සයානෙ.

සීනි අමාරුව කියන්නෙ නම් කාලකණ්නි ලෙඩක්. කකුල් හිරිවැටිල හිටපු මුණේ ගෙ කකුලෙ කටුවක් ඇනිලා වෙච්ච තුවාලෙන් ඇරඹුනු ගමන නම් එච්චර සුභ නැති බව මිනිහා එක්ක හිටපු පැය තුන හතරෙදි සෝමවීරට තේරුනත්, බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන උන්නු මුණේට මුකුත් නොකියා ආයෙ එන්නම් කියල පිටත් උනේ මිනිහා මියැදෙන්න කලින් තව එකපාරක් හරි එනවමයි කියල හිතාගෙන.

'මහත්තයා එනකොට කැරට් කිලෝ එකක් අරන් එන්න.. නුවරින් අළුත් එව්වා ගතහැකියි නෙ'
නෝනගෙ කෝල් එක අමතක උනොත් ආයෙ ගෙදර ගිහින් හමාරයි. නිස්සද්දව පැත්තකට වෙලා ඉන්න කැමති සෝමවීර අකමැතිම නෝනගෙ කට අවුස්සගන්න එක. ඉස්සර නම් හිතලම මොනව හරි කරලා අවුස්සගත්තත් දැන් නම් ඒකත් කංකරච්චලයක් කියල දැනෙන බව හංගන්න සෝමවීර උත්සාහ කලේ නෑ.

නුවර එළවලු මාකට් එක වටේ රවුමක් ඇවිදලා බැලුවත් හොඳ කැරට් ටිකක් හොයාගන්න එක නම් ලේසි නෑ.. ඔක්කොම ඇඟිලි සයිස් කූරු කූරු අල. කොහෙ බැලුවත් එච්චරයි.. ආයෙ මක්කරන්නද මීට වඩා.. කියල හිතපු සෝමවීර වෙළෙන්දෙක් ලඟට කිට්ටු කරා.
'මුදලාලි මට කැරට් කිලෝ එකක් දෙන්න'
'මල්ලක්.. මල්ලක්... මල්ල දෙන්න..'
මල්ලක් නෑ නෙ.
'සොපින් නෑ.. සොපින් නෑ... පණහක් දීල මල්ලක් අරන් එන්න'

මුදලාලි කෑ ගැහුවෙ එතන මලු විකුණන පැත්තට අතක් දික් කරලා ජේලර් කෙනෙක් හිරකාරයෙක් එලවන ස්වරේකින්..
රජයේ සේවකයෙක් වෙලා උන්නු සෝමවීරට තරහක් දැනුනු නිසාම වෙන අතක් බලාගෙන ගියා..
'හහ්.. මූ ලඟ විතරද කැරට් තියෙන්නෙ..'

ඊලඟ වෙළෙන්දා ලඟට ගියපු සෝමවීර කෝකටත් කියලා කැරට් ගොඩෙන් ටිකක් ලොකු ලොකු ඒවා බල බල අතට එකතු කරන ගමන් කිලෝ එකක් කියල කිව්වා.
'මහත්තයා..' මුදලාලි බොහොම හිතවත් කමට කතා කරලා ලං වෙන්න අතින් සංඥාවක් දුන්නා...
වටේ කාටවත් ඇහෙන්නෙ නැතිව මුදලාලි මෙහෙම කිව්වා..
' මහත්තයා.. ඔයයි මායි මෙතන බොරුවට රණ්ඩු වෙලා තරහ වෙන්න ඕන නෑනෙ. කැරට් තෝරන්න දෙන්නෙ නෑ.. ඔයා යන්න.. යන්න.. ඔයා යන්න'
තෝරපු කැරට් ටික මුදලාලිගෙ අතට ම දීලා මුදලාලි වගේම හිතවත් හිනාවක් හිනාවෙලා එතනින් හෙමින් හෙමින් පියනඟන සෝමවීරට 'කැරට් ලාභායි... බෝංචි ලාභා...යි' සද්දෙ හරි සංගීතයක් ඇහෙනවා වගේ දැනෙන්න උනා..

දැන් ඉතිං කැරට් නැතුව මාකට් එකෙන් එලියට යන්න බෑ.. කොහොම හරි අරන් තමයි යන්නෙ කියලා සෝමවීර පොඩි තරුණ පහේ ගැටයෙකුගෙ එළවළු තට්ටුවට කිට්ටු කරා...
'පුතා.. කැරට් කිලෝ එකක් දෙන්න'
'බෝංචි... ලීස් වැටකොළු එහෙම..???' අහන ගමන් කොල්ලා බොහොම සුරුවමට කැරට් අහුරක් අරන් ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් තිබ්බා.. ග්‍රෑම් පන්සිය ගානක්..

'ක්‍රැට් දෙසිය පණහයි'..
එක පාරටම සුවඳ පතුරගන ආපු පැඟිරි කෙල්ලක් තාලෙට කිව්ව පමාවට කොල්ල තරාදියෙන් කැරට් ටිකක් එලියට දාලා දෙසිය පණහ හදන්න පටන් ගත්තා..
'යකෝ මට දාපු කිලෝ එක අතෑරලා පස්සෙ ආපු එකීගෙ දෙසිය පණහ දානවා.. මූ...'
සෝමවීරට ක්ශණිකව ආපු තරහට කන් දෙකත් රතු උනා..
එහෙම්මම ආපහු හැරුනු සෝමවීර දිග අඩි තියමින් එතනින් අයින් වෙනකොට වරද වටහ ගත්තු කොළුවා 'සර්.. සර්...' කියනවා ඇහුනත් පස්ස වත් බැලුවෙ නෑ..

මාකට් එකේ දෝංකාර දෙන සද්ද මැද්දෙන්පාට පාට එළවළු තට්ටු අස්සෙන් කැරට් ගොඩවල් තැඹිලි පාටට හිනාවෙන හැටි සෝමවීරට පෙනෙනකොටම එක කැරට් ගොඩකට විරිත්තලා ගාණ අහන්නෙවත් නැතුව කිලෝ එකක් අරන් එලියට බැහැලා බස් එකට ඇවිල්ලා වාඩි වෙලා නලලට දාපු දාඩිය ටික පිහගත්තට පස්සෙ.. ලොකු හුස්මක් පිට කලා..

තදට අල්ලගත්තු කැරට් පාර්සලේ සෝමවීරගෙ අතින් අතෑරුණේ කිලෝමීටර් ගාණක් බස් එකේ ගිහින් බැහැලා ආයෙ පයිනුත් ගිහින් ගෙදරටත් ගිහින් ගේ ඇතුලට යනකොට නෝනා ' වීරේ, කැරට් ගෙනාවා නේද?' කියල අහනකොටයි. එතකොට ඔන්න දෙවනි දිග සුසුමත් පිට කරලා ශර්ට් එකේ බොත්තං ලිහිල් කලේ හරිම මහන්සියක් දැනෙන්න ගත්තු නිසා..
කාලෙකින් නෙ එලියට බැස්සෙත්...

'මොනවද මනුස්සයෝ... මේ උස්සගෙන ඇවිත් තියෙන්නෙ..? මම කිව්වෙ කැරට් ගේන්න කියලා.. මේ මොනවද මේ නූල් නූල් වගේ...????'

'හ්ම්ම්... '
ශර්ට් එකේ බොත්තං තුනක් ගලවනකොටම නෝනා වර්ණනාව පටන් ගත්තා.. එහෙම්මම සාලෙ පුටුවක් උඩට 'දඩස්' ගාලා අතෑරලා දාපු කැරට් පාර්සලේ දිහා ඇස් කොණෙන් බලපු සෝමවීර හෙමින් සැරේ ටැප් එක පැත්තට ගියා..

පොඩි වොශ් එකක් දාගෙන ආපු සෝමවීරට උණුසුම් තේ කෝප්පයක් හදල දෙන්න නෝනා පුරුද්දෙන්ම ක්‍රියා කලා.. සන්සුන් විදිහට මුණේ ගැනත් විස්තර ඇහුවා.. ඒ අහන ගමන් කුස්සියට යන්න පිටත් වෙනකොටම අර කැරට් පාර්සලේ දැක්කා..

' මොනවද වීරේ මේ පොඩි දරුවෙක් වගේ කරන වැඩ..? මෙව්ව උස්සන් එනවද මෙහෙම ගෙදරකට? අඩු ගානෙ ගාන වත් අහන්නැතුව ගන්න ඇත්තෙ.. මම දන්නවානෙ ඉතින් කෙනාගෙ හැටි..'
නෝනගෙ කට ආයෙත් මුවහත් වේගන එනකොට සෝමවීර හෙමිහිට වත්ත පහල බණ්ඩක්කා , අමුමිරිස් හදපු පැත්තට පල්ලම් බහින්න පටන් ගත්තා..

රෑට කන්න සූදානම් වෙනකොට ඔන්න තවත් වතාවක් නෝනගෙ ඉවසීම නැති උනා..
'වීරෙ.. ඕන දෙයක් කරල සද්ද නැතුව ඉන්න නම් දන්නවා. ඔයාට වැඩ කියනවාට අකමැතියි කියල දන්නවා.ඒත් ඉතිං මෙහෙං ගිණි ගණන් වලට කැරට් ගන්නවාට වඩා නුවරින් අළුත් පිට හොඳ ඒවා ගන්න පුළුවන් නිසානෙ ඔයාට ගේන්න කිව්වෙ.. ඒත් බලන්න ඔයා කරපු දේ.. මූණට දමල ගැහුවා වගේ වැඩක් නෙ...'

තරහටත් එක්ක ගැම්මට වැඩ කරන ගමන් 'සුරුස්..' ගාල හොටු දල්ලක් ඉහලට අදින ගමන් නෝනා ඇත්තටම හිතේ වේදනාවෙන් කියවන හැටි සෝමවීර බලන් හිටියෙ හැඟීම් විරහිත මනුස්සයෙක් වගේ.. ඇත්තටම කිසිම හැඟීමක් දැනුනෙ නෑ කිව්වනම් හරි තමා..

ඈත ඉස්කෝලෙක වැඩකරන දුවව බස් එකට දාන්න උදේ පාන්දර යන්න වෙන නිසා කලින්ම නිදාගන්න ඇඳට ගිය සෝමවීරට මහන්සියටම නින්ද ගියත්.. හ්දිස්සියෙන්ම ඇහැරුනේ කුස්සියේ වැඩ ඉවරකරලා ඇඳට ආපු නෝනාගෙ ගැස්සිල්ලට..

'ඇත්තටම මට තාම හිතාගන්න බෑ ඔයා ඇයි මෙහෙම දේවල් කරන්නෙ කියලා.. ' ආයෙමත් කුණු කුණු සද්දෙට නෝනගෙ කියවිල්ල පටන් ගත්තා නින්ද නොනින්ද අතරින් සෝමවීරට ඇහුනා.

එදා රෑ හීනෙන් සෝමවීරට ලොකු කැරට් අලයක් පෙනුනා.

නෝනා පාන්දර නැගිටලා කුස්සියට ගිහින් වතුර එක රත් කරනකොට නැගිටලා කුස්සිය පැත්තෙ රවුමක් ගහන එක සෝමවීරගෙ පුරුද්ද.. තමන්ගෙ තේ මග් එක අරගන උගුරක් තොල ගාන ගමන් එලියෙන් එන සීතලට පපුව අල්ලපු සෝමවීරට කුරුලු සද්ද අහන්න කලින් නෝනගෙ සද්ද අහන්න උනේ නෝනා කැරට් උයන්න කල්පනා කරපු නිසා..
'බලන්න වීරෙ.. මේවා සුද්ද කරන්නෙ කොහොමද? අල්ලන්නෙ වත් කොහොමද? මේවා කැරට්ද අම්මපා..?? '

'හ්ම්ම්... ඒක තමා'
සෝමවීර කිව්වා.
' කෝ දෙන්න බලන්න..' 

කියලා දෝත පෑවත් නෝනා කුණු කුණු ගාන ගමන් උනත් කැරට් ටික සෝමවීරගෙන් ඉවතට අරන් තිබ්බෙ මේ නම් කැරට් බැලිල්ලට වඩා වත්ත පහල ගෙම්බන්ට කැරට් පෙන්නිල්ලකට සැරසෙන බවක් දැනුනු නිසා වෙන්න ඕනෙ.

එහාට මෙහාට වෙලාව ගතවෙනකොට හිත තැලුනු සෝම වීර කෑම කාමරේ පුටුවකට වෙලා පරණ පත්තරයක් බලන්න පටන් ගත්තා.

දුවත් නැගිටලා කුස්සිය පැත්තට ආවෙ තමන් හා හා පුරා කියල වැඩ භාර අරන් වැඩ කරන අති දුශ්කර පාසලට රෑ කළුවර වෙන්න කලින් යන්න නම් ගෙදරින් පාන්දර කළුවර තුරන් වෙන්න කලින් පිටත් වෙන්න ඕන නිසා.

'ඔන්න බලාගනින් දුවේ උඹේ තාත්තගෙ කැරට්..! මෙව්ව තමයි නල්ල මලෑඉ කැරට්..!! ටිකක් ඔතා ගනින් උඹේ ළමයිටත් පෙන්නන්න .. උනුත් දැකල නැතුව ඇතිනෙ මොනවද කැරට් කියන්නෙ ..කියලා'

නෝනගෙ සද්දෙ කුස්සියෙන් එනකොට නම් සෝමවීරට තවත් උහුලන් ඉන්න බැරි උනා...

අඩි දෙකට කුස්සියට යැවුනු සෝමවීරට තමුන්ගෙ කට පාලනය කරගන්න සෑහෙන වෙලාවක් ගත උනා.. වේගයෙන් ගැහෙන හදවත වෙනම දැනෙන්න පටන් අරන් දාඩියකුත් දාල මහා මහන්සියක් දැනෙනකොට තමා සෝමවීරට තමුන්ට තරහ ඇවිස්සිලා කියල තේරෙන්න පටන් ගත්තෙ..

එහෙම්මම කතා නැතුවා කාමරේට ගිහින් කමිසයක් දාගෙන දුව සූදානම් වෙලා එනකන් ඉස්තෝප්පුවට වෙලා බලන් ගිය සෝමවීර පුටුවක ඉඳගත්තා...

කැරට් අලයක් වගේ හැඩේ තියන ඉස්කූටරේ නංවගන දුවව ගෙනිහින් බස් එකට නග්ගනකොට දුවගෙ මූණ ඉඹිනකොටයි දැක්කෙ දුවගෙ නහයත් නිකන් කැරට් අලයක් වගේ නේද කියලා..

රතුපාට ලයිට් එක්ක පත්තු උන තැඹිලි පාට සිග්නල් ලයිට් එක අඳුරෙ දිලිසුනේ කැරට් අලටක් වගේ... බස් එකත් ඉස්සරහ ලොකු පස්ස පොඩි කැරට් අලයක් වගේ ලොකුවට තිබිලා පොඩි වෙවී ගිහින් නොපෙනීම ගියා..

සෝමවීර එතනම බිම ඉඳගෙන ගෙදර ගෙනියන්න කැරට් ගලවන්න පටන් ගත්තා..

Friday, June 2, 2017

සුපෙම් හැඟුම් ඔබෙන් එපා....

(අඳුරේ යහන මත ටැබ් එකක තිරය දෙස බලා සිටින දැරියක්)

දිව්‍යා ෆෝන් ස්ක්‍රීන් එක ඕෆ් කලා... ගොඩක් වෙලා තමුන් බලන් හිටිය ඒ රූපය තාමත් හිතේ ඇඳිලා.. ඇස් ඇරල පොඩි කරගෙන ආයෙ පියාගත්තත් පාට පාට බෝල අස්සෙන් මතුවෙන්නෙම ඒ මූණ.
ඔන්න ඔහෙ ඕනදෙයක් වෙන්න කියල රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්නත් හිතෙනවා.. ඒත්... ඒත් ඒකෙන් මොනවගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියල හිතෙනකොට ඒ අදහස ආයෙ අතෑරෙනවා... තමුන්ට නෙමෙයි... මේ රූපෙ හිමිකරුට ප්‍රශ්නයක් වෙයිද කියන එකයි දිව්‍යට තියන ගැටළුව.

අවුරුදු ගාණකට කලින් තමුන් ම සෙල්ලමට වගේ රික්වෙස්ට් එකක් යවපු මේ හාදයා තමුන්ගෙ ජීවිතේට මේ විදිහටම බලපෑමක් වෙයි කියල දිව්‍යා ඒ දවස්වල නම් නිකමටවත් හිතුවෙ නෑ.
කැම්පස් එකෙන් අවුට් වෙලා ගෙදරට වෙලා හිටපු කාලෙ පාළුව යන්නත් එක්ක ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවට... ඕකෙ උඩ පාත ගියාට දන්නෙ නැති මනුස්සයෙකුට රික්වෙස්ට් එකක් දාන්න හිතුනෙ මෙයාට තමයි මුලින්ම.
දැක්ක ගමන්ම ඇහැ නැවතුනා.
ලස්සන කොල්ලෙකුත් නෙමෙයි.
නිකමට හොයල බලන්න හිතුනා..
ප්‍රොෆයිල් එක බලන ගමන්ම රික්වෙස්ට් එක දැම්මා.දවස් කීපයක් ගියා හැබැයි ඇපෲව් වෙන්න.

කොල්ලා පරිස්සං කෙනෙක් වගේම අමුතු කෙනෙක් කියල තේරුනේ තමුන් ෆේක්ද නැද්ද කියල දන්නෙ නැති බව කියලම ඒත් නිදහසේ චැට් එකට ආපු නිසා.

මුල අල්ලලා දීපු ගමන් මුලින් කතා කලේ තමුන්ද එයාද කියලවත් මතක නැතුව මිනිහ බැට්න් එක ගත්තු හැටි... පස්සෙ දිව්‍යම ගනන් උස්සලා ලයින් අල්ලපු හැටි මතක් වෙලා දිව්‍යට පොඩි හිනාවක් ගියා.
මෝඩයා....

ආයෙත් ෆෝන් එක අතට අරන් ඒ මූණ බලන්න ආසාවක් ආවා.
නෑ... බලන්නෑ... එයා... එයා.... ඕන නෑ.
ඇඳ හෙල්ලෙන්නම තරම් හයියෙන් අනිත්පැත්තට හැරිලා වකුටුවෙලා අඳුරෙම ඇස් ඇරගෙන දිව්‍යා වටපිට බැලුවා.කණාමැදිරියො කීප දෙනෙක් එහෙ මෙහෙ පියාඹනවා... මදුරුවො කූං... ගාගෙන යනව ඇහෙනවා.මදුරුවාගෙත් ගෑණු සතාලු මිනිස්සුන්ගෙ ලේ බොන්නෙ.පිරිමි මදුරුවා ගස්වල යුෂ ලු බොන්නෙ.මිනිස්සු වගේම තමා.මිනිස්සුත් මොකක් හරි ගහකින් පෙරාගන්න යුෂකට පුදුම පෙරේතකමක් නෙ තියෙන්නෙ.ගස්වල යුෂ බොයි.කොල පුච්චන් දුම අදියි... පිරිමි ඔක්කොම එකයි.මොලේ ටිකක් කචල්.. හිකිස් ගාල හිනාවක් ආයෙත් කටෙන් පනිනකන්ම දිව්‍යා දන්නෙත් නෑ.

දවස් ගනන් චැට් කරපු හැටි ටිකෙන් ටික මතක් කරනකොටත් ආයෙත් ඒ කාලෙට ගියා වගේයි දිව්‍යට දැනෙන්නෙ.කිසි කලබලයක් නැතුව තමුන්ගෙ හිත ආක්‍රමණය කරලා මාලිගාවකුත් හදාගත්තට ඒ මනුස්සයා හැසිරුනේ මාලිගාවෙ සැප විඳින ගමන්ම තමුන් ඉන්නෙ මාලිගාවෙ නෙමෙයි වගේ විදිහකට නේද කියන එක තවමත් ප්‍රශ්නයක්..
මේ ගතිය නිසාම දිව්‍යා නිතර නිතරම උත්සාහ කලේ එයාට ආගන්තුකයෙකුට වගේ කතා කරන්න.. සලකන්න.. ඒවා එයාගෙ හිත රිදවන කාරණා කියල දැනදැනත් මොකද්දෝ හේතුවකට එයා හිත රිදවගන තරහින් මැසෙජ් එවන දිහා බලන් ඉන්න තමුන් පුරුදු උනා නේද කියලත් දිව්‍යට මතක් උනා.චැට් එකෙන් එහාට හිහින් රෑට කෝල් කරපු කාලෙ හිටපු ගමන්ම බැට්‍රි ලෝ කියල කෝල් කට් කරන එකෙන් දිව්‍යා අමුතු වින්දනයක් ලැබුවා.බොහොම වෙලාවට ඒ කෝල් එකේ තියන හැඟීම්බරම උච්ඡතම මොහොතක...
බොහොම හැඟීම්බර මනුස්සයෙක් උනු එයා එක්ක විනාඩි කීපයක් කතා කරත් තමුන්ගෙ හදගැස්ම වැඩි වෙලා මූණත් රත් වෙලා පිබිදෙන හැටි... ඒත් එක්කම කෝල් කට් කරන එක සිද්ධ උනේ අනාගතේ ගැන දැනුන ඉවකින්වත්ද කියලා ආයෙ ආයෙත් සිහි කරන එක ඔලුවට මහ වදයක් වෙලා තියෙන්නෙ දැන් නම්..

මොනව උනත් දැන් ඒ දේවල් වැඩක් නෑ... යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න පටන්ගත්තෙ දේවල් මේ විදිහට වෙයි කියල හීනෙන් වත් හිතාගෙන නෙමෙයි.යාළු කමින් එහාට යන්න උවමනාවක් නොපෙන්වාම හිටපු නිසා එයත් එහෙම්මම හිටිය වත්ද?
අද දිව්‍යට කොච්චර එයාව මතක් උනත් එයාගෙ ලඟට යන්න බෑනෙ කියල මතක් වෙලා දිග හුස්මක් හෙලුනා.
අවුරුදු ගාණක් කොච්චර කෝල් කලත්,කොච්චර චැට් කලත් ඇත්තටම හම්බවෙලා කතා කලේ එකම එක දවසක් කියන එක විශ්වාස කරන්නෙ මේ ලෝකෙන්ම දෙන්නයි.ඒ දිව්‍යයි එයයි විතරමයි.එච්චරකට අභව්‍ය උනත් ඒ සිදුවීම ඇත්තටම සිද්ධවුනේ එහෙම.
නිදහසේ හම්බවුනු දවසෙත් ඔහේ විකාර කිය කිය හිටිය මිසක් වැදගත් දෙයක් කතා කලේම නෑ... පැය දෙකතුනක් කතා කරනකොට දිව්‍යව ඕන තැනකට ලේසියෙන්ම එක්කගෙන යන්න පුළුවන්කම තිබිලත්,ඒ බව ඇඟවිලත් නොතේරුණා වගේ අතින් විතරක් යන්තන් අල්ලලා වල් කතා ගොඩක් කියලා හිනා වෙවී යන්න ගිය හැටි දිව්‍යා ආසාවෙන් මතක් කලා. ෆෝන් එකේදි තියන දඟකාරකම හැබෑවට හම්බුනාම එලියට දැම්මෙ බොහොම පරිස්සමින්.තමුන්ගෙ ගෞරවේට හානි වන මුකුත් නොවෙන්න හැසිරෙන්න එයා කොච්චර පරිස්සම් උනාද? හැමෝටම පේන ප්‍රසිද්ධ තැනක හමු වෙලා ඒ විදිහටම වෙන් වෙලා ගිය ෆේස් බුක් එකෙන් හම්බුනු එකම ජෝඩුව අපිද?
හැබැයි ගිය වෙලාවෙ ඉඳන් දැකපු දේවල් නොදැකපු දේවල් ඔක්කොම එක්ක කියපු කතා ටික නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි... ඒ කතා මතක්වෙනකොට තමුන්ගෙ කම්මුල් රත් වෙනවා දිව්‍යට දැනුනා.

මොනවද මේ කල්පනා කරන විකාර....

මොනවා උනත් එයා දැන් ගිහිල්ලා ඉවරයි...

හම්බවෙලා ගියාට පස්සෙ උනත් කොච්චර ලංවෙන්න හැදුවත් තමුන් විහින්ම හදාගත්තු බාධක එකක් වත් ලිහිල් කරන්න දිව්‍යා ලෑස්ති උනේ නෑ.එදා මොන දේ වෙන්න ගියත් පාලනය උනේ එයා.දැන් පාලනය වෙන්නෙ මම.ඒ දිව්‍යා හිතපු හැටි.හිටි ගමන් දවස් ගණන් චැට් නොකර ඉන්න පවා තමන් පෙළඹුනේ ඇයි..??

හදිසියෙන්ම දැනුම් දුන්නු එයාගෙ විවාහය ගැන පණිවිඩේ දිව්‍යාව ආයෙ මහ පොළොවට ගෙනාවා.තමුන් වටේ කැරකුනු මංගල යෝජනා අතර එයාවත් කෙනෙක් විදිහට තමුන් තියාගත්තා වගේම එයාටත් ඒක කරන්න සිද්ධවෙන්න ඇති..
හරි ලස්සන කපල් එක..
වෙලාවකට හිත ඉරිසියාවෙන් බර උනත්.... මේ වෙනකොට ගැඹුරට කල්පනා කරන හැකියාවක් දිව්‍යට පුරුදු වෙලා තිබුනෙ ඉලක්කම් ලොකු වෙවී වයසට යන නිසාද නැත්තම් ලැබෙන අත්දැකීම් ප්‍රමාණයත් එක්කද කොහොමද මන්දා ඒ සියළු දේවල් උපේක්ශාවෙන් විඳගන්න දැන් පුළුවන්.

එදා දිව්‍යා පහන්ටැඹක් වෙලා ඈත ඉඳන් නැවකට පාර කියනවා වගේ එයාව ආශ්‍රය කල විදිහ ඒ විදිහටම පිළි අරන් එයා නෞකා චරිතය බාරගත්තා.

නෑ... දිව්‍යා භාර දුන්නා..
නොදැනම.


පහන්ටැඹට ඕනවාට වඩා ලංවෙන මොන නෞකාවටත් වෙන්නෙ ගල්පර වල හැපිලා විනාස වෙන්න.ඒත්.... ආසාවෙන් පාර කියපු ඒ ලස්සනට ගමන් කරන නැව විනාස වෙනව දකින්න දිව්‍යා කැමති උනේ නෑ.
රික්වෙස්ට් එක ඔහේ තිබුනාවෙ.බ්ලොක් නොකර ඉන්නතාක් ඈත ඉඳන් ඒ රූපෙ බලල සැනසෙන්නම්. දිව්‍යට හොඳටම විශ්වාසයි එයත් මේ වෙලාවෙ තමුන් දිහා බලාගෙන ඉන්න බව.


හිත හදාගෙන ඇස් පියාගන්නකොටම බෝඩින් නංගිව නයිට් ශිෆ්ට් එකෙන් පස්සෙ ගෙදරට දාන්න ආපු වාහනේ වාදනය වුනු ගීතය දිව්‍යගෙ දැවෙන හිතට සිසිලසක් දනවන ආලේපයක් උනා..


සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි 'ඔබ' ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම්..

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරුවේ පාළුවෙන්
පිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකිනතුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි 'මා' ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ


Friday, May 12, 2017

පාරදිගේ.... දිගේ... දේගේ.... ගියපු කතාව

ගස්ලබ්බගෙ පුදුම ආසාවක් තියෙන්නෙ ඉබාගාතෙ ඔහේ අයාලේ යන්න.ආසාවක් තිබ්බ කියල ඕක ඉතින් කොරන්න පුලුවන් වැඩක් යැ.හෙහ් හෙහ්.ඒත් ඉතින් ඔය ආසාව යම් පමණකට ගොඩ දාගන්න ඇහැක් උනා පහුගිය දවසක.
දැන් මේ ලියන්න යන්නේ ඒක ගැන.
ගමනට අපි හතර දෙනෙක් සෙට් උනා.
මම තුමා, පියා (ජනිත.), සිරා (වජිර.) , හැරී(හේමන්ත.)
ඔන්න අපි හෙමින් සැරේ දවස් සෙට් කොරගත්තා.

හැරියා පාන්දර දෙකට විතර ආවා.දෙන්නට කියවන්න බොරු ලිස්ට් එකෙ සෑහෙන්න පිරිල තිබුනෙ ඒකා කාලයක් ඔටු දේසෙ හිටපු නිසා.(මේකා මට ශීෂ එකක් ගේන්නම් කියලා ගෙනාවෙ නෑ නෙ.එයාපෝට් එකෙන් අල්ලයි කියල බයේ.)
ඉතින් උට වෙල්කම් ස්පීච් එකක් දුන්නා 'ඇයි මම ආවේ?' කියල හිතෙන්න. රෝස් පානයක්,ඔම්ලට් එකක් කාල ඌව දොයි කරලා ගස්ලබ්බත් නිදාගත්ත පාර ඇහැරුනේ අනික් ගැස්ටා 'පියා' ඇවිල්ලා හෝන් කරලා හෝන් කරලා ගේට්ටුව උඩින් පනින්න යනකොට. (මේ දවස් වල ගස්ලබ්බට එලි වෙන්නෙ උදේ පාන්දර 10ට විතර බව පාඨකයන් දැනගන්න එක වටී.)

කෝමින් කෝම හරි අතට අහු උන බඩු ටික වාහනේට දාගන්න ගස්ලබ්බි ඇස්.ඇම්.ඇස් කොරපු චෙක් ලිස්ට් එක පරෝජං උනා.

ඔන්න පියයි,සිරයි,හැරියයි,ගස්ලබ්බයි දෙයියනේ කියල යන්නෙ කොහෙද නොදැන පිටත් උනා.
හැබැයි මඟ දිගට එකම අඳෝනාවයි... හදිස්සියට මතක බැරි උන දේවල් එකින් එක මතක් වෙනෝ.පියා ආපහු හරවන් යන්න හැදුවත්,සිරයි හැරියයි පස්ස ගැහුවා.නමෝ විත්තියෙන් පිටත් උන ගමන ආපහු හැරෙන්න හොඳ නෑ කියලා කොහෙදෝ හිටපු ජූතක බමුණෙක් කිව්වයි කියලා... හෙහ් හෙහ්

කොහෙද යන්නෙ කියල කාටත් වගක් නෑ. ගස්ලබ්බි අහන නිසා මඩොල්සිමයි ආරුගම්බොක්කෙයි යනවා කිව්වට ශුවර් නෑ.
ඔන්න අපි වාහනේ නුවර පැත්තට ඇදෙනවා.හැබැයි නාකි බල්ලා කොළඹ යනෝ වගේ තමා.මොකද පියා තීරණයක් අරන් තිබුනා විනයගරුක රියදුරෙක් වෙන්න.
නෙද්දකින් ඕකගෙ මාර්ග විනය.



අන්තිමට විනය තකන්න දැඩි තීරණයක් අරගෙන නුවර එළියෙ යමුයි කියලා දැම්මා ශෝට් කට් පාරකට.කියන්න සන්තෝසයි පිවතුනි,එක දිගටම ට්‍රැෆික්.මොකද්දෝ ඇක්සිඩන්ට් එකක් හැප්පිලා.ආපහු හැරෙන්නත් බෑ.යන්නත් බෑ.
සර්ව සුභවාදී ගස්ලබුතුමාගේ බඩේ පණුවො කියපු දේ අහලා මේ ට්‍රැෆික් එක අපී බ්‍රෙක්ෆස්ට් එක කොර ගත්තා.පියා ගෙනාපු පාන් ටෝස්ට්,තේ බෝතලේ නිසා ගේම ලස්සනට ගියා.ඒ අස්සෙ පොලිසියෙන් පෙන්නපු අතුරු මාර්ග හැම එකකකටම හරව හරව කාර් එකකින් සෆාරි අත්දැකීමක් ලබන්නත් ඇහැක් උනා. (පව් අහිංසක වාහනේ.)

යන අතරේ පියාගෙ නොස්ටැලජියාව උග්‍ර වෙලා උට ඉහලකොත්මලේ බලන්න ආසාවක් ඇති උනා නෙව.

ඒ අතරෙ සිරාගෙ තිබහත් වැඩි වෙලා කනු කුනු ගානවා.(හරි හරි ඉතින් ගස්ලබ්බත් ඒකට උල්පන්දම් දුන්නා තමයි.) හැබැයි ලස්සන පොට් එකක නවත්තඥ්ඥං නවත්තඥ්ඥං කිය කිය පියා අපිව සෑහෙන්න .. නෑ නෑ.. නොසෑහෙන්න රස්තියාදු කරා.



(ඩන්සිනන් ඇල්ල)


හැබැයි බුවා අපිව ලස්සන දියෑල්ලක් වන ඩන්සිනන් ඇල්ල ගාවින් බැස්සෙව්වත් එතන කෝවිලත් එක්ක නාක වැඩ කොරන්න හොඳ නෑ කියලා ආපහු ලස්සන තැන් හොයාගෙන නඩේ පිටත් උනා.

මෙතනදි කියන්න ඕනම දෙයක් තමා පියයි සිරයි කියන්නෙ අමුතුම පිස්සුවකින් පෙලෙන දෙන්නෙක්.මුන්ට ඕනෙ ලංකාවෙ හැම පාරකම යන්න.වෙහෙසක් මහන්සියක් නැතුව දුර වටරවුම් පාරවල් ගූගල් දෙයියන්ගෙන් අහ අහ බල්ලට ඇති වඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියල ඔහේ යනෝ.අපිත් ඉඳන් ඉන්නෝ.. මුන් යනෝ.. අපිත් ඉඳන් ඉන්නෝ.. මුන් යනෝ...
මේක හරියන අධෝමාර්ගයක් නෙමෙයි කියල ගස්ලබු තෙමේ රෞද්‍ර වෙස් ගෙන සිංහනාද පවත්වා පාර අයිනෙම වාහනේ නවත්තන්න බල කොලා.මෙන්න මේ පිං (වත්)පියා නැවැත්තුවේ දඩ කුණුගොඩක් ලඟ. කුණු කියන්නෙ රත්තරං කියනවානෙ.
ඔතින් ඒ සුගන්ධවත් වටපිටාවේ එඩ්වඩ් රජුරුවන් එක්ක මඳ පමණට ආශ්‍රය කරන්න අවස්ථාවක් උදා උනා ඔන්න.

(මොනා උනත් එඩ්වඩ් සජ්ජුරුවො නං මල් හතයි ඔන්න.)

මෙච්චර වෙලා වාහනේ ඇතුලෙ තිබ්බ ගොබ්බ නිස්සද්දකම කුණුගොඩටම හලලා මෙන්න කොල්ලො සිංදු කියනවා..
කෑ ගහනවා...
සිරා තුමාගෙ හොම්බ දිග කැමරාව එලියට ඇවිත් සට සට ගාල පොටෝ කෑලි වදිනවා...
පියා තුමා මේ ලෝකෙ ඉන්න දක්සතම දේස ග වේස කයා වගේ කොමෙන්ට්‍රිය දෙනවා.
හැරි තුමා අම්ම මෝ නැතිව එව්වට ඌණ පූර්ණ දෙනවා... හොය්යා හෝයියා...

(තේ කූඩය හිසේ බැඳි කාන්තාවන්)

(තේ වත්තකට වළාකුලක් පාත් වෙනවා)

මඟ දිගට හරිම ලස්සන  දර්ශන ටිකක් දැක්ක හැබැයි.

පැය දෙක තුනෙන් ලංකාවෙ භූමිදර්ශන,කාලගුණය දඩ බඩ ගාල වෙනස් වෙන හැටි අද්දැකලම බලන්ටොනැ. හරියට මැජික් එකක් වගේ..

පිපිඥ්ඥා ගෙඩියක්,බීට් අලයක් ගන්න ගන්න මඟින් නවත්තන්න කම්මැලි වාහනේ ලස්සන කන්දක්,ගහක් දැක්ක ගමන් ස්‍රරාස් ගාල නවතින්න තරම් සිරාගෙ ඇඬියාව බලවත් වෙලා තිබුනා ඔන්න.

ඉබාගාතේ ඇවිදිල්ලේ තරම කියන්නෙ නුවර එළියට යනකොට හවස් වේගනත් ඇවිල්ලා.

(මේ බස් නම් ගැමුණුට අයිති නැතුව ඇති)

මේ වෙනකොට ගස්ලබ්බගෙ බඩේ ඉන්න පණුවො දැනුම් දුන්නෙ ඔරිජිනල් දෙමළ විදිහට තෝසෙ ටිකක් එවපන්... එවපන්න්න්....ම කියලා.මොනව උනත් බඩපණුවො කියනදේ අහන්න ඕනෙ නිසා කස්ටියම දුන්න තෝසෙ පාරක් රිදෙන්න.
මහ ලොකුවට කයිය ගැහුවෙ තෝසෙ වර්ග කීපයක්ම රස බලන්න.හැබැයි ඒ මහ විසාල තෝසෙ දෙක තුනක් කන්න නම් බඩවල් දෙක තුනකුත් ඕනෙයි කියල තේරුනේ කනකොට.හෙහ් හෙහ් හේ..

(වඩේ එක්ක දෝසා)

නුවර එළියෙ නම් රෑට නවතින්නෙ නෑ කියල ඒකමතික තීරණයක් තිබුන නිසා ගෙනල්ල තිබුන කූඩාරම කොතනින් හරි අටවගමුයි කියල හිතාගෙන ඔන්න කස්ටිය පල්ලම් බහිනෝ... හැබැයි අපි පල්ලම් බහිනකොටම ඉරත් පල්ලම් බහින්න ගත්ත නෙව. නොදන්න පළාත් ඔල නොදන්න ඉසව් වල අමු කළුවරේ කෝමෙයි කෑම්ප් ගහන්නෙ.. සේෆ්ටි ෆර්ස්ට් කියනවානෙ. ඉතින් මණ්ඩලේ තීරණේ කොලා පාර අයිනෙ ඕසෙට තියන රූම්ස් ගත වෙන්න.හැබැයි ඒ තීරණේ ගන්නකොට ආසාවකට ගෙයක් දොරක් වත් පෙනෙන්න නැති උන එක තමා විනෝදෙ.හෙහ් හෙහ්... මෙච්චර ලංකාවෙ හිටියට අමෙරිකන් අධිරාජ්‍යවාදී ධවල ක්‍රිස්තියානි යටත් විජිතවාදීන් ගේ සී.අයි.ඒ කුමන්ත්‍රණයක ප්‍රඨිපලේකින් (නෑ... නෑ.. එහෙම කිව්වෙ නෑ.) ගූගල් දෙයියො තමා මේ වාරෙත් පිහිටට උන්නෙ.

වැල්ලවාය පැත්තෙ ඇති තරම් නවාතැන් තියන බව කන්ෆර්ම් කොරගෙන හෙමි හෙමිහිට පල්ලම් බහිනකොට නෙ දෙයියනේ මිහිපිට තවත් සුරපුරක් නෙත ගැටුනෙ.
නුවර එළියට වෙලා ඉරබහින යාමෙ හෙමිහිට බීර මග් එකක් හිස්කොරන්න හිතේ තිබිල යටපත් කොරගත්ත ආසාව බුබුලු දාන්න ගත්තා 'ඇල්ල' ටවුම දැක්කාම. යකෝ මේක නියම නයිට් ලයිෆ් එකක් තියන නගරයක් වෙලානෙ බොල.. කාටත් කියවුනේ ආයාසයක් නැතුව.
හැබැයි කෙට්ටු පර්ස් එකක් එක්ක , බජට් ට්‍රිප් එකක් යන්න හිතාගෙන පිටත් උන නිසා නවත්තමු..! බහිමු.. ! කියල කිව්වෙ නැති උනාට 'ආයෙත් දවසක රාත්තිරියෙ මෙහි එමි' යි පරම අපවිත්‍ර චේතනාවෙන් ඇල්ලට ඇවිත් ජවුසම් නටපු සුද්දියො ගැන කතා කොර කොර මිදි තිත්ත න්‍යාය ඔස්සේ හිත හදාගන්න එක එකා තීරණය කොර ගත්ත බව අඩ අඳුරේ මූණු වලින් පෙනුනා..

අපි යන පාරෙම රාවණා ඇල්ල තියන බව දැන උන්නත් රාවණා ඇල්ල ලඟට යනකොට සද්දෙ විතරයි... කට්ට කළුවරේ මෙලෝ බෝලයක් පෙන්නෙන්නෑ... හැබැයි අපි සැලුනද? සැලුනා..ද? නෑ සුපින්වතුනි. කොච්චර දැකල තිබුනත් ටෝච් ගහල හරි රාවණා ඇල්ල බලලයි අපි තොමෝ ගමන කොන්ටිනිව් කොලේ...

(ටෝච් ගසමින් රාවණා ඇල්ල බැලීම.)

ඇල්ල මිස් වුනු පාළුව මතකය ගුලි කොල්ලා රාවණා ඇල්ලට දැම්මා කිව්වොත් ඒත් ශරි.

වැල්ලවාය මාවට්ටම් වලට රිපෝට් කොල්ල අහක්කෙලා කලින් කතා කොරපු තැනට ගිහින් බලනකොට එතන අංකල් ඩෑල් සෙට් එකක් පිස්සො වගේ.. පිස්සො වගේ බොනෝ. එකම කාලගෝට්ටියයි.
වහා ක්‍රියාත්මක වන පරිදි ආපහු හරවගෙන නවාතැනක් හොයාගෙන... හොයාගෙන ඇවිල්ලා... නවතුනා නියම තැනක.ඇඳන් හතරක් තියන යාබද නාන කාමරයක් තියන විසාල කාමරයක් සුපියල් දෙදාහකට දෙන්නම් කිව්වම අපි දෙපාරක්ම අහල බැලුවෙ ගාන හරිද කියලා..
යකෝ වැල්ලවායෙනෙ නවතින්න ඕනෙ.හෙහ් හෙහ්..
නවාතැනේ අයිතිකාරයාගෙ වයිෆයි දුවයි දැක්ක ගමන් අපේ සමහරක් බෑක් මළු අතින් කටින් උස්සගෙන කාමරේට දුවල ගියේ කාගෙවත් හිත් වෙනස් වෙන්න කලින්.(කවුද අහන්න ඔට්ටු නෑ ඕන්.)

නා කියාගෙන බෙහෙත් බීල කොරලා රාත්තිරී සෙශන් එකටත් රොබොට් රජ්ජුරුවන්ටම ආරාධනා කොලා. මිනිහ නම් සෝයි.. සොට් එකෙන් සොට් එකට සන්තෝසෙ වැඩි වෙනවා..

අමධ්‍යප උදවිය වේලි වේලි උන්නත් වැඩේ පාන්දර තුන හතර වෙනකන්ම නැගල ගියේ ගේමක් නැතුවම.
ඒ අතරේ උඩ තට්ටුවේ අඳුර අතරින් ෆෝන් රිං වීම්, නවාතැන් පලී ගෙ හඬ ඇසීම් එහෙම සමහරුන්ට ඇහිලා.. ඒත් පනපිටින් යන්න උවමනාව නිසා ඉවසන් උන්නයි කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.

දණි පනි ගාගෙන නිදාගන්න යනකොට මෙන්න බොලේ සිරා දත් මදිනවා.. පිස්සු තද වෙලාද කොහෙදෝ.. යන්තං ඇහැ පියවුනා විතරයි හැරියා කෑගහනවා.. ගස්ලබ්බෝ යන්නැද්ද කියලා.අමාරුවෙන් ඇහැ ඇරල බලනකොට මෙන්න සිරා ආයෙත් දත් මදිනවා.. කාගෙන් වත් අහන්නැතුව ගස්ලබ්බා තීරණය කරගත්තා ඔය දත් මැදිල්ල උගෙ පිස්සුවේ තවත් කොටසක් කියලා.වැඩි සද්ද බද්ද නැති හැරියත් හෙමින් සැරේ සිරාගෙ කට ඇතුල එබිල බලනවා ගස්ලබ්බා බලාගෙන.. ඌ බැලුවෙ මම හිතන්නෙ කටේ තියෙන්නෙ දත්ද නැහ්නං මුතු ඇටද කියල වෙන්ටැ.

වැල්ලවායෙන් පිටත් වෙලා යනකොට වාහනේ බාරගත්තෙ හැරියා. ඌ ඔටු දේසෙ ඩබල් කැබ් වලින් කරපු වික්‍රම රෑ පුරා වමාරපු නිසා උට වාහනේ නොදී පියාම දැක්කුවා නං ඒක අපහාසයක් වෙනෝ.
අනේ දුන්න තමයි...
මේකා වටරවුම් වල වාහනේ හරවන්නෙ ස්කැමල් හරවනවා වගේ දුරින්..
ඒ මදිවට යන්නෙ දකුණෙන්..
මේ පළාත්වල පාරෙ එන ජෙට් අස්සෙ මේ විගඩං බලාගෙන ඉන්නෙ කෝමෙයි අප්පා...
මුට මේ ඉන්නෙ ලංකාවෙ කියල මතක් කොල්ල දෙන්න සෑහෙන වෙහෙසක් ගන්න උනා.පරාණ බයේ කෑ ගහලම බඩගින්න වැඩි වෙලා පොඩි කඩේකින් කඩේ තිබ්බ ඔක්කොම ජාති බඩවල් වලට දාගන්න අපට සිද්ධ කරේ ඔය හැරියම තමා.

(බුදුරුවගල පිහිටිගලේ මතුකල මූර්ති වලින් කොටසක්)

රායිටෝ.. කියල කස්ටිය වටේ පිටේ බලන්න තියන තැන් තෝරලා... තෝරලා... බුදුරුවගල යන්න තීරණේ කොලා.ඒ වගේම ගියා..

කියන්න සන්තෝසයි මඟින් චෙක් පොයින්ට් එකකින් වාහනේ සුද්දො ඉන්නවාද බලල ටිකට් ගන්න කියනෝ.උං නැත්තං ඕන නෑ.අපි දැං ඕකට බැන බැන යනෝ.. මඟ දිගට කැලෑව.වැව්... වැව් කනතු. කුරුල්ලො.. ශෝයි ... ඒ අස්සෙ ආමි එකේ කොළු පැටව්.ට්‍රේනිං ද කොහෙදො.
(තමුන්ගෙ පාඩුවේ ඉන්න වැවක්)

ලංකාවෙ තියන සංචාරකයන් ගැන හිතල අදට ගැලපෙන්න නඩත්තු කරන හොඳම තැනක් විදිහට බුදුරුවගල නම් කොරන්න ඇහැකි.පිරිසිදු ආරක්ශාකාරී වාහන නැවතුම්,වැසිකිලි පද්ධති, නිළ ඇඳුම් ලා ගත් සේවකයින් සහිත පරිසරය නියමයි. ටිකට් එකට පාඩු නෑ කියල සුද්දට හිතෙන්න වැඩේ කොල්ල තියනවා.

බුදුරුවගලින් අනතුරුව යුධගනාවට.
යුධගනාව පාක් එකේ වාහනේ දාල මං මුලා...වී පාර අසාගෙන හසරක් අහමින් යන ගමනේ අපට පාර කිව්වෙ එතන කඩේක දොඩං අක්ක කෙනෙක්.අනේ ඉතින් එයා කියපු පාර දිගේ මහා.. රූස්ස ගස් යටින් හෙවනෙ ගිහිල්ලා... පුරාවිද්‍යා එකේ නෝනලා මහත්තුරුන්ගෙ කුඩම්මගෙ සැලකිල්ලට භාජනේ උනු මහා සෑය දැක බලාගත්තා.

(යුධගනාව මහා සෑය)

පේමදාස මහත්තයා මේක හදල ගන්න ට්‍රයි කරත් හරි ගිහින් නෑ. ඔතන රවුම් ගහල බලල කොරලා එනකොට කතා කරපුවා කාට හරි ඇහුනනං අපිව කුදලං යනවා මහා නීල නිධන් හොරු විදිහට. හොඳ වෙලාවට කාටවත් ඇහුනෙ නෑ.
අනේ අපට පාර කිව්ව දොඩං අක්කට කළගුණ දක්වන්න එයාගෙ දොඩම බිව්වට මොක්ද කැලේට පිපුණු ලස්සනම ලස්සන මල් වත්තක් එතන කඩ දාගෙන ඉන්න බව දැක්කෙ පහු වෙලා නෙව.පිච්චීගන යන පපුව කූල් කොරන්න එතන දෙහි දොඩම් වලට නම් බැරි උනා... ශැහ්ඃ..


නෝනා වරුනි, මහත්වරුනි, දරුවනි,දැරියනි, ආච්චියේ,සීයේ,නැන්දේ, මාමේ,..මීලඟට අපගේ අවධානය යොමු වුනේ මාලිගාවිල පෙදේසෙටයි. අන්න මාලිගාවිල.
යනවා.... යනවා... යනවා... තවත් යනවා... ගිහින් ගිහින් ඔන්න තැනට ගියා.
හපුච්චියේ... දොඩම් බොන්න.. තැඹිලි බොන්න එකම වදයයි එතන.
කිසිම නිස්කලංකයක්, කණට නිවනක් නෑ. ඇතුලට යන තැනම මහ පීකරයක් බැඳගෙන ගඩොල් විකුණනවා මක්කදෝ එකකට.ගත්තෙ නැත්තං ගඩොලෙන්
 ගහන සයිස් කතාව. පීකරෙන් නම කියනවා අහන්න කැමති ආච්චිලාට නම් ගැලපෙන තැන.

ඉහින් කනින් දාඩිය පෙරාගෙන යනකොට එතන බලන්න තැන් දෙක තුනක්ම තියනවා.

දඹේගොඩ බෝසත් පිළිමය එක් පැත්තකිනුත් මාලිගාවිල විහාරය සහ පිළිමය තව පැත්තකිනුත් විරාජමාන වෙද්දි අපි ඔය තැන් දෙකටම හෙමින් හෙමින් ගියා.
ගියාට මොක්ද මෙන්න මෙහෙම උඩට පඩි තියෙන්නෙ.....මෙන්න මෙහෙම.
කාල වරෙන්කො.ලඟටම ඇවිත් හැරිල යන්නයැ.
පියාගෙයි හැරියගෙයි කරවල් වල පිහිටෙන් ගස්ලබ්බත් කකුල් තුනෙන් නැග්ගා උඩටම.
අපි ගියා විතරයි එතන බලන්න ඇවිත් හිටපු සුන්දර මානවිකාවො කපුටන්ට ගල් ගැහුවා වගේ මාරු උනා නෙ.
බොහොම හිතට මාරුයි.. බොහොම..!
හිත හැදෙනකන් ඉඳගෙන ඉඳලා,පොටෝ කෑලි අල්ලලා පඩි බැහලා ගියා මාලිගාවිල පිළිමෙ බලන්න.

(මාලිගාවිල පිළිමෙ)

ඒ වෙනකොට හොඳ අව්ව.පිළිමෙ උඩට ගහල තියන වහලෙ ටක ටොක ගානවා.අවුවට ප්‍රසාරනේ වෙනවලු.මැදට කණු ගහන්නැතුව නවීන තාක්සනෙන් (ස්පේස් ට්‍රස්) ඉංජිනේරු සංස්ථාවෙන් ගහපු වහලෙ සම්පූර්ණයෙන්ම ඉම්පෝට් කොරපු එකක් කියල දැනගත්තාම ටිකක් දුකත් හිතුනා ඇයි අපට මෙව්ව හදන්න බැරි කියලා.වහලෙන් ඇදුනු කතාව සූරියවැව ග්‍රවුන්ඩ් එක,හම්බන්තොට සම්මන්ත්‍රන ශාලාව වගේ තැන් වලටත් කැරකි කැරකි යනකොට බඩේ පණුවො ආයෙත් මිස්කෝල් එවන්න පටන් අරන්.
ඒ නිසාම දෙමටමල් විහාරය ලඟ බොහොම පොඩි වෙලාවකට විතරක් නැවතිලා පිම්මේ බුත්තලට යාත්‍රා කොරන්න සිද්ධ උනා.

(දෙමටමල් විහාරය)

දවල්ට කන වෙලාවත් පහු වෙලා උන්නට බුත්තල ආමි කෑම්ප් එකේ සිරාගෙ හිතවතෙක් දවල් කෑම සූදානම් කොලා කියල දැනුම් දීල තිබුන නිසා හොයියා කියල එහාට ගියාට කොට කලිසම් ඇඳන් උන්නු අපි සැට් එක හින්දා පොර සෑහෙන අපහසුතාවයකට පත් උනා. මක් කොරන්නෙයි ඉතින්.. කිට මරල ට්‍රිප් යන්න ඇහැකෙයි අපට?
ලොක්කො වගේ ගිහින් කාල එන්න තිබ්බ අවස්ථාව හොරු වගේ පස්සෙ දොරෙන් රිංගලා කන අතරේ සිරාගෙ යාළු තෙමේ සිය බල අධිකාරිය විදහා දක්වන්නේ 'චිකන් කනවද? චිකන් කනවද?' අසන සමයේ 'නෑ එපා' යි සිරා බැගෑ ස්වරයෙන් පවසන කල අඩි පොලොවේ හප්පා.. මහා ගැඹුරු හඬ නංවා ආවතේව කරුවන් සී සීකඩ යවමින් 'චිකන් ඕනද නෙමෙයි ඇහුවේ.. කනවද විතරයි' ඝෝරනාඩු කෙරෙන්නේ අසරණ හැරියාගේ කටේ චිකන් අඬු දෙකක් හිර කරමිනි.
එදායින් මෙදායින් අදටත් සිරා චිකන් නාමයට වෙර බැඳ ඇති බව හුදීජන පහන් සංවේගය උදෙසා දැනුම් දෙන වගයි.


බුත්තලින් පස්සෙ කෙලින්ම මොණරාගල හරහා යනගමන් මොණරාගලින් නැවතිලා හැරියගෙ හිතවතෙක්ගෙන් දර ලෝඩ් එකක් වාහනේට දා ගත්තෙ මොන වගේ තැනක කැම්ප් කොරන්න වෙයිද දන්නැති නිසා.

මොණරාගල හරියත් මහ වැස්සෙ පහු කරනකොට හම්බ උනේ රබර් වතු,ඉරිඟු වතු වගේ අමුතු සීන්.ලාහුගල මනරම් වනරොද මැදින් වාහනේ යනකොට නම් හිතුනෙ මනුස්සයෙක් තමුන්ගෙ ජීවිත කාලෙදි එක වරක් වත් මේ මාර්ගයේ ගමන් කරල තියෙන්න ඕන් කියලා.එච්චරකටම ලස්සනයි... සුන්දරයි... නොඉඳුල් වනය හරිම ආදරණීයයි.

(කැලේ මැදින් පාර)

මේ කැලේ මැදින් යනකොට මතක් උනේ වංග ලේඛකයෙක් ලියපු 'අරණකට පෙම් බැඳ' කියන පොත.හඳ තියන රෑක ඔය පාරෙ යන්නෝන වෙලාවක.
බොටකඳා මාක් හැම තැනම ගහල තිබුනට යන්තම් හරි අලියෙක්ව බලාගන්න පුළුවන් වුනේ ලාහුගල වැව් කනත්තක ඈත ඈත ඈතටම වෙන්න තණකොල කකා හිටපු එකෙක්ව විතරයි.

(ගස් උඩ කොක්කු)

වල් ඌරො නම් පාර පැන්නෙ 'කාපිය අපිව කාපිය' කියාගෙන.මොණරු,විවිධ වර්ගයේ කොක්කු ඕසෙට.
පොතුවිල් පැත්තට එනකොට කුඹුරු මැදින් පාර තියනවා හරිම ලකේට.

(ගොං කරත්තයක්.)

හවස තුනට වත් ආරුගම්බොක්කට සෙට් වෙන්න හිතාගෙන හිටියට මුහුද දකිනකොටත් අඳුර වැටෙන්න ඔන්න මෙන්න.
වැල්ලවාය නවාතැනේ අයිතිකාරයා හදල දීපු කන්ටැක්ට් එක නිසා ආරුගම්බේ ආපු ගමන් 'සරත්' අයියට කතා කරලා සෙට් කරගෙන කෑම්ප් කොරන්න තැනක් හෙව්ව.
අපේ තේරීම උනේ ආරුගම්බේ පාලම උඩට කෙලින්ම මුහුද පැත්තෙන් පේන වැලි පරය.එතන ශෝයි තැන.
සරත් අයිය වටේ රෙස්ටොරන්ට් වල උදවියට කතා කරපු නිසා අවුලක් නැතුවම අපි කඳවුරු ඉදිකොරන්න පටන් ගත්තා.පියා තමුන්ගෙ හොන්ඩා ඇරියා (ඌ කියන්නෙ ඒරියා කියලා.) යුද්ධටැංකිය මඩ,වතුර,වැලි උඩින් කෙලින්ම වෙරළටම ගෙනාව. (ආයෙත් පව් වාහනේ..)
ටෙන්ට් එක ගහන්න ගත්තම තමයි ගස්ලබ්බ රත් උනේ.
ගස්ලබ්බගෙ ඉස්කෝලෙම බාලදක්ශයෙක් උන අසේල මල්ලිගෙන් ටෙන්ට් එක ඉල්ලගත්තට මොකද ඒක දිගෑරලා බලලවත් නෙමෙයි ගෙනාවෙ.
ඒ හැඩේට ටෙන්ට් එකක් දැක්කමයි.
කාල වරෙන්කො.

හබැයි අඳුර දැඩි වෙනකොට හරි ආකාරව ටෙන්ට් එකත් ගහගෙන ගිණිමැලෙත් අටවගන්න කොල්ලො ටිකට ඇහැක් උනා.
අපි ස්ථාවර වෙනව දැක්ක සරත් අයියා සල්ලිවත්,මත්පැන් පොදක් වත් මක්කක්වත් නැතුව සුභ පතලා නික්ම ගියේ මනුස්සකම තාමත් මේ ලෝකෙ ශේෂ වෙලා තියන බව ඔප්පු කරමින්.

(කඳවුර සූදානම් කොරමින්)

මහා සුළං ඇවිත් වැල්ලෙ ගහපු ටෙන්ට් එක හුළඟෙ යයි කියල බයෙන්ද කොහෙදෝ මුහුද එයාගෙ හුලං ඕෆ් කොලා. හඳ පායලා බ්‍රයිට්නස් වැඩි කොලා.

(මුහුද,කළුවර,හඳ එළිය.)

ගල් අඟුරු පත්තු කොරගන්නත් ඔට්ටු වෙන්න උනාට බොහොම සුවදායී මනස්කාන්ත පරිසරයක් අපි වටේට මැවෙමින් තිබුනා..

හිතෙන විදිහට ආපු ගමනේ කෑම හැදුවෙත් එවෙලෙට හිතෙන විදිහටමයි.

(නමක් නැති කෙබාබ් ජාතියක්.)

(පියා,සිරා,ගස්ලබ්බා,හැරියා ගැම්මට බලමින්.{සිරාගෙ ගැම්ම ගැන ප්‍රස්න අහන්න ඔට්ටු නෑ.මිනිහ මිනිහගෙ දත් පෙන්නනවා}.)

ගිණිමැලේට බඩඉරිඟු දාල පුච්චගෙන කාපු බවත්,ඒක නිවෙන්න නොදී අසල තිබුනු ගරා වැටුන පැල්පත එතනින් ඉවත් කරමින් හැරියා පරිසරය සුරකින්න ක්‍රියා කරපු හැටිත්,මහ රෑ ගිණිමැලේ ලඟට අමුත්තෙක් ඇවිත් උම්බෑ කියපු බවත් සිද්ධ උනේ වැල්ලෙ වැතිරිලා අහස බලනකොට හඳවල් දෙකක් පෙනෙන්න කලින් බව නම් ගස්ලබ්බට මතකයි.හෙහ් හෙහ්

(මහ රෑ ආ අමුත්තා. වහු පැටියෙක් ගිණිමැලේ ලඟ.)

පහුවදා එලිවෙනකොටම නැගිටගත්තෙ හිරු උදාව බලාගන්න.
සුද්දන්ට ඉර පෙන්නලා සල්ලි ගන්නවා කියල සමහරක් කිණ්ඩි දැම්මට ඉර උදාවක් කියන්නෙත් බලන්න වටින සුන්දර දර්ශනයක් බව නම් කියන්නම ඕනෙ. වළාකුලක් ඇවිත් අපට පොඩ්ඩක් කෝචොක් කොලාට සෑහන දර්ශනීය වටපිටාවක් හිරු උදාවත් එක්ක ආරුගම්බොක්කෙ මැවුනා...

(ආරුගම්බොක්කට හිරු උදාව.)

අපිත් සතුටුන් ඒක විඳගන්න ගමන් අපේ පිය සටහන් විතරක් එතන ඉතුරු වෙන්න අනිත් ලට්ට පට්ට අස් පස් කරන්නත් පරිස්සම් උනා.


උදේ පාන්දර විකාරෙන් වගේ අපට තිබුන පලවෙනි උවමනාව තමයි වතුරකට බැහල ඇඟ කූල් කරගන්න එක. එහාට මෙහාට රවුම් ගැහුවට වෙල් වල ඉඳන් එන පොඩි ඇල පාරවල් මිසක හරි හමන් ගිලිල නාන්න තැනක් නැතුව ඔහොම විස්සෝපෙන් ඉන්න අතරෙ තමයි පාරෙ ගියපු නාන කෙනෙක් පානම ඔත්තුව දුන්නෙ.දන්න කෙනෙක් ගෙන් අහන්නැතුව වතුරට බහින එකත් මක්කදෝ වගේ.. කිඹුල්ලුයි අරකයි මේකයි ඉන්න පැති නෙ.
පානම උල්ල පාලම යට කියන්නෙ නාන්න නං සුපිරිම පොට් එක.
ඊයෙ දවසෙ ගස්ලබ්බට නින්ද ගියෙත් ඇහරුනෙත් සිරා දත්මදින පසුබිම් සංගීතය යටතේ උනත් අද දවසෙ උට ඒවා අමතක වෙලා තිබුනා.උංටික එලි බහින්න කැලෑවට යන වෙලාවෙ වත් දත් මැදිල්ල උට මතකම තිබුනෙ නෑ.
ලස්සනට දත කට මැදගෙන කැලෑ කොලේට ගිය අය මුලින්මත් වතුරට බැහලා සෑහෙන සනීපයක් සීතල වතුරෙන් ලැබුවා.

(දියගත ළමෝ)

ඒ අතරම වතුරපාර ටිකක් සැරට යන හරියකට ගියාම කොමඩ් නැති අඩුපාඩුවත් මඟහරවගන්න පුළුවන් බව තේරුණ.

නාල ඉවරවෙනකොට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ.. යකෙක් කන්න බඩගිණියි.ආයෙ ආරුගම්බේ ටවුම පුරා ඇවිදින්න උනේ කන්න තැනක් හොයන්න.රෑට සුරපුරේ වගේ තිබුනට උදේට සොහොන් පිටිය වගේ පාළුයි.

එතැන් සිට ඇරඹුනේ අපේ ආපහු ගමන.
හැබැයි සුපින්වතුනි ඒකත් ලේසි උනේ නෑ.පළවෙනි දවසෙ අමතක කරපු මඩොල්සිම ආයෙත් කට්ටියගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා.මෙතෙක් නොගිය පාරවල් හොය හොය ආපු ගමනේ මඟින් මොණරාගලින් සිරාගෙ බර හෑල්ලු කරන්න නැවැත්තුවාට පස්සෙ ආයෙ නැවතුනේ ලාහුගල කැලේ මැද්දි මුට ඩ්‍රැයිබර පිස්සුව තද උනාට පස්සෙ.

ලුණුගල පැත්තෙන් අළුත් පාරවල් හොයන් එන අතරේ අපේ වාහනේට ගොඩවැදුනු අළුත්ම ගමන් සගයා තමයි අමරදේව මාස්ටර් සමඟ උමාරියා.

(අහන්ට..අහන්ට කණ් පිරෙන්ට අහන්ට.)


(ලොග්ගල් ඔය ජලාශයේ වේල්ලේ ඇතුල් පැත්ත)

ඒ දෙන්නත් එක්ක හන්තාන සිහිනයක අතරමං උන තරම කොච්චරද කියන්නෙ බිබිලෙන් ලොග්ගල් ඔය ජලාශෙ ඩෑම් එක ලඟින් පොඩ්ඩක් බහින කොටත්, ආයෙ රන්දෙණිගලින් බහිනකොටත් කට නැවතුනා ඇරෙන්න නුවරට එනකන් අඩුම පනස් වතාවක් වත් අපිව හන්තාන සිහිනෙකට ගෙනිච්චා.අතරින් පතර වෙන සිංදුවක් වැරදිලා වගේ ඇහුනත් නුවරට ලංවෙනකන් වචනෙන් වචනෙ පට්ට ගහපු ඒ සිංදුව දඬුවමක් බවට පත්වේගනයි ආවෙ.හෙහ් හෙහ්

පාරවල් අත්හදා බලල ඇති වෙන්නෙ නැති නිසාම හැරියව උංගෙ අක්කලාගෙ ගෙදර දාන්න අහු මුළු පාරවල් දිගේ ගිහින් යන්තං කුරුණෑගල නුවර පාරට මතු උනේ හිතපුවත් නැති තැනකින්.
ඕකෙන් මේකෙන් දවස් තුනක් පුරා බූත කෙලලා යන්තම් රෑ වෙනකොට ගස්ලබ්බව පරිස්සං ඇතුව ගස්ලබ්බිට භාර දෙන්න සිරයි පියයි කටයුතු කරා.

ලංකාවෙ මාර්ග පද්ධතිය ගැන අවධානය දක්වපු හදපු,හදන උදවියටත් ජයවේවා කියන්න ලෝභ වෙලා බැරි බවත් කියන්නම ඕනෙ.


ඔන්න ඕකයි සුපින්වතුනි පාරදිගේ.... දිගේ... දේගේ.... ගියපු කතාව.



වසන්තයේ අගදි හරි ඔන්න නැට්ටෙ එල්ලුනා... හෙහ් හෙහ් ජයවීවා.

Friday, April 7, 2017

සිංහල බ්ලොග් අවුරුදු තෑග්ග. (ජයලාල් රෝහණ- නෙවිල් ෆර්නෑණ්ඩු- භාග්‍යා iv)



පහු ගිය සැප්තැම්බර් මාසෙ පෝස්ට් එකක් දැම්මට පස්සෙ ඔන්න භාග්‍යගෙ ගෙදර ගැන අළුත්ම කතන්දරේ කියන්නයි හදන්නෙ.
මුල ඉඳලම මේ ව්‍යාපෘතිය ගැන අවධානෙන් හිටපු අය,මූල්‍යමය දායකත්වය දරපු අය බලනවා ඇති මොකද මේකට උනේ කියලා..
ඔව්... ඇත්තටම බොහොම හෙමින් තමයි අපි ක්‍රියාත්මක උනේ.අවශ්‍යතාවය හදිස්සි උනත් පැවති ප්‍රායෝගික තත්වයන් එක්ක අපිට හෙමින් ක්‍රියාත්මක වෙන්න සිද්ධ උනා.
මොකද... ගෙයක් ගැන හීනෙන් පේන හීනයක් තරම් වත් හැඟීමක් නොතිබුනු පිරිසකටයි අපි මේ 'ගෙදරක්' ලබා දෙන්න ක්‍රියාත්මක උනේ.ඔවුන්ගේ සමාජ ආර්ථික වටපිටාවට සහ දරාගැනීමේ හැකියාවන් අවබෝධ කරගනිමින් ඔවුන් කබලෙන් ලිපට ඇදල නොදා මේ වැඩේ කෙරුනොත් තමයි සාර්ථක කියන මතය දරපු නිසා ගස්ලබ්බ හදිස්සිය කියන දේ අමතකම කරල දැම්ම.ඊට අමතරව තව තව ප්‍රායෝගික කාරණාත් නොතිබුනා නෙමෙයි.

රායිට්...
මෙන්න සුභ පණිවිඩේ.
ගේ හැදල ඉවරයි.
ඒ වගේම ඔවුන් එහි පදිංචි වෙලත් ඉවරයි.ගෙදරට නමකුත් දාලා.
දවසක් ගස්ලබ්බ යනකොට බිත්තියේ විට කන හුණු වලින් නම සිත්තම් කරලා තිබුනා.
ගෙදර නම තමයි 'භාග්‍යා'

ඉතින් ගේ හැදුනෙ මෙහෙමයි... වචන වලට වඩා පින්තූර වලින් බලමුකො.


ඔන්න නූල් ගහනවා.පසුබිමින් පෙනෙන්නෙ එයාල හිටපු පැල්පත

මේත් එදාම තමයි.ඔය ඉන්නෙ ගස්ලබ්බගෙ ප්‍රවාහන සහකරු.මේ වැඩේ මුල ඉඳලම හිටපු අතීසාර මිත්‍රයා ජනිත.නිවාඩු දාගන පෙට්‍රල් ගහගෙන උදව්වට ආවෙ.මොකද ඒ දවස් වල ගස්ලබ්බාට ඇවිදගන්න බැරුවයි හිටියෙ.

ගස්ලබු පියා අත්තිවාරම් කැපීම් නිරීක්ශනය කරමින්.භාග්‍යාව අපට හඳුන්වා දුන් ගස්ලබු මව වත් ගස්ලබ්බි වත් තවමත් මේ නිවස දැකලවත් නෑ.

මුළුතැන් ගෙය ඉදිකෙරෙමින්

ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නඟින්නේ

කොංක්‍රීට් වැඩ

වහලෙත් ගැහුවා.

බිමට කොංක්‍රීටුත් දැම්මා

විදුලි කාර්මික වයර් ඛණ්නා

වයරිං එක චෙක් කරන්න කොකු ගහල විදුලිය ගත්තා කියල කාටවත් කියන්න එපා ඔන්න

හා.... ඔන්න ගේ පොඩ්ඩ

ඔයාලට ස්තූතියි.අපේ තමයි මේ ගෙදර (පාසල් නිළ ඇඳුමින් ඉන්නෙ භාග්‍යා දෝණි.)


පෙර ලිපියේ සටහන් කරාට පස්සෙ පරිත්‍යග එක් කල හිතවතුන්

රසික සූරිය ආරච්චි මහතා 22600/-
නිරෝශන් පෙරේරා මහතා10 000/-
අසේල කුලතුංග මහතා 55000/- + 20000/-
විශාන් කෞශල්‍ය මහතා 5000/-
අජිත් ධර්මා මහතා 20000/-
X නම් සිංහල බ්ලොග් රචකයා 40000/-
රංජන් මහතා 8691/-
රංජන් මහතා සහ මිතුරන් 45046/-
ජයානි වින්ධ්‍යා මහත්මිය 10000/-
සමීර හේමන්ත මහතා 10000/-
ජනිත ගමගේ මහතා 15000/-
.............10000/-
.............5000/-

(හිස්තැන් සහිතව සඳහන් කර ඇත්තේ මුදල් තැන්පත් කල අය කවුදැයි සටහනක් සොයා ගැනීමට නොහැකිවූ පරිත්‍යාගශීලීන් ගේය.ඔබගේ පරිත්‍යාගය ලිපියේ සටහන් කරන්නට තිබුනේ නම් අගේ ය.හැකිනම් gaslabba1@gmail.com මේලක් දමන්න.)






ඉතින් ඔන්න ඔහොමයි උනේ.
ලොකු පුතා එවපු සැලසුම හදන්න හැදුවත් හදිසියෙන්ම ඉඩමේ ප්‍රමාණය අඩු උන නිසා ගස්ලබ්බා විසින් පොඩ්ඩක් වෙනස් කලා.ඊට අමතරව ලොකු පුතාම මාගා කන්ස්ට්‍රක්ශන් ආයතනය සම්බන්ධීකරණය කරල දුන්න නිසා බිම පුරවගන්න යම් පස් ප්‍රමාණයක් නොමිලෙම ලැබුනා.ඔවුන්ට ස්තූතියි.
අසේල කුලතුංග මහතා විසින් දරුවන්ට අවශ්‍ය සියලුම වියදම් සහ ද්‍රව්‍ය මේ වනවිටත් භාග්‍යාගෙ පන්තියේ ටීචර් හරහා ලබාදෙනවා.ඊටත් අමතරව නිවසට අවශ්‍ය ඇඳන්,පුටු,මේස වගේ දේවල් ලබාදුන්නෙත් ඔහුයි.ඒ අමතරව සිදු උනු වැඩ.

නිවස සම්පූර්ණයෙන්ම වයරින් කරලා,අගුළු ලා හැකි දොරවල්,ජනෙල් කූරු සහිත ජනෙල් රාමු, කොන්ක්‍රීට් ඇතිරූ බිම සහිතව ලබාදෙන්න අපට හැකි උනා.
විදුලිය ලබාගැනීමේ මාර්ගය පහදා දුන්නා.
කිසිවෙකුටත් ජාතික හැඳුනුම්පතක් නොමැති නිසා ග්‍රාමනිලධාරී මාර්ගයෙන් ඉතිරි වැඩ සිදුවනු ඇති.

අවසන් වශයෙන් සිංහල බ්ලොග් ලියන කියවන උදවියගේ හොඳහිත පිළිබඳ තවත් දෘශ්‍ය භෞතික සාක්ශියක් මහපොළොවට මත ස්ථාපිත උනා.

අත්දෙකයි ඔලුවයි කටයි විතරක් හොල්ලගන්න විතරක් පුළුවන් වෙලා හිටපු ගස්ලබ්බා අවුරුදු එක හමාරක් විතර යනකොට දැන් හැරමිට්ටෙන් ඇවිදිනවා.නමුත් ඒ කාලය තුල නිකන්ම නිකන් නිකමෙක් විදිහට ඔක්සිජන් බිබී ඉන්න ප්‍රාණියෙක් නොවී ගත්තු හුස්මට හරි සමාජය වෙනුවෙන් දෙයක් කරලා සොබාදහමත් එක්ක තියන අය වැය බැලන්ස් කරගන්න, හිත හදාගන්න මේ ව්‍යාපෘතිය හේතු උනා.
ඒ වෙනුවෙන් ඔබ හැමදෙනාටම අනේක වාරයක් පිං..!!
ඒ වගේම අද වෙනකන් කිසිම සැක කිරීමක් , මඩ ප්‍රහාරයක් නැතුව මේ දේ කරගන්නට ලැබුනු එකත් අපූරු ආශීර්වාදයක්.සමාජ සේවා නමින් නොයෙකුත් වංචා වැඩිපුර ක්‍රියාත්මක වන මේ කාලයේ ඔබ හැම ගස්ලබ්බ කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම රැකගන්න ගස්ලබ්බ උපරිම උත්සාහය දැරුවා.

තනියම කලා නම්,තනි පුද්ගලයෙක් විදිහට ක්‍රියාත්මක වෙන්න හිටිය නම් මේ ගෙදර අදටත් මේ පොළොව මත නෑ.සාමුහික බව නිසා අද ඔවුන්ට හිසට වහලක් තියනවා.

ඔබට,අපට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

කිසිම උත්සවයක් හෝ ආරාධිතයන්ගෙන් හෝ බාහිර පාර්ශවයක සහභාගීත්වයක් නොමැතිව බ්ලොග් කරුවන්ගේ තවත් එක් ඇනෝනිමස් වැඩක් විදිහට නිවස ඔවුන්ට ක්‍රමානුකූලව භාරදුන් වගත් සිහිපත් කල යුතුයි.

ඔබ සැමට නැවත වාරයක් ගොඩක්ම පිං..!!!!
ජයවේවා..!!

කියවන්න කැමති අයට මුල් ලිපි.
ජයලාල් රෝහණ - භාග්‍යා - නෙවිල් ෆර්නෑන්ඩු
කාලෝ අයංතේ (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු II)
ඉතින් හදමු අපි.. (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු III)


ප.ලි. මේ සමඟින් නිවස සෑදීමේ කටයුත්ත වෙනුවෙන් තවදුරටත් පරිත්‍යාග ලබාගැනීමක් සිදු නොකරන අතර ගිණුමට අදාල විස්තර පෙර ලිපි වලින් ඉවත් කරනු ලබන බවත් ස්තුතිපූර්වකව දනවා සිටින්න කැමතියි.

(අපිලිවෙලට වැඩකරන්න පුරුදු ගස්ලබ්බා අතින් යම් පරිත්‍යාගශීලින්ගේ නමක් සටහන් කරන්න අතපසු වෙලා නිසා ඒ ගැන සමාව ලොකු භාජනේකට දාල මේලක් දාන්න හොඳේ.)

Tuesday, March 7, 2017

ඤෑව්..ඤෑව්...ඤෑව්...!!!



පූසරයෝ නුඹ නාඬන්
තව පොඩ්ඩක් ඉඳපන්
ගේ වටේට පාර දිගට
කෑ ගැහුවට වැඩක් නැතේ
උඹේ අක්කා ඈත ඉඳන්
'පූවා' කියනවා ඇහුනට
අම්මත් කාලයක ඉඳන් 
එතන ඉඳන් හඬ නැඟුවට
ලඟදි ඉඳන් අප්පච්චිත්
පෙනෙන්නෑලු හඬ ඇහුනට
ඇඳන් මේස පුටු යට වත්,
කඩේ ලඟත් පාර දිගෙත්
එක පතේම බෙදාන කෑ
බ්ලැකියව වැලලූ තැන වත්
පේන්නැත්තෙ ඇයි කියලා
හඬ නඟනා හඬ නවතන්
නුහුරු පිටට සුද්ධ කරපු
සාලයො බත් උඹ කාපන්
කිරිත් සීනි කහට වැඩියි
ඒත් මචෝ කිරි බීපන්
සති අන්තෙට එයැයි ඇවිත්
උයල දේවි රසට ගුණට
කමු එදාට උඹයි මමයි
ඤෑව් උගුරෙ හිර වෙනකන්
එතකන් ඔය හඬ නවතන්
හෙවුම් බැලුම් නවතාපන්
පූසරයෝ මේ අහපන්
උඹ තව පොඩ්ඩක් ඉවසන්..

Wednesday, February 22, 2017

රැග් කරුවන් උල තියමු..!!



රැග් ටොපික් එක ආයෙත් ඉස්සිලා... ඒකත් නිකන් අර වඩදිය බාදිය වගේ...
ඊටත් වඩා දැන් නම් සුළුදිය බඩ දිය වගේ..
ඊයා... වෙලා.

ඇත්තටම ඊය ද?
ඔව්.. ඇත්තටම ඊයා.
එතකොට ඔය මඟුල ඊය අපට විතරද?
එහෙම නැත්තන් ෆර්ස්ට් ඉයර්ස් ලට විතරද?

ආසන්න අවුරුදු තුන ඇතුලෙ සමාජෙ ලොකුවටම රැගට විරුද්ධ කතා ගොඩ නැඟුනා...... සාකච්ඡා සිද්ධ උනා...... මනෝවයිද්‍යවරු ලිපි ලිව්වා.....
කොල්ලො කෙල්ලො අපරාධ නීතිය යටතේ අතඩංගුවට ගත්තා....
සමහරක් තාම ඇප නැතුව ඇතුලෙ..
පන්ති තහනම් කලා...
ඩිග්‍රි ඇන්නෙව්වා...
ගම් පෝරියල් දුන්නා..
හූ කිව්වා..
බයිට් කලා..

හැබැයි තාම රැග යනවා.
එන්න එන්න බොක වෙවී.
ඉතින් ඇයි මේ..?
ගෙවල් කුලියට අරගෙන අතින් කාල හරක් බලන්න තරම් මුන්ට තියන පුකේ අමාරුව මොකද්ද?

බලමු ශේප් එකේ...

රැග් එක සාමාන්‍යෙන් කොටස් තුනකින් වගේ යනවනෙ...
මුලින්ම
*හොඳට තෙල් පාර ගහනවා.. පොඩි පොඩි වාත සීන් දෙනවා...
*ඊට පස්සෙ ෆිසිකල් දෙනවා..
සැර වැඩි කරනවා..
*සෝශල් නැත්තම් වෙල්කම් එක දෙනවා.
ඉවරයි.

අළුතෙන් බැච් එකක් ඇවිත් මාස කීපයක් ඇතුලෙ ඔය වැඩසටහන සිද්ධ වෙනවා.ආයතනයෙන් ආයතනයට,පීඨයෙන් පීඨයට ඔව්වගෙ වෙනස්කම් තියනවා.මේ සාමාන්‍යෙන් වෙන වැඩේ.

ඉතින් ඇයි ඔය ඔහොම කරන්නෙ?

ඔය 'ඇයි?' කියල අහන ප්‍රශ්නෙට උත්තරේ තමා රැගා ල මුලින්ම දෙන්නෙ.

මුලින්ම ඔවුන් කියන කතාවක් තමයි තමුන් මේ සමාජෙ විශේෂ කොටසක් බව.
ඇයි එහෙම කියන්නෙ?

නිදහස් අධ්‍යාපනය පහසුකම් යටතේ තමුන් වෙනුවෙන් මහජනයා කරපු ආයෝජනයට අගයක් දුන්න උදවිය.

'ශිල්ප උගත්තෙමු - නැණ ලැබගත්තෙමු
ලැබූ ශිල්පයෙන් ඵල ලැබගත්තෙමු' කියලා.
ඉතින් එයාලට තියනවා සමාජය වෙනුවෙන් වගකීමක්.
බ්ලා... බ්ලා.. බ්ලා...

එලියෙ වගේ නෙමෙයි මේක ඇතුලෙ ඉහ ගහලා ගොඩ යන්න නම් ඉන්න ඕන ක්‍රමයක් තියනවා... සංස්කෘතියක් තියනවා...
එන්න සුදෝ.. අපි උයාලට ඒක කියල දෙන්නම්.

අපේ ඉහලින් හිටපු පිරිස් විසින් ගෙනාපු දංවැලේ ඊලඟ පුරුක උඹලා...
උඹලා ඒකට අමුන ගන්න ශක්‍යතාවය ඔප්පු කොරපල්ලා...

ඔන්න දැන් රැග යනවා...
වෙල්කම් දෙන්න සල්ලිත් එපැයි.කැට හොල්ලලා.. බුක්මාර්ක් විකුණලා සල්ලිත් හොයනවා.

වෙල්කම් එකත් ලැබෙනවා.
ඔන්න දැන් අළුත් පුරුක එකතු උනා.

ඔන්න ඔය කාලසීමාව ඇතුලෙ වෙන දේවල් ගොඩක් තියනවා.

*සින්නො ටික අළුත් බැච් එකේ කෙල්ලො හෝදගන්න එක.
*තමුන්ගෙ පක්ශෙට අළුත් කාඩරයන් ඇතුලත් කරගන්න එක.
*එක එක සංගම් වල සාමාජික ශක්තිය වැඩි කරගන්න එක.
*තම තමන්ගෙ එරියස් කවර් කරගන්න එක.

මෙව්ව ටික කරගන්න අළුත් සෙට් එක එකතැන තියාගෙන අමුතු බලයක් පෙන්නලා තරු බවට පත්වෙලා කැපී පෙනෙන්න රැග් කාලෙ හොඳ කාලෙ.
අපේ දැන උගත් බ්ලොග්කරුවන් සහ සමාජයේ පිරිස් නැවත නැවත සාර්ථක පෙන්නලා දෙන ඇහැට ඇන ඇන පෙන්නන එරියස් කාරයො ටිකට බලය ලැබෙන කාලෙ මේක.

මේ එරියස් සීන් එක සුන්දර දෙයක් නම් නෙමෙයි.මිනිස් ජීවිත අහිමිවීම් දක්වා ඇදුනු ඛේදවාචකයක් වෙලා තියෙන්නෙ.
මේ කාරණය සහ පසුබිම් ගැන අනනන්තවත් කතා වෙලා තියන කරුණු ගස්ලබ්බ ආයෙ මෙතන කියන්න උත්සාහ කරන්නෙ නෑ.
ගස්ලබ්බ කියන්න හදන්නෙ කොහොමද මේ එරියස් කාරයෝ 'පොර' වල් වෙන එක නවත්තන්නෙ කියන කාරණේ.

පහුගිය දවසක රුවන් දොස්තරමහත්තයා එයාගෙ රුසියාවෙ විශ්වවිද්‍යාල අත්දැකීම් ගැන කියනකොට ගස්ලබ්බට නෝට් වෙච්ච කථාවක් තමයි මේ..
//දුප්පත් සිසුවෙකු වූ ශ්මේරින්කා හි යූරා දිවා ආහාරය ගැනීමට ස්තලෝවයා අවන්හලට ගිය විට තෝර තෝරා ගත්තේ ලාභ ආහාරය​. ඔහු නිතරම අනුභව කල ආහාර වූයේ සුප් එකක්, කළු පාන් කැබලි කීපයක් ලුණු විනාකිරි දැමූ ගෝවා සලාදයක් විය​. යූරා ලාභ කෑම පමණක් ගන්නා විට අප ස්තලෝවයා එකේ තිබූ ඉස්තරම්ම ආහාර ඇණවුම් කලෙමු. එකල අපට යූරාගේ බඩගින්න ගැන අවබෝධයක් නොවීය​. ඔහුද කිසිවෙකුට අත නොපෑවේය​. ඔහුගේ පියා ශ්මේරින්කා නගරයේ දුම්රිය කම්කරුවෙකු විය​.//
මේ දේ ලංකාවෙ සිද්ධවෙනව නම් වෙන්නෙ බොහොම අඩුවෙන්.
අපේ කැම්පස් වල අඩු කන එක මැජික් නෙමෙයි.(හැමෝම නෙමෙයි.හැබැයි අඩුවක් ගන්න එකා දිහා සතෙක් දිහා බලනවා වගේ බලනවා තාම අඩුයි.)
ගජේට ඇඳුමක් අඳින එක මැජික් නෙමෙයි.
වරෙන් මචෝ කටක් කන්න කියල එක කෑම එකෙන් හය හත් දෙනෙක් කන එක මැජික් නෙමෙයි.
ඒකට ලොකුම හේතුවක් තමයි තව එකෙක්ගෙ නැති බැරි අමාරුවක් අනිකාට දැනෙන එක.
ඕක හැමෝටම දැනෙන්නෙ නෑ.
කැම්පස් එකකට රටේ හැම පළාතකින්ම එන හැම සමාජ ස්ථරයකම අය එක අමුතු ස්ථරයකට ගත්තම ඔය මැජික් සීන් කොහොමත් නැති වෙනවා.
අන්න ඒකට රැග් එක බොහොම ක්‍රියාකාරීව වැඩ කොටසක් කරනවා.

ඒත් එක්කම සබ්ජෙක්ට් රිපීට් නොවී ගොඩ යන්න.., ඒ ඒ ලෙචා එක්ක මේ මේ විදිහට ඉන්න.. වගේ දේවල් මූලිකව අල්ලලා දෙන්නෙත් මේ කාලෙ. හැබැයි.... තමුන් එක්ක ඉන්න උදවියට.

මේසෙ උඩින් උත්තර පත්තර තියල ෆෑන් එක දාල මේසෙ ඉතුරුවෙන අය පාස්,බිම වැටෙන අය ෆේල් කියනවා වගේ වැඩනෙ සමහරක් කරන්නෙ.
උදේට ගුඩ් මෝර්නිග් සර් කිව්වොත්.. 'මූ මගෙ ඇඟට නගිනවා' කියනවා.
උදේට ගුඩ් මෝර්නිග් සර් නොකිව්වොත්.. 'මූ මාව කෙයාර් කරන්නෑ..ලොකු කම' කියනවා..
ඒ වගේම ගෙවන ගාන වාහනේට පෙට්‍රල් ගහන්නත් මදි තියාගෙන අතිං කයිට් කරන් ඇවිත් උගන්නන ගුරුවරුත් ඉන්නවා.
කොහොමෙයි ඔළුව බේරහන්නෙ හා?


අධ්‍යයන කටයුතු වලින් බැහරව ක්‍රීඩා , කලා සීන් වලට දක්සයින් අඳුනගන යොමුකර ගැනීම් වෙන්නෙත් මේ කාලෙ.
මට හිතෙන හැටි ලියන බාසි පුතා වගේ ගල් ඉබ්බො එහෙම බරට එලියට එනවා.පාසල් ඇතුලෙ අවස්ථා නොලැබුන, අවස්ථා ලබා නොගත්ත අය කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එලියට ඇවිත් සමහරු රැඳෙනවා.. සමහරක් යට යනවා..

තවත් ලොකු දෙයක් වෙනවා.
ඉගෙනගන්න තියන ලැබ්වලට බඩු, ටියුට් ටික රෝනියෝ කරන ටික, කොටින්ම බොන වතුර ටික පවා ඉල්ලුවෙ නැත්තන් ලැබෙන්නෙ නෑ.
ඉල්ලන්නෙ කවුද?
ශිෂ්‍ය සංගම්.
කතා කරල ඉල්ලන අයට මොකද වෙන්නෙ..?
විභාග පේල් වෙන්න.. රිපීට් වෙන්න.
ඒක අසාධාරණයි නෙ.
ඔව්..
අන්න ඒකට විරුද්ධව සහෝදර සහෝදරියනි... අපි එකා වගේ එකතුවෙන්න ඕනෙ..
අන්න එහෙම එකා වගේ ඉන්න අපි කියන විදිහට කොරපල්ලා...

හෝව්.. හෝව්...

මෙන්න මෙතන තමා හරිම පොයින්ට් එක තියෙන්නෙ.

අර උඩින් කිව්ව කතා ඔක්කොම එකක්වත් බලෙන් කරන්න ඕන දේවල් නෙමෙයි.ඒව ඔක්කොම හැඟීම් දැනීම් සහකම්පන එක්ක බැඳුන දේවල්.ඔය සීනි බෝල ටික දික් කලාට කවුරුත් රැග් වෙන්න යන්නෙ නෑ... ආතල් එකට ගොනෙක් කොටයි.හැබයි එතනින් එහාට දක්කන්න කොහොමත් බෑ.
හැබැයි දක්කනවා...
කොහොමද?
ඔන්න ඔය උඩින් අන්තිමට කිව්ව හේතුව ඉස්සරහට දාපු ගමන් චණ්ඩියො නොණ්ඩියො වෙනවා.

සීයකට ඉන්න හදපු හෝල් එකේ පන්සීයක් දාල ඌට වත් ඇහෙන්නැති පැහදිලි නැති විදිහට ලෙක්චර්ස් දීල උඩ පැන්නත් ඉන්ස්ටෘමට් පෙනෙන්නැති තරමට ළමයි වටකරගෙන ප්‍රැක්ටිකල් කොරනකොට... අත සෝදගන්න, තිබහට බොන්න වතුර උගුරක් නැති කොට..
අන්න... කස්ටිය  ඕන පුකක් කියලා අරුන් කියන කියන දේ කොරන්න හිත හදාගන්නවා.

මෙහෙම මේච්චල් උන පිරිසක් ඇරියස් කාරයින්ට ඒගාර් මාධ්‍යයකටත් වඩා හොඳ පරිසරයක්.

විසඳුම දෙන්න ඕනෙ අන්න එතෙන්ට.

කුහකයෝ... පිස්සෝ.. අපරාධකාරයෝ.. කියල හංවඩු ගහලා හිරේ විලංගුවේ දැම්මට රැග නවතින්නෑ. මොකද සැබෑ ප්‍රශ්ණෙ යට ගහලා..
උගන්නන්න ගුරුවරු නෑ..
ඉන්න තැනක් නෑ..
ප්‍රැක්ටිකල් වලට බඩු නෑ..
රිසර්ච් කරන්න සල්ලි නෑ..(ලූ)
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිලබස්.. අප්ඩේට් වෙන්නෑ.
පිට රටවලින් ඩිග්‍රියට තැනක් නෑ..

හොඳට බලන්න අළුත් බැච් කැම්පස් එකට ගන්න කාලෙට ජේ.වී.පී එකෙන් පාර්ලිමේන්තුවේ බොහොම සාරෙට කරුණු දක්වනවා කැම්පස් වෙනුවෙන්.
අපේ ඇමතිලා උත්තර දෙනවා එව්වට 'ඕන ගොනා' න්‍යායෙන්.
ඉතින් හරියයි ද?
රජයේ කැම්පස් වල බඩු නෑ.. උගන්නන්න පිරිස් නෑ කියලා කිණ්ඩි දානවා. ප්‍රයිවට් නම් ඔක්කොම තියනවා කියනවා.
ඒක හරියට සීටීබී බස් එකේ සීට් කපලා ඇවිත් ප්‍රයිවට් බස් ලෝඩ් කරන්න කෑ ගහනවා වගේ වැඩක්.
පී ඇම් ජයතිලක ලියපු බඹරසර,මල්මාවත,(...) කියන නවකථා කියෙව්ව නම් ඒ කාලෙ පේරාදෙණිය ගැන පොඩි අදහසක් ලැබේවි.ශිෂ්‍යයන්ට ලැබුනු දේවල් ගැන හැඟීමක් ගන්න පුළුවනි.


කැම්පස් වල අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩල හරියට අවුරුදු දෙකක් වැඩ කලොත්.... 

රැග් එක වෙනුවෙන් ගහන්න තෙලක් ඉතුරු වෙන්නෑ.
ඔය මොනවා කිව්වත් කොල්ලො කෙල්ලො බලෙන් ඇදගන යන්නත් එතකොට බෑ..

නායකත්ව පුහුණු වැඩසටහන් ආමි එකෙන් කරල වත් ගොඩ දාගන්න බැරි උන එක හදන්න වෙන්නෙ එහෙමයි.
විශ්වවිද්‍යාල වර්ණ වලට හොඳ අගයක් දීලා.. තරුණ සේවා සභාව (විහිළු කරන එක නවත්තලා.) වගේ ආයතන වල සම්පත් දායකත්ව අරගෙන..
අවුරුදු උත්සව.. ක්‍රීඩා තරග... සංගීත කලා  රසවින්දන වගේ දේවල් ඇතුලෙ මිනිස්සු එකිනෙකා අඳුන ගනී. (අදටත් නොවෙනවා නෙමෙයි නෙ.) හැකියාවන් බෙදා ගනී. සමාජ සේවා ව්‍යාපෘති කරයි.. (අදටත් බොහොම සාරවත් වැඩ වෙනවා.ඒවා තව වැඩි දියුණු වෙයි.)
එහෙම පරිසරයක් ඇතුලෙ අමානුශිකත්වය ඉබේටම දියවෙලා යයි.

නීතිය තදට ක්‍රියාත්මක කරන්නෝන මේවගේ පසුබිමක් ඇතුලෙ..

මේ ඔක්කොම දේවල් අර කිව්ව රැග් කාලෙ කොරගන්න තරම් සංවිධාන ශක්තියක් තියන මිනිස්සු ටිකක් වැඩේට බහින්න ඕනෙ.කරන්න බැරි නෑ..
හැබැයි පුතේ සාරස තුමාගේ නවක වධ උපකුලපති ලිපියට කොමෙන්ට් එකක් දාන ගයත්‍රී පෙන්නලා දෙනවා අද ඉන්න සරසවි පාලකයන් ක්‍රීඩාවට සලකන හැටි.
ඉතින් මොකේද දං වළඳන්නෙ?

ප්‍රයිවට් කැම්පස් සුරපුරක් කියල හිතාගෙන ඉන්නවා නම් ඒකත් හොඳ ඇඳ ගැනිල්ලක්.ඒවගෙත් දැන් දැන් බුලින් තදට යනවා... බලෙන්ම ක්ලබ් ගානෙ පාටි දැමිල්ලෙ ඉඳන් තව තව දේවල්.වියදම් කරගෙන ලයින් එක දාල ඉන්න පුළුවන් නම් ශේප්.. බැරි එකා ලීව් කරනවා මිසක් සද්ද නෑ.නෝණ්ඩියි නෙ.
හැබැයි ඒත් ළමයි.

ඔය සරසවි වල ඉන්නෙත් ළමයි... උන්ව හදාගන්න එක වැඩිහිටියන්ගෙ වගකීමක්.




{රැග් එක වර්ණනා කිරීම හෝ මානසික රෝගීන් සාමාන්‍යකරනය කිරීමට රචකයා කිසිසේත් සූදානම් නැති අතර කැත්තට පොල්ල න්‍යායෙන් ඔබ්බට පියවරක් තබා වඩා ප්‍රායෝගිකව ස්ථිර සාර්ථක විසඳුමක් සෙවීම පමණක්ම පරමාර්ථය විය.}

Monday, February 20, 2017

දික්වැල්ලේ මිශන් හල්මිල්ල.



චෙෆාකියාණන් පෝස්ටුවක් දාල තිබුනා දික්වැල්ල වරුණ.එතනින් හොඳටම වර්ණනා කරල තිබුනෙ බයිට් පොට් එකක් සහ බයිට් වර්ග.
කාලයක් දික්වැල්ල ඒරියල් එකේ නොසෑහෙන්න ගැවසුනු එකෙක් විදිහට ගස්ලබ්බාගේ මතකයන් හෝ පට ගාල ඇවිස්සෙන්න පටන් ගත්තා ඒ පෝස්ටුව දැකලා..

ඔය පැත්තෙ ඉන්නෙ සෑහෙන්න සොමියට බර ආතල් බුවාලා සහ බුවී ලා. රස්සාවෙ ගිහින් ගොඩට එනවා කියන්නෙ දාහෙ පටිය සීයට පිස්සෙක් වගේ පිස්සෙක් වගේ වියදම් කරන්නෙ.
'කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු.. ඊටත් වැඩියෙන් යුද්ධෙට හරිම හපන්නු'
කිව්වෙ මෙයැයිලා ගැනද දන්නෑ කියල හිතෙනවා වෙලාවකට.

ජොලි වගේම තමා පොඩ්ඩ වැරදුනොත් සැරත්.. ගෑණු පිරිමි බේධයක් නෑ ආයෙ අම්ම මෝ නැතුව අහගන්න පුළුවන්.. ඒ වගේම තමා සෙට් උනාම.. බොක්ක උනත් දෙනවා.

ගස්ලබ්බගෙ ටීම් එකේ හිටිය අයගෙන් පිටින් ඒ කියන්නෙ ගඟෙන් එහා ඉඳන් ඇවිත් හිටියෙ ගස්ලබ්බා විතරමයි.එහෙම කියලා කට්ටිය හුරු උනාට පස්සෙ ලොකු වෙනසක් තිබුනෙම නැති තරන්.

ගස්ලබ්බා උදේට ඔෆිස් එකෙන් එන්නෙ බොසා එක්ක කතා කරගෙන වැඩ ලිස්ට් එකක් අරන්. ඕක දවසේ ටාගට් එක විදිහට තියාගන වෙලාව බැලන්ස් කරගෙන තමයි වැඩේ යන්නෙ.අපි ඉතින් මාතර ඉඳන් දික්වැල්ලෙ සයිට් එකට උදේ පාන්දර ඇවිත් වැඩ කොරලා රෑට රෑ වෙලා තමයි යන්නෙ.වාහනේට උදේට තෙල් ගහලා ගත්තම සයිට් එකේ කොහෙ තිබුනත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ.
වැඩ කොරනවයි කියල හැමදාම එකම ගැම්මෙන් ඕක කොරන්න ඇහැක.. අනික ජොලියටම සෙට් උන ගමේ කොල්ලො,මිනිස්සු සෙට් එකක් ආං බාං කරගෙන ගේම ගහන්නත් ඕනෙ.

ඉතින් අපට හරියට තිබහ හෙම හැදෙනවා... වැස්ස දවස් වලට කොහොමත් ඔය තිබහ වැඩියි.ඔය අස්සෙ අපට අලුතෙන් එකතු උනා ටිකක් වයසක ඩෑල් එකක් කයිවාරු පප්පෙක්.. වතුර වෙනුවට අරක්කු හොයන පොරක්.මිනිහා සීටීබී එකෙන් ඉන්ටඩික් වෙලා අපට හේත්තු උනාට මොකද රට අල්ලන ටෝක්.. දැන් මේ කියන්න හදන කතාවට අවස්ථාව පෑදුනේ මිනිහා නිසාවෙන් මතක් කලා මිසක ලඟින් ගියොත් ඇහැක් නැති ඩෑල් එකක්.

ඔන්න දවසක් උදෙන්ම අහස දිහා බල බල ඉඳලා මිනිහා මාව පැත්තකට කොරගෙන කියපි 
'අද නම් වහියි වගේ.. මොනව හරි කොරමුද?' කියලා.. 
අපිත් ඉතින් ඔය නෑ බෑ කියන වචන එච්චර පුරුදු කරන්න අකමැති නිසාත් එක සැරේටම මුකුත් කියන්න බැරි නිසාත් 'බලමු' කියල උත්තර දීල සයිට් එකට පිටත් උනා.
හැබයි වාහනේ යන ටිකට මිනිහා අනිත් අයටත් ගානට විස පොවන බව ගස්ලබ්බ හොඳටම දැනන් හිටියා.

වැඩ කටයුතු යන අතරේ ඔන්න ටීම් එකම එකතු වෙලා සාකච්ඡා කොරලා අදහස අනුමැතියට ඉදිරිපත් කලා..
ඒ වෙලාවට දෙන්න විසඳුමක් හැමදාමත් ගස්ලබුස් ලඟ තියනවා.
වැඩ ලිස්ට් එක පෙන්නුවා...
'මේ වඩ ටික ගහල ඉවරවෙන්නෙ කොයි වෙලාවෙද? අන්න ඒ වෙලාවෙ ඉඳන් මම රෙඩි'

පිළිගන්න පින්වතුනි, ඒ වගේ දවස් වලට කොල්ලො ටික කඩියො වගේ. දුරට කතා කරන්න වෝකි ටෝකි ඕනත් නෑ.පැය අටේ වැඩ ටිකට උපරිම පැය පහයි යන්නෙ.ලන්ච් එකට පැය දෙකක් තියන නිසා අපි කරන්නෙ නොනැවතී එකදිගට වැඩ කරලා ඒ පැය දෙකත් අපේ ගොඩට දාගන්නවා.. කොහොම හරි එක වෙන්න කලින් වැඩ ඉවර කරලා පනිනවා.. හෙහ් හෙහ්
ඔන්න එදා අපි අළුත් තැනකට එක්කන් යන්න ඩැයිබර තුමා පිටත් උනා.. දික්වැල්ලෙන් 
හල්මිල්ල බෝතල් දෙහෙකයි (එහෙම තමා පාටි ඕගනයිසර් කියන්නෙ.)
බිත්තර කඩල දෙසීයකයි
වඩේ මුරුක්කු සිගරට් අනන් මනන් ටිකයි 
අරගෙන කොහෙන්දෝ ගිහිල්ලා අපි නැවතුනා බෝට්ටු නවත්තලා තිබුනු හෙවන ගහක් යට.
මුහුදු හුළ\ වැදි වැදි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා..
කතන්දර ගලා එනවා..
කොච්චර මොනව උනත් ගස්ලබ්බා ටිකක් අවදියෙන් ඉන්නෙ කෝකටත් කියලා. මොකද ගොඩක් වෙලාවට පලවෙනි පැය බාගෙ ඇතුලෙ ඩැයිබර කට් වෙලා වැටෙනවා.වාහනේ ගෙනියන්න වෙන්නෙත් මම තුමාටම තමා.

ඔය අස්සෙ ටිකක් ඈත පොල් වත්තක් අස්සෙන් බොන්ගො පාරක් ඇහෙන්න ගත්තා...

ඒ අස්සෙම ඒ පැත්තෙ ඉඳන් සුදු ස්කූටියක අමුතු අමුතු කොල්ලො සැරින් සැරේ යනවා... එනවා.... යනවා... එනවා... අපි දිහත් බලනවා..

ටික ටික අපේ වැඩේත් අහවර වේගන එනවා ඔන්න.කශ්ටිය ශන්තෝශෙන්..

ඔන්න ගමේ මිනිස්සුත් එකා දෙන්නා අර පොල් වත්ත පැත්තට ඇදෙනවා..
නයිටි පිටින් ළමයි ඉනේ ගහගත්ත 'අක්කලා' ඉඳන් ශෝට ස්කිනිය ගහපු ස්කූටි පදින 'නංගලා' ත් යනවා...
ඇන්ටිලාත් එනවා... සීයලාත් එනවා...
පොඩි කොල්ලො කුරුට්ටොත් එනවා...

අපි දිහාත් බලනවා..

ඔන්න අපේ කුතුහලෙත් වැඩි වෙනවා...

හෙමින් සැරේ හොයල බලනකොට නියම වැඩක් නෙව වෙලා තියෙන්නෙ.

පොරක් ඇවිත් පොල් වත්තෙ පාළුම හරියට.කෝල් එකකුත් අරන්.ගෑල්ලමයෙකුට.එයැයි තමා කියල තියෙන්නෙ පොල් වත්තට එන්න කියලා.
ඇයි දන්නවාද කියල තියෙන්නෙ..?
අර පොර තහනම් ගෙඩි කන්න නිතර නිතර ඇවිටිලි කරන නිසා එව්ව කන්න.

හැබැයි ඊට කලින් බෑ කියලා... 
කෝල් කරන්න එපා කියලා... 
බැනලා... 
මොනව කරත් අර පොර නෙමෙයි සැලිලා තියෙන්නෙ.

මනුස්සයා රස්සවෙ ගිහින් ආවට පස්සෙ මිනිහට කියල මිනිහත් අර පොරට අවසන් අවවාදෙත් දීල.
පොර නෙමෙයි සැලිලා තියෙන්නෙ.

ඔන්න ඊට පස්සෙ තමයි මනුස්සයත් රස්සාවෙ ගිහින් ය කියලා අර විදිහට පොල් වත්තට එන්න කියල තියෙන්නෙ.

ඉතින් මේ මල්සරාව පිළිගන්න බලාගන හිටියෙ අර ගෑල්ලමයද හා??
මොන.... 
ගමේ කොල්ලො සෙට් එකට අර ගෑල්ලමයගෙ මනුස්සයා නිව්ස් එක දීල ගේම සෙට් කරලා තියෙන්නෙ.

ඔන්න පොර එනකොට එතන සැදී පැහැදී ඉන්න කොල්ලො කුරුට්ටො ටික මෙතුමාව ගස් බැඳලා පොඩි සංග්‍රහයක් එහෙම පවත්වලා... පොර ගෙනාපු චොක්ලට් එකත් උන් කාලා... උගෙ අතේ තිබුන සල්ලි වලින් බොන්න ගෙනල්ලා බොන අතරෙ බයිට් එකට මිනිහවම සින්දු කිය කිය උසුළු විසුළු නටවලා...

අර සැරින් සැරේ ගිය සුදුපාට ස්කූටිය මල්සරාගෙ වාහනේ.
ඒකෙම ගිහින් උගෙ සබ්බ සකලමනාවම හිඳෙනකන් අරක්කු අරන් බීල වෙරි හිඳෙනකන් ඌව උසුළු විසුළු නටවලාත් මදි තැන තමයි මුන් ගමට නිව්ස් එක දීලා අරූව පිස්සෙක් වගේ.... පිස්සෙක් වගේ.. ගමක් ඉස්සරහ නැටෙව්වෙ.

හැබැයි ඌ වාසනාවන්තයි.. බයිසිකලේ තල්ලුකරගෙන හරි යන්න ඌ පණ පිටින් තුවාල නැතුව ඉතුරු උනා.

කොච්චර ලස්සන තැනක් උනත් එදැයින් එදා අපි සෙට් එක ඒ පළාතෙවත් ගියේ නෑ අනුමත වෙන්න නම්.